මුදලට නොව
මිනිසත්කමට මුල් තැන දෙමු
සසර දුකින් පෙළෙන සියලු ලෝ සතුන් කෙරෙහි අපමණ මහා කරුණාවෙන් යුතුව ධර්මය දේශනා කොට
වදාළ අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ පුද්ගලයාගේ දෙලොව දිවි මඟ අලෝකවත් කර
ගැනීමෙහිලා හැම විට මඟ පෙන්වා වදාළ ආදර්ශවත් මහා ශාස්තෘවරයෙකි. ඒ අනුව අංගුත්තර
නිකායේ පඤ්චක නිපාතයට අයත් “පඤ්චභෝගාදී” සූත්‍ර දේශනාව තුළ පුද්ගලයා ලද සම්පත්වලින්
ගත යුතු ප්‍රයෝජන පිළිබඳ ඉතා කදිමට පෙන්වා දී ඇත.
තථාගත බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වසන සමයෙහි දිනක්
අනේපිඬු සිටුතුමා උන්වහන්සේ හමුවීමට පැමිණියේ ය. එහි දී උපයාගන්නා ධනය පරිභෝජනය හා
එමඟින් දිවිය පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව දේශනාකොට වදාළහ. ඉටු කළ යුතු
යුතුකම් ද මනාව පෙන්වා වදාළහ. ධනය ඉපයීමේ දී දැඩි උත්සාහයෙන් හා වීර්යයෙන් දහදිය
වගුරුවා උපයා ගත යුතු ය. එම ධනය තුළින් තමා ද සැප විඳීය යුතු ය. තමා සැප විඳීන්නා
සේ මව්පිය, අඹු දරුවන්, දැසි දසුන් ආදීන් පෝෂණය කළ යුතු ය. ඤාති මිත්‍රාදීන්ට
සංග්‍රහ කිරීම ද ඉතා වැදගත් ය. ගින්න, ජලය, සොරු, රජු ආදී උපද්‍රව පැමිණි කල
ඒවායෙන් මිදීමට නම් ධාර්මික ධනයෙන් ප්‍රයෝජනයක් ගෙන පැමිණි උවදුරු දුරු කළ යුතු
බවත් පෙන්වා වදාළ හ.
සිටුතුමාට මෙකී කරුණු දේශනා කිරීමේ දී දැහැමි ධනයෙන් තමා සතුටු වීම හා අනුන් සතුටු
කිරීම ද සිදු කරන්නා සේ “බලි“ හෙවත් යුතුකම් 05 ක් පඤ්චභෝගාදී සූත්‍ර දේශනාව තුළ
උගන්වනු ලබයි. ඒවා නම්
අතිථි බලි - ආගන්තුකයන්ට සැලකීම
ඤාති බලි - ඤාතීන්ට සැලකීම
රාජ බලි - රජයට අය බදු ගෙවීම
දේවතා බලි - තමාගේ ඉටු දෙවියන්ට පුද
පූජා කිරීම හා
පුබ්බපේත බලි - මිය ගිය ඤාතීන්ට පින් දීම ය.
මෙම යුතුකම් ධාර්මික ධනයක් උපයා ගැනීම තුළ පුද්ගලයා සිදු කරන බව බුද්ධ දේශනාව මඟින්
පැහැදිලිව පෙන්වා වදාරා ඇත. මෙකී කරුණු පෙන්වා දීම තුළ අනේපිඬු සිටුතුමා දැහැමින්
ධනය උපයන්නා සේම තමන් ද ඒවා පරිහරණය කරමින් බොහෝ යුතුකම් ඉටු කරන බව ප්‍රකාශ කර
සිටියේ ය. බුදු රදුන් දැහැමි ධනය ඉපයීම මෙන් ම ඒවා පරිහරණය කර ගත යුතු ආකාරය විවිධ
අංශ ඔස්සේ පෙන්වා වදාළහ. අධාර්මික ක්‍රියාවන් මඟින් වෙන් වී පුද්ගලයා හැම විට ම ධනය
උපයා ගත යුතු බව ධර්මයෙහි පෙන්වා දෙනු ලබයි. දිනෙන් දින අධාර්මික වෙමින් යන නූතනයට
මෙම ඉගැන්වීම ඉතා කාලෝචිත වූවකි. මුදල ම මූලික කර ගනිමින් මිනිසත්කම වල් වැදී ඇති
අද සමාජයෙහි මිනිසා පිරිහී ඇති බව නම් නොරහසකි. එලෙස පරිහානියට පත් වීමෙහිලා මූලිකම
සාධකය වී ඇත්තේ ධනය, බලය ආදී විකෘති ආශාවන් පසු පස හඹා යෑම නිසාවෙනි. තරගකාරී ජීවන
රටාවකට හුරු වීමයි. ඒ නිසාම දැහැමි බව අමතක කොට කෙසේ හෝ ධනය උපයා ගැනීමට හා ඒවා
පරිභෝජනය කරන්ට හුරු වී ඇත.
මේ නිසා සමාජය දිනෙන් දින විනාශය වෙත ගමන් කරයි. එහෙත් දහමෙහි සඳහන් වන්නේ
“ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම රකිනු ලබන
බවයි. මෙම බුද්ධ අවවාදයට අනුගත වීම තුළ නූතන සමාජයෙහි විකෘති ආශාවන් පසු පස හඹා
යමින් සිටින මිනිසා ඒ මඟින් ගලවා ගැනීමේ ප්‍රධානතම මාර්ගය වනු නියත ය. එහි දී
ධාර්මික බව මූලික වන හෙයින් එතුළින් මුළු මහත් සමාජය ම යහපත් මඟට යොමු වනු ඇත.
තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ මෙම දේශනාවන් තුළින් අප දිවි මඟ අලෝකවත් කර
ගන්නා සේ ම දැහැමි සාර්ථික දිවි පෙවෙතක් උදෙසා මාවත සකස් කර ගැනීම ද අතිශය වැදගත්
වන්නකි. ඒ සඳහා අවැසි ශක්තිය හා දිරිය ධර්මයේ ආශාර්වාදය තුළින් ම ඔබ සැමට ලැබේවා‘යි
මෙත් සිතින් පතන්නෙමු.
ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත
මහා පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති
කනංකේ විජිත නන්ද හිමි |