[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලක්දිව සංඝරාජ පදවිය 9: නායක පදවි පිරිනැමීම හා සබැඳෙන ප්‍රාදේශීය බෙදීම්

ලක්දිව සංඝරාජ පදවිය 9:

නායක පදවි පිරිනැමීම හා සබැඳෙන ප්‍රාදේශීය බෙදීම්

නුවර වැව, කලා වැව සහ පදවිය වැව යන වැව් තුනෙන් මායිම් වන ප්‍රදේශය නුවර කලාවිය යනුවෙන් ව්‍යවහාර කරනු ලබයි. උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට සහ හාරිස්පත්තුව යන රටවසම් පහ කන්ද උඩ පස් රට ලෙස ව්‍යහාරයට පැමිණ ඇත.

එක් එක් යුගවල දී රටෙහි පරිපාලන බෙදීම් අනුව ඒ ඒ කොට්ඨාස සඳහා නායක පදවි ඇති කිරීම කාලානුරූපී ව සිදු වී ඇති බව පෙනේ. නව පරිපාලන බෙදීම් සඳහා නව නායක පදවි ඇති වුව ද පැරැණි බෙදීම්වලට අනුකූල වන ලෙස පිරිනමන ලද නායක පදවි මේ දක්වා ද ඒ ඒ සංඝ මූලස්ථාන මඟින් පිරිනැමීම සිදු කරයි. නායක පදවි පිරිනැමීම හා සබැඳෙන ප්‍රාදේශීය බෙදීම් සඳහා මහා සිංහල ශබ්ද කෝෂය මගින් සපයා ඇති අර්ථ දැක්වීම් මතු දක්වා ඇත.

කෝරළ- මහනුවර රාජධානි සමයේ වූ දිසාවකට අයත් පාලන කොට්ඨාසයක්, දිසාවනියක ප්‍රධාන කොට්ඨාසවලින් එකක්

පත්තු - කෝරළයකට අයත් කොටස්වලින් එකක් හෝ කෝරලය, පළාතක කුඩා කොටසක්

කඩවත් - මාර්ගයේ මුර කාවල් යෙදූ තැන, ප්‍රදේශයකට ඇතුළුවන තැන ඇති මුර පොළ

තොටමුණු - වරාය, වරායට ආසන්න ප්‍රදේශය

රට- (රාජ්‍යය යන අර්ථයෙන් නොවේ) දේශයක් ඇතුළත තිබෙන ජනපදය, දිස්ත්‍රික්කය, කෝරළය, ප්‍රදේශය

දිසා - පළාත, පළාතකින් කොටස පළාත් - පරිපාලනය සහ යටත් කිරීම සඳහා රට කඩා වෙන් කරන ලද විශාලතම කොට්ඨාසය

එක් එක් වකවානුවල දී පරිපාලනමය පහසුව සලකා භූගෝලීය බෙදීම් වෙනස් කොට ඇති නිසා ඇතැම් විට එක් යුගයක දී එක් පළාතකට අයත් වූ කෝරළයක් තවත් යුගයක දී තවත් පළාතකට අයත් වූයේ යැයි සිතීමට අවකාශ ඇත. දැනට භාවිතයේ නොමැති නමුදු පැරැණි බෙදීම් කිහිපයක් මෙහිලා සඳහන් කිරීම වටී.

1910 වකවානුව වන විට කුරුණෑගල, පුත්තලම සහ හලාවත යනුවෙන් වයඹ පළාතෙහි දිස්ත්‍රික්ක තුනක් පැවතිය ද අද වන විට කුරුණෑගල සහ පුත්තලම යනුවෙන් දිස්ත්‍රික්ක දෙකක් පමණක් සලකුණු කර ඇත. සත් කෝරළය වශයෙන් මෙම ප්‍රදේශ ප්‍රසිද්ධියට පැමිණිය ද කටුගම්පල හත් පත්තුව, හිරියාල හත් පත්තුව, දඹදෙණි හත් පත්තුව, දේවමැදි හත් පත්තුව, වන්නි හත් පත්තුව, වෑඋඩ විල්ලි හත් පත්තුව සහ දෙමළ හත් පත්තුව යන පත්තු කෝරළ වශයෙන් ව්‍යවහාර කළ බව පෙනේ. හලාවත දිස්ත්‍රික්කයෙහි පිටිගල් කෝරළය යනුවෙන් කෝරළයක් දක්වා ඇත. සත් කෝරළය සිංහල රජ යුගයේ සිට ම එම නමින් භාවිත වූ බව පෙනේ.

නූතන රත්නපුර දිස්ත්‍රික්කය කුරුවිට කෝරළය, නවදුන් කෝරළය, අටකලං කෝරළය, මැද කෝරළය, එතෙරවා (කඩවත) කෝරළය, දිග්ගම්පත (කුකුළු) කෝරළය සහ කොළොන්නා කෝරළය යනුවෙන් කෝරළ හතකට බෙදා තිබූ අතර එක් එක් කෝරළ පල්ලේ පත්තුව, උඩ පත්තුව, මැද පත්තුව ආදී වශයෙන් පත්තුවලට බෙදා දැක්විණි.

කෑගලු දිස්ත්‍රික්කය විමර්ශනය කිරීමේ දී සතර කෝරළය සහ තුන් කෝරළය යන පැරැණි කෝරළ බෙදීම් දෙකක් සහ උඩ සහ පාත බුලත්ගම් පළාත් දෙකක් පිළිබඳ කියැවෙයි. සතර කෝරළය ලෙස හැඳීන්වෙන්නේ ගල්බොඩ කෝරළය, පරණකුරු කෝරළය, කිඳීගොඩ කෝරළය සහ බෙලිගල් කෝරළය යන කෝරළ සතර එක්වීමෙනි. තුන් කෝරළය ලෙස පනාවල්, ඇතුලුගම් සහ දෙහිගම්පල් යන කෝරළ තුන සලකනු ලබයි. නුතන සපරගමු පළාත පසුකාලීන නිර්මාණය වූවක් වන අතර ඉන් පෙර සපරගමු පළාතේ කොටස් බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට අයත් විය. සතර කෝරළයට අයත් පරණකුරු කෝරළය කොළඹට අයත් ලෙසින් සැලකෙන්නේ ද මෙයට අනුව විය යුතු ය. නුවර වැව, කලා වැව සහ පදවිය වැව යන වැව් තුනෙන් මායිම් වන ප්‍රදේශය නුවර කලාවිය යනුවෙන් ව්‍යවහාර කරනු ලබයි. උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට සහ හාරිස්පත්තුව යන රටවසම් පහ කන්ද උඩ පස් රට ලෙස ව්‍යවහාරයට පැමිණ ඇත. ගිංතොට, හිරිඹුර, දෙවට, කලේගාන යනුවෙන් ගාලු කඩවත් සතරක් පිළිබඳ තොරතුරු හමු වෙයි.

යම් කිසි ප්‍රදේශයක නායක පදවියක් හොබවන නාහිමිපාණන් වහන්සේ නමක අපවත් වීමෙන් හෝ එම නායක පදවියෙන් ඉවත් වීමෙන් එකී පදවිය පුරප්පාඩු වුවහොත් එම පදවිය හෙබවීමට අපේක්ෂා කරන හිමිපාණන් වහන්සේලා විසින් අදාළ ප්‍රදේශයෙහි වැඩ සිටින එම නිකායෙහි සහ පාර්ශ්වයෙහි වෙනත් වැඩිහිටි නාහිමිපාණන් වහන්සේලාගේ නිර්දේශ ලිපි සහිත ව ස්වකීය සංඝ මූලස්ථානය වෙත අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබේ. පළාතේ වැඩිහිටි මහා තෙරවරුන් වහන්සේලා සහ ගිහි දායක පිරිසක් සමග පැමිණ නායක පදවිය වෙනුවෙන් ස්වකීය යෝග්‍යතාව සඳහන් වන පරිදි සකස් කළ අයදුම් පත්‍රයක් සහ නිර්දේශ ලිපි මූලස්ථානය වෙත පිළි ගන්වයි. පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එම අයදුම්පත් සහ නිර්දේශ ලිපි පරීක්ෂා කොට වඩාත් ම සුදුසු නාහිමිපාණන් වහන්සේ වෙත පදවිය පිරිනැමීම සම්මත කොට එම පදවිය පිළි ගැනීමට වැඩමවන ලෙස දන්වා සුදුසු ගෞරවාභිධාන සහිත ව පදවිය සම්මත කළ බවට මහ නාහිමියන්ගේ අත්සනින් ලිපියක් නිකුත් කරනු ලැබේ. වර්ෂ 1853 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඒ ඒ සංඝ සභාවන්ට පිරිනමන ලද බලතල ප්‍රකාර ව නායක පදවිය වෙනුවෙන් පිරිනමනු ලබන හිමිකම් ලියවිල්ල හෙවත් අක්ත පත්‍රයක් වන ශ්‍රී සන්නස්පත්‍රය සංඝ මූලස්ථානයේ දී මහෝත්සවයක් වශයෙන් පිරිනැමීම සිදු කරයි.

මෙම අවස්ථාවේ අභිනව නාහිමිපාණන් වහන්සේ විසින් සංඝ සභාව වෙත ප්‍රසාද පූජා පැවැත්වීම සිරිතකි. පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියන් විසින් සන්නස් පත්‍රය කියවූ පසු මහ නාහිමිපාණන් වහන්සේ විසින් සන්නස් පත්‍රය පිරිනමනු ලබයි. ඉන් පසු පදවිය ස්ථිර කිරීම යනුවෙන් අනුනාහිමිපාණන් වහන්සේලා විසින් ද එම සන්නස් පත්‍රය නැවත අභිනව නාහිමියන් වෙත පිරිනමයි.

(ඡායාරූප සිතුල්පව්ව රජමහා විහාරාධිපති නාහිමියන් වෙත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමේ විවිධ අවස්ථාවලිනි )

වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]