වප් අව අටවක පෝදා 2021-10-28
දියුණුවේ දොරටු
“දියුණුව“ ජීවිතය හා බැඳීි පවතින, කවුරුත් කතාබහ කරන, සුලබ වචනයකි. ඒ සාමාන්‍ය
මිනිස් ස්වභාවය වන්නේ ම ඉන්නා තැනින් අඩියක් හෝ ඉදිරියට යෑම වන නිසා ය. අනෙක් අතින්
මිනිසත්කමට අර්ථයක් එක් වන්නේ ද මිනිසා දියුණු වූයේ නම් ය.
දියුණුව යැයි කී පමණින් බොහෝ දෙනකු සිතන්නේ භෞතික දියුණුව ගැනය. සැප පහසු ගේදොර,
යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් ආදිය ගැනය. පටලවාගෙන ඇත්තේ ද එතැනම ය. නිවසේ පරිසරයෙන්
පටන්ගෙන මුළු මහත් ලෝකය දක්වා විසිර පැතිර පිරිහීමේ ලකුණු පෙනෙන්නට තිබෙන්නේ ඒ
වැරැදි ආකල්පය මත සිට වැඩි දෙනකු කටයුතු කිරිම නිසා ය. අඩුපාඩුවක් නැතිව, සුව
පහසුව, ලස්සනට ජීවත් වන්නට භෞතික දියුණුව අත්‍යවශ්‍යය. එහෙත් එය දියුණුවේ එක්
අංගයක් පමණි. ඊට එක් විය යුතු අනිවාර්ය අංගය ආධ්‍යාත්මික දියුණුවයි. උතුරා යන
තරමින් සම්පත් ගොඩගැසී තිබුණ ද ආධ්‍යාත්මික දියුණුව නොවේ නම් ඒ පුද්ගලයා ඇතුළත හිස්
, පරිහානියට ගිය තැනැත්තෙකි. එවැනි පුද්ගල එකතුවක දිස් වන්නේ පිරිහීමට ගිය සමාජයක
ලකුණු ය.
ඒ වගේ ම ඇතැම් අය ආධ්‍යාත්මික ගුණ දහමින් පිරිපුන් ය. එහෙත් ජීවිතය ගෙන යන්නේ බොහෝ
දුෂ්කරව ය. සම්පත් අවමය. නොදියුණු ය.
එහෙත් ගිහියන් ලෙස අප උත්සාහ ගත යුතු මේ දෙ අංශයේ ම දියුණුව ළඟා කර ගන්නට ය. ඒ සඳහා
ගමන් කළ යුතු මාවත, දියුණුවේ දොරටු ලෙස බුදුරජාණන් වහන්සේ අපට මනාව පෙන්වා දී ඇත.
ඒ අනුව කායික නීරෝගී බව හා මානසික නිරෝගී බව ප්‍රධානය. ලෙඩවීම තුළ අරමුණු වෙත යෑම
අසීරු ය. ගේ දොර සාමාන්‍ය කටයුතුවල සිට අධ්‍යාපනය, රැකියාව ආදී කුදුමහත් කටයුතුවලට
බාධාවකි. එය දියුණුවට බාධාවකි. එහෙයින් කයත්, මනසත් ලෙඩ නොවන තැනට වග බලා ගන්නට
උත්සාහ ගත යුතු ය.
දියුණුවේ තවත් දොරටුවක් වන්නේ සීලයයි. එනම් කය වචනයෙහි සංවර බවයි. ගිහියාට පංච ශීලය
අනුදැන වදාරා තිබෙන්නේ ඒ සංවර බව හික්මීම ඇති කිරීමටයි. තමන්ට වඩා ගුණ නුවණින් ඉහළ
වැඩිහිටියන්ගේ අවවාද, අනුශාසනා ඇසීම, පිළිපැදීම දියුණුවේ ඊළඟ දොරටුවය. එය කුඩා
කාලයේ සිට ම පුරුදු පුහුණු කළ යුතු ගුණාංගයකි. විශේෂයෙන් අද අපේ ඇතැම් පාසල් දරු
දැරියන්, තරුණ දූ පුතුන් නොමඟට වැටී ජීවිතය විනාශ කරගන්නේ, පරිහානියට ඇද වැටෙන්නේ
එවැනි වැඩිහිටියන්ට ඇහුම්කන් නොදීම නිසා ය.
ඇසූ පිරූ තැන් ඇති බව ද දියුණුවට අත්‍යවශ්‍ය ය. දිළිඳුව ඉපදුණත් ටිකෙන් ටික
දියුණුවීමට, හොඳ නරක තෝරා බේරා ගන්නට, අයහපත් සිතිවිලි පාලනය කර ගන්නට, යහපත්
සිතිවිලි තව තවත් වර්ධනය කර ගන්නට එවැනි පුද්ගලයාට පහසු ය. දියුණුවේ තවත් දොරටුවක්
වන්නේ ධර්මානුකූල බව ය. දැහැමි දිවි පෙවෙත තමන්ට ද අනුන්ට ද කරදරයක්, පීඩාවක් ගෙන
දෙන්නේ නැත.
උත්සාහය, අනලස්බව දියුණුවට අත්‍යවශ්‍යය. පරිහානියට පත්වන්නේ, ඉන්නා තැනින් අඩියක්
හෝ ඉදිරියට නොයන්නේ මෙවැනි ගුණාංග ගැන අල්පමාත්‍රයක දැනුමක් හෝ නොමැති පුද්ගලයා ය. |