[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට

මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට

කවුරු සදිසි වෙති මෙලකට එ යතිඳුට

සත් හැවිරිදි දරුවකුගෙන් රජු මෙවන් හපන්කමක් කිසිසේත් ම බලාපොරොත්තු වූයේ නෑ. රජු, ජයබාහු කුමරු පුත්‍ර ස්නේහයෙන් හදා වඩා ගැනීමට භාර දෙන මෙන් ස්වර්ණවතී දේවියගෙන් ඉල්ලා සිටියා.

ජයබාහු කුමරු උපත ලැබුවේ ඉතා කලාතුරකින් එළඹෙන ග්‍රහයෝගයකින්. ඒ, 1408 වසරේ මැයි මාසයේ අට වැනි දා. එකල නක්ෂත්‍ර ආචාරීන්ගේ අනාවැකිය වූයේ, මේ දරුවා ගිහි ව විසුවොත් රජවන බව යි. පැවිදි දිවියට පිවිසුණහොත් ඒ හා සමාන උසස් තත්ත්වයකට පත්වන බව යි. එකල දකුණුලක බාර ව සිටියේ ජයබාහු කුමරුගේ පියාණන්. ඔහු වීරබාහු කුමරුයි. මව ස්වර්ණවතී. සීලවතී දේවිය නමින් වූයේ ද ඇයයි. තම පියා වූ වීරබාහු කුමරුගේ අකල් වියෝවෙන් පසු ජයබාහු කුමරු හැදී වැඩුණේ කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු ළඟයි.

එදා, සත් හැවිරිදි කුඩා දරුවකු ව සිටිය දී ජයබාහු කුමරු සිය මෑණියන් සමඟ හයවන පරාක්‍රමබාහු රජු මුණගැසීමට පැමිණියා. රජු, කුඩා කුමරුගෙන් හා මවගෙන් සැප දුක් විමසුවා. මේ පුංචි දරුවා දුන්නේ අපූරු පිළිතුරක්.

"මා වැනි බිළින්දා -වර වර ළඟට කැන්දා

දුක් සැප කුමන්දා- අසන නිරිඳෝ වෙන කොයින්දා"

සත් හැවිරිදි දරුවකුගෙන් රජු මෙවන් හපන්කමක් කිසිසේත් ම බලාපොරොත්තු වූයේ නෑ. රජු, ජයබාහු කුමරු පුත්‍ර ස්නේහයෙන් හදා වඩා ගැනීමට භාර දෙන මෙන් ස්වර්ණවතී දේවියගෙන් ඉල්ලා සිටියා. කුමරුට පිය සෙනෙහස හා රැකවරණය ද ඇවැසි වුණා. ඒ බව තේරුම් ගත් ස්වර්ණවතී දේවිය ඒ ඉල්ලීමට කැමැති වූවා. දරු සම්පත් තිබුණත් හයවන පරාක්‍රමබාහු රජතුමාට පිරිමි දරුවකු සිටියේ නෑ. දියණියන් දෙදෙනෙක් පමණක් වූවා. රජු තම භාරයට ගත් ජයබාහු කුමරු හදාවඩා ගත්තේ අප්‍රමාණ පුත්‍ර ස්නේහයකිනුයි.

ඒ ක්‍රි. වර්ෂ 1425 වසරයි. එවක ජයබාහු කුමරුගේ වයස අවුරුදු 17 ක්. සිය මෑණියන්ගේ ද ආශිර්වාද ඇතිව ජයබාහු කුමරු පැවිදි වීමට තීරණය කළා. ඒ අනුව දෙමටාටගම වාචිස්සර නමින් උතුම් වූ ප්‍රවෘජ්‍යාභාවයට පත් වූයේ කෑරගල වනරතන සංඝරාජ හිමියන්ගේ ආචාර්යත්වයෙනුයි. උන්වහන්සේ උතුම් උපසම්පදාවට පත් වූයේ 1438 වසරේ දී යි.

වාචිස්සර හිමියන්ගේ මුල් පන්සල වන්නේ ද ස්වකීය මුත්තණුවන් වූ උත්තරමූල රාහුල හිමියන්ගේ මුල් පන්සල වූ ප්‍රතිරාජ පිරිවෙණ බද ගණේගොඩැල්ල විහාරස්ථානයයි. මෙම විහාරස්ථානය ඉදිකොට ප්‍රදේශය ද දියුණු කොට ඇත්තේ දේවපතිරාජ නම් ඇමතිවරයා විසින්. පසුව එම විහාරස්ථානය අනෝමදස්සි හා වේදේහ යන මහ තෙරුන් වහන්සේලා වෙත පූජා කොට තිබෙනවා. වාචිස්සර හිමි ද මෙම විහාරස්ථානයට පැමිණ එම ප්‍රතිරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබුවා. සයවන පරාක්‍රමබාහු රජතුමා විසින් වාචිස්සර හිමියන්ට ආධාර පිණිස මෙම ප්‍රදේශයේ තිබූ සශ්‍රීක කුඹුරක් වූ මහවෙල හා ගොඩපිටිය ගම ද උත්තරමූල රාහුල හිමියන්ට පූජා කරනු ලැබුවා. උත්තරමූල හිමියන්ගේ ඇවෑමෙන් තොටගමු පිරිවෙන හා විහාරයේ අධිපතීන් වහන්සේ ලෙස රජතුමා විසින් පත්කරනු ලැබුවේ එවකට ගණේගොඩැල්ල පන්සලේ වැඩ සිටි වාචිස්සර ස්වාමින් වහන්සේ යි. එම පිරිවෙන රජයේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට පත් වන්නේ ද මෙයින් පසුවයි. විජයබාහු පිරිවෙන එකල තෙල්වත්තේ රන්පත් වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා.

උත්තරමූල හිමියන්ගේ අපවත්වීමෙන් පසු වාචිස්සර හිමියන් , තම මුත්තණුවන් වූ ශ්‍රී රාහුල හිමියන්ගේ නාමය, ස්වකීය නමට එකතු කර ගත්තා. ඒ වගේ ම තොටගමුවේ පිරිවෙනෙහි වැඩසිටි හෙයින් උන්වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි නමින් ද හැඳීන්වූවා.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සතු මතක ශක්තිය විශ්මයජනක වූවා. ඒ පිළිබඳ අපූරු ජන ප්‍රවාදයක් ද වෙනවා.

''දිනක් වීදාගම හිමි ධර්ම දේශනයකට වැඩම කිරීමට පෙර බලගතු සරස්වතී තෙල් බඳුනකට අශ්ව කෙන්දක් දමා එය සත් වරක් ගසා දමා දිවේ ගා ගන්නා ආකාරය කුඩා රාහුල හිමි බලා සිටියා. වීදාගම ගුරු හිමියන් විහාරයෙන් පිටත් වූ සැනින් රාහුල හිමි කළේ එම තෙල් බඳුන ගෙන පානය කිරීමයි. එය බලවත් ඖෂධයක් වූ බැවින් රාහුල හිමි සිහිමුර්ජා තත්වයට පත්ව ඇද වැටී තිබෙනවා. වහාම මේ බව ගුරුහිමියන්ට දැන්වූයෙන් සැණෙකින් ආපසු පැමිණ උන්වහන්සේ විසින් රාහුල හිමි බෙහෙත් ඔරුවක දමා සුවපත් කරනු ලැබුවා. මේ ඖෂධයේ බලගතුකම නිසා කුඩා රාහුල හිමි මතක ශක්තියෙන් අගතැන්පත් වූ බව මෙම ජනප්‍රවාදයෙන් කියැවෙනවා.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගෞරව සම්මානයට පාත්‍ර වන්නේ

''ෂඩ් භාෂා පරමේශ්වර'' යන නාමයෙන්. එයට හේතුව වූයේ සංස්කෘත, ප්‍රාකෘත, මාගධී ෂෛශාවි, සෞරසේනි, අප්‍රභංශ යන භාෂා පිළිබඳ පෘථුල දැනුමක් උන්වහන්සේ සතු වීමයි. ඒ වගේ ම ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය'' යන ගෞරව නාමය ද උන්වහන්සේට හිමි වනවා. ශ්‍රී රාහුල හිමි ස්වකීය පාණ්ඩිත්‍යය කාව්‍යෙශේඛරයේ දී දක්වන්නේ මහත් අභිමානයෙන් යුතුව යි.

ශ්‍රී රාහුල හිමි විජයබා පිරිවෙණෙහි වැඩ වසමින් සිදු කළ ශාස්ත්‍රීය සේවාව මෙරට ට පමණක් සීමා වූවක් නොවේ. නොයෙක් ශාස්ත්‍රයන් හි දැනුමැති විදේශිකයන් අතර පවා උන්වහන්සේ බොහෝ ප්‍රචළිත වූවා. රාහුල හිමියන්ගේ දැනුම් සම්භාරයට සම කළ හැකි අන් කිසිවෙක් මෙරට නොවූ බව යි පැවසෙන්නේ.

ගිරා සංදේශයේ සඳහන් මෙම කවෙන් ම ඒ බව පැහැදිලි වෙනවා.

''ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇමවිට

සොඳුරු නුවණ වෙර පහරින් සකොබ කොට

මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට

කවුරු සදිසි වෙති මෙලකට එ යතිඳුට''

ශ්‍රී රාහුල හිමියන්ගේ භාෂා සාහිත්‍ය සේවාව සොයා බැලීමේ දී උන්වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ සමූහය ඉතා වැදගත් වෙනවා.

පරෙවි සංදේශය, කාව්‍ය සංදේශය, සැලලිහිණි සංදේශය, පංචිකාප්‍රදීපය, වුත්තමාලාව, යෝගරත්නාකරයයි.

භාෂා සාහිත්‍යයට පමණක් නොව ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ද එකල මූලස්ථානයක් වූයේ තොටගමුව හා වීදාගම යි. ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය වැත්තෑවේ හිමියන් විසින් ලියූ ගුත්තිල කාව්‍යයට, සිංහල කාව්‍ය ග්‍රන්ථාවලියේ වැදගත් තැනක් හිමි වෙනවා. මෙම කාල වකවානුව තුළ ගිරා සංදේශය ලියා ඇත්තේ ද වෑත්තෑවේ හිමියන් බව ද කියැවෙනවා. ශ්‍රී රාහුල හිමියන් සේ ම ශිෂ්‍ය වෑත්තෑවේ හිමියන් ද සිංහල සාහිත්‍යයට කළ සේවය ඉතා විශිෂ්ට මට්ටමක පැවති බව මේ අනුව පැහැදිලි වනවා.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අවසාන කාලය වැඩසිටියේ අම්බන ඉඳුරුගල ලෙන් විහාරය ආශ්‍රිතව යි. උන්වහන්සේ අපවත්වීමෙන් පසු ශ්‍රී දේහය ලෙනෙහි තබා ප්‍රදේශයේ ජනතාව විසින් නිති වැඳුම් පිදුම් කරනු ලැබුවා. උන්වහන්සේ ජීවත් ව සිටිය දී ''සිද්ධායුලෝක රසායනය'' නමැති තෙලක් භාවිතා කළ හෙයින් ශ්‍රී දේහය වසර 2712 ක් නරක් නොවී තිබිය යුතු බවට විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවට රැගෙන ගිය පසු අම්බන ප්‍රදේශය ම පාලු වී ජන ශුන්‍ය වූ බව ද කියැවෙනවා.

- දීපා පෙරේරා

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]