දරුවන්ට නොපෙනෙන දුර
මව්පියන්ට පෙනෙනවා
ඔබ මේ ලෝකයට බිහි කරලා, හදාවඩා පෝෂණය කරලා ලෝකය දකින්නට, ඒ ලෝකයේ සුව සේ ජීවත්වන්නට
නුවණ පාදා දුන්නේ ඔබගේ අම්මයි, තාත්තයි බව කිසි දිනෙකත් අමතක කරන්න එපා. .
ඔබ ලෝකයේ කොතැනක සිටියත් දෙපයින් නැඟී සිටිමින් ජීවත් වන්නේ ඔබේ මව්පියන් විසින්
උපතේ සිට ලබා දුන් ශක්තිය නිසයි. තරුණ දුවේ, පුතේ ඔබට ද අද තරුණ හයිය සිතටත් ගතටත්
පැමිණෙන්නට පෙර බිළිඳෙක් ව සිට යාන්තමින් නැඟිට ගන්නට හැකියාව ලැබෙන තුරු ඒ අම්මයි,
තාත්තයි විඳී පීඩා මහමෙරක් වගෙයි.
යම් වූ ද තරුණ දරුවකුට මවයි, පියයි වෙනුවෙන් සුළු වූ උපකාරයක් හෝ කිරීමට සිත
නැමෙන්නේ නැති වන්නට පුළුවන්. ඒත් සිතා බලන්න. ඔබ කුඩා කාලයේ ඔබට සිටගන්නට,
ඇවිදින්නට හැකි වයසට පැමිණෙන තෙක් අම්මයි, තාත්තයි මොනතරම් නම් සතුටකින් හා
ප්‍රීතියකින් ඔබ දෙස බලා සිටියා ද යන බව ඔබ දන්නවා ද? මගේ දරුවාගේ ඇස් දෙක හොඳීන්
පෙනෙනවා ද? දෙසවන් හොඳින් ඇසෙනවා ද? කතා කරන්නට හැකි වේ ද ආදී ලෙස සිතමින්
බුදුරදුන්ගෙන්, දෙවියන්ගෙන් මොන තරම් ආශිර්වාද ඉල්ලන්නට ඇති ද?
අද ඔබට බොහෝ හිත මිතුරු පිරිසක් ඇති. ඔබට “මගේ“ යැයි පවසන්න පිරිසක් ඇති. ඒත් ඔබ
මෙලොව එළිය දුටු දා සිට ජීවිතයේ මුලින් ම ඔය මුහුණට එබෙමින් “මගේ, මගේ“ යැයි හදවත
පිරි සතුටකින් කතා කළේ ඔබගේ අම්මයි තාත්තයි මිස වෙන අන් කවර නම් කෙනෙක් ද? ගුණවත්
වූ මව්පියන් තමන්ට නො පෙනුණ ලෝකය දරුවන්ට පෙන්වා දෙන්නට, තමන්ටත් වඩා ඉහළ
අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන්නට උත්සාහ ගන්නවා. ඒ වගේ ම තමන්ගේ කුස නො පිරුණත්
දරුවන්ගේ කුස පුරවන්නට අපමණ වෙහෙසක් දරනවා. ඒ වගේ ම තමන්ගේ ජිවිතයේ තමන්ට ලැබුණු
දුක් වේදනා මගේ දරුවන්ට නම් ලැබෙන්නට එපා යැයි සිහිනෙන් පවා ප්‍රාර්ථනා කරනවා.
තමන්ගේ දරුවා වෙනුවෙන් විඳීන දුක් වේදනා අම්මාට කිසි ලෙසකත් දුකක් නොවේ. තමන්ගේ
දරුවා වෙනුවෙන් උසුලන බර පියකුට බරක් නොවේ. දුවේ, පුතේ ඔබ උස් මහත්වන විට, ඔබ තරම්
මවත්, පියත් නොදන්නවා යැයි නො සිතන්න. යම් විටක ඔවුන්ට වඩා ඔබ ඉහළ අධ්‍යාපනයක්,
උගත්කමක් ලැබුවා විය හැකියි. එහෙත් ඔවුන් ඔබට වඩා පරිණත බවින් හා ජීවිත
අත්දැකීම්වලින් ඉහළින් සිටින බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි. තම අත්දැකීම් තුළින්
දුක් විඳ, රැකියා කරමින් දරුවන් හැදූ වැඩූ අයුරු කතා කරන විට “අපට ඕවා වැඩක් නැහැ“
යි පවසන්න එපා. ඒවාට නිගරු වන අයුරින් කතා කරන්න එපා. “එදා වගේ නෙමෙයි අද සමාජය
වෙනස්“ යැයි පවසමින් සිත් රිදවන්න එපා. එයින් ඔබට අකුසල් රැස්වනවා.
පසු කාලයක ඔබට මවගෙන්, පියාගෙන් ගේ දොර, මිල මුදල් ආදී මොනවා ලැබුණත්, නැතත් මේ
මිහිතලය මත තම දෙපයින් නැඟී සිටින්නේ අම්මටත්, තාත්තටත් පින් සිදුවෙන්නට යි. මෙලොව
පවත්නා ලෞකික වස්තූන් සෑම දෙයක් ම තාවකාලිකයි, අස්ථිරයි. එය අපට තථාගත බුදුරජාණන්
වහන්සේ ද මැනවින් ධර්මයේ පැහැදිලි කර දී තිබෙනවා. අප ජීවත් වන්නේ ඉතා කෙටි කාලයයි.
ඒ කාලය තුළ මගේ කියා පොඳී බැඳ ගන්නට දබර කරන්නේ, තරග කරන්නේ තාවකාලික වූ, අස්ථිර වූ
දෙයක් නිසයි. මව්පිය සෙනෙහස හා සහෝදරත්වය කිසි විටකත් නැති කර නො ගන්නට කටයුතු
කිරීමයි යහපත්. මව්පියන් තුළ යම් යම් අඩුපාඩු වේ නම්, ඒවා නිවැරැදි කර ගැනීමට
නුවණින් කටයුතු කරන්නට ඕනෑ. ඔවුන් ශ්‍රද්ධාවෙන් අඩු නම්, ශ්‍රද්ධාව වර්ධනය
කිරීමටත්, සිල්වත් බවෙන් අඩු නම් සිල්වත් මඟ යන්නටත් පෙන්වා දෙන්න ඕනෑ. ප්‍රඥාවෙන්
තොර නම් ධර්මානුකූල ප්‍රඥාවට ළං කරන්න. දුවේ, පුතේ ඔබට මවට, පියාට උපස්ථාන කළ
හැකියි. ඔබ මේ සියල්ල කළ යුතු වන්නේ මෛත්‍රී සිතිනුයි. අවඥාවෙන් නම් නොවේ. එවිට ගුණ
නුවණින් යුතු මව්පියන් ඔබට හදවතින් ම ආශිර්වාද කරනු ඇති. දුවේ, පුතේ ඔබ ඉහළ
අධ්‍යාපනයක්, විශාල ධනයක් ලැබ සමාජයේ කුමන තත්වයක සිටියත් මවගේ ත්, පියාගේ ත් දෙපා
මුල වැටෙන්නට තරම් හිතක් ඇතිවීම ඉතා ම යහපත්.
ඒ වගේ ම මවගේත්, පියාගේත් ජීවිත අත්දැකීම් තුළින් ඔබට උපදෙස් හා අවවාද දෙන්නට
පුළුවනි. ඒවා වැරැදි ආකාරයෙන් දකින්න, සිතන්න එපා. ඒ සියලු දේ කරන්නේ ඔබේ අනාගත
ජිවිතය සැපවත් කිරීමේ අදහසින් මිස නපුරු අදහසකින් නම් නොවේ. මුළු ලොවම කඩා වැටුණත්
ඔබගේ ගුණබර මවටත්, පියාටත් ඔබ සමඟ, හදවතේ පත්ලෙහි ම රැඳෙන්නට ඉඩ දෙන්න.
දීපා පෙරේරා |