කුක්කුර ජාතකය:
පිටිනුවරින් ආ අය
අපේ ඥාතීන් බව අමතක කරන්න එපා
පිබිදුණු නගර වැසියනට ඉවසුම් නොදෙන දුගඳක් දැනිණ. නැහැ පුඩු හකුළුවා ගනිමින් "මේ
කුමක් දැ" යි ඔවුහු විමසූ හ. දුගඳ විහිදුණේ මාළිගා අංගනයෙනි. හිරු මඳක් ඉහළට නැගී
අංගනයේ අඳුර පළවා හැර දුගඳ ආ තැන පෙන්වූයේ ය. රාජ පුරුෂයනට ඇස් ඇදහිය නොහැකි විය.
බඹදත් රජුගේ මුහුණෙහි වූයේ බෙහෙවින් විඩාපත් පෙනුමකි. කුමරියක විජිනි පතකින් පවන්
සැලූව ද ඩා දියෙන් පෙඟී තිබුණු ඔහුගේ සිරුරට දැනුණු ග්‍රීෂ්මය අඩු නොවී ය. උදෑසන
සිට උයන් කෙළියේ යෙදුණු රජුට ඉර අවරට යනු නොපෙනිණ. අහසේ වලාකුළු මුදුන් වනු පෙනිණ.
සුදු අශ්වයන් සිව් දෙනකු විසින් ඇදැගෙන ආ අලංකාර රිය මාළිගා අංගනයෙහි නතර කැරිණ.
"අද වහීවි." රියෙන් බසින රජුට සිතිණ.
"ඒ නිසා තමයි මේ තරමට රස්නෙ."
රජ බිසව ද කුමරියෝ ද රාජ පුරුෂයෝ ද විඩාපත් ව සිටිය හ. ඔවුහු ද රජු සමඟ මාළිගයට
පිවිසුණ හ.
අශ්වයන් මුදා ලූ රථාචාර්ය තෙමේ රාජකීය රථය මාළිගා අංගනයෙහි ම තිබෙන්නට හැරියේ ය.
හැන්දෑවේ වැහිකළු මුදුන් වැ නුවර අඳුරු විය. වැහි කළු යටින් හිරු බැස්සේ සොරකු
මෙනි.
මහ සුළඟක් ද හැමුවේ ය.
රජුට දැනුණ ග්‍රීෂ්මය දුරුවිය. වැසි ඇද වැටෙන්නට විය.
මාළිගා වහලේ පීලිවලින් මහ දිය කඳක් ගැලුවේ ය. කාණු ඉතිරී ගියේ මාළිගා අංගනය ද
දියෙන් වැසිණ.
වැසි සීතල මාළිගයේ රජු ඇතුළු බොහෝ දෙනකු නින්දට ළං කෙළේ ය. විඩාපත් සිරුරු වහා
නින්දෙහි ගිලිණ.
මැදියම් රැයවන විට වැසි නතර වූව ද පිබිද සිටි මිනිසෙක් නම් නොවී ය. රජ වාසල
මුරකරුවන් අතින් අසිපත් බිම වැටිණ. වහා ඒවා අතට ගෙන දෑස පිරිමැද පිබිද සිටීමට සිතුව
ද කුළුණුවලට බර දී සිටි ඔවුහු යළි නින්දට පැරැදුණහ.
පසුදා උදෑසන රන් රිවි කිරණ බරණැස් නුවර මහ මැදුරුවල දුහුවිලි නැති අලුත් කොත් කැරලි
සිප ගති.
පිබිදුණු නගර වැසියනට ඉවසුම් නොදෙන දුගඳක් දැනිණ. නැහැ පුඩු හකුළුවා ගනිමින් "මේ
කුමක් දැ" යි ඔවුහු විමසූ හ.
දුගඳ විහිදුණේ මාළිගා අංගනයෙනි.
හිරු මඳක් ඉහළට නැගී අංගනයේ අඳුර පළවා හැර දුගඳ ආ තැන පෙන්වූයේ ය. රාජ පුරුෂයනට ඇස්
ඇදහිය නොහැකි විය.
රාජකීය රථයේ අසුන්වල වූ සම් සහ සම්පටි ඉරී කොට්ටවල පුළුන් ඉවතට වැටී තිබිණ. දුගඳ
නැගුණේ තෙමුණු සම් කැබැලිවලිනි.
"මේ අපරාධය කළෝ කවුරු ද?"
"රාජ උදහසින් අපට මිදුමක් නම් නැහැ..." මුරකරුවෝ සිතූහ.
සුවඳ දුමින් පිරුණු, සුවඳ දිය විසුරුණු විසිතුරු කුටියෙක සැතැපී සිටි රජුට මේ දුගඳ
නොදැනිණ. පිබිදුණු පසු ඔහුට ළං වූ කුමරියක් රියට වූ විපත හෙළි කළා ය.
ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රජු ඉදිරියේ පෙනී සිටියේ ය.
"රජ තුමනි, රාජකීය රථයේ ආසන සුනඛයන් විසින් වනසලා"
"සුනඛයන් විසින්?"
"එහෙමයි, ඊයේ රෑ වැස්සට රථයේ ආසනවල හම් සහ හම්පටි තෙමිලා - පෙඟිලා - දුගඳ හමන විට
බල්ලන් පැමිණ ඒවා කාලා"
රජු රිය නැරැඹුවේ ය. ඔහුගේ නැහැය ද හැකිළිණ. තෙත පුළුන් කුට්ටි සහ ඉරුණු සම් කැබැලි
ඔහුට පෙනිණ.
"උදේ දැකිය යුතු දෙයක් නොවෙයි නුඹලා මට පෙන්නුවේ" රජුගේ දත් සැපෙන හඬ ඇසිණ.
රාජ පුරුෂයෝ වෙවුලන්නට වූහ.
"වහාම මේ රථය වඩුවන්ට දෙනු. පිටිනුවර එක සුනඛයකුවත් ජීවත් ව සිටිනු මා දුටුවහොත්
නුඹලාට ද ජීවත් වීමට ඉඩ නොලැබෙන බව දැන ගනිව්! වහාම වහාම පිටිනුවර යව්! ඒ රාජ
ද්‍රෝහීන් සමූල ඝාතනය කරව්!"
රජ අණ නිකුත්විණි,
"ඒ අණ නිවැරැදියි" රජු පසුපසින් ආ පුරෝහිතයා ද කීය.
රාජ පුරුෂයෝ දුනු, හී ද ගල් මුගුරු ද ගෙන පිටිනුවරට දිවූ හ.
මේ රජ අණ නොදත් සුනඛයෙක් බියෙන් සැකයෙන් තොරව වීදිය දිගේ ගමන් කෙළේ ය.
ඈත දිව එන රාජ පුරුෂයන් පෙනුණ ද ඌ ඔවුන් පිළිබඳ නොසිතී ය.
"අන්න රාජ ද්‍රෝහියෙක්" රාජ පුරුෂයෙක් කෑ ගැසී ය.
සුනඛ හිස මතට මහ මුගුරක් වැටිණ. හීන් කෙඳීරියක් නගමින් ඌ තවත් අඩි හත අටක් දුරට
ගියේ ය. පා පැකිළ වැටුණේ ය. යළි හිස එසවුණේ නැත.
"ඔන්න එක රාජ ද්‍රෝහියෙක් ඉවරයි".
මුගුරු පහර දුන් පුරුෂයා සතුටින් කෑ ගැසී ය. යමක් කටින් ඩැහැගත් බලු පැටියෙක් පටු
වීදියක් දිගේ දිව ගියේ ය.
"අන්න අන්න රාජකීය රථයේ සම් කැබැල්ලක් ගෙන යනවා - පුංචි රාජ ද්‍රෝහියෙක්"
රාජ පුරුෂයෙක් ඇඟිල්ල දික් කෙළේ ය. හී සරයක් පුංචි සුනඛ හිස සිදුරු කෙළේ ය. නැගුණේ
මඳ කෙඳීරියක් පමණි. බලු පැංචා ඇද වැටී දෑස පියවිණි.
'බඩුත් එක්ක හොරු ඇහුවුණා."
දුන්න ගත් පුරුෂයා බලු පැටියාට ළං විය.
ඒ කුඩා මළ සිරුරු මුවෙහි වූයේ මස් කෑල්ලකි.
පැටියා සොයා ආ මව ඔහු නො දුටුව ද මුගුරු පහරකින් පරලොව දුටුවා ය.
පිටිනුවර මිනිස්සු කැළඹුණහ. තැන තැන වැටුණු සුනඛ මළ සිරුරු පෙනිණ.
"මොකක් ද මේ සුනඛ සංහාරේ?" ඔවුහු ඇසූ හ.
"රජ අණ - රජ අණ. ප්‍රශ්න කරන්න එපා". රාජ පුරුෂයෝ ගුගුළ හ.
"සුනඛයෝ රජතුමාගේ රථය වනසලා - උන් රාජ උදහසට ලක්වෙලා".
මිනිස්සු යළි ප්‍රශ්න නො කළ හ. කරබාගෙන සිය කටයුතුවල යෙදුණ හ.
"අපට මොක ද ඕක සුනඛයන් ගේ ප්‍රශ්නයක් නේ" ඔවුහු සිතූ හ.
එහෙත් සුනඛයෝ භීතියෙන් ඇවිස්සුණහ.
"මොකක් ද මේ අපේ වර්ගයාට සිදුවන්නේ?
දුටු දුටු තැන අප මරන්නට රජතුමා නියෝග කරලා"
සුනඛයෙක් තවත් සුනඛයකුට කීය.
"මහ සොහොනේ සිටින අපගේ නායකතුමා හමුවෙමු. මේ විපත ගැන කියමු."
අනෙක් සුනඛයා යෝජනා කෙළේ ය.
පිටිනුවර මහ සොහොනේ බිම සුනඛයන් දහසක් වෙසෙන තැනකි. ඔවුන් විසින් තෝරා ගැනුණු
නායකයෙක් එහි විය.
ඒ නායක තෙමේ තැන්පත් ය. කාරුණික ය. සිය පිරිසේ කිසිවකුට ගැටුමකට, කලහයකට, ඉඩ නො
ලැබෙන පරිදි දැහැමෙන් සෙමෙන් පාලනයෙහි යෙදෙන්නේ ය.
පිටිනුවර සුනඛයන් දෙදෙනා හෙළි කළ පුවත නිසා සොහොනේ සුනඛයෝ ද කැළඹුණ හ.
"පිටිනුවර සුනඛ මළ සිරුරු සිය ගණනක් මා දුටුවා. රාජ පුරුෂයන් දුනු හී තල ගෙන, කඩු
මුගුරු ගෙන අප ලුහු බඳීනවා. එහෙන් මෙහෙන් පැන අපි ඔබ තුමා හමුවීමට ආවා."
සුනඛයෝ නායකතුමාට කී හ.
ඒ මොහොතේ ම තවත් සුනඛයෝ කීප දෙනෙක් සොහොනට ආ හ.
"පස්සෙන් ඊතල එනවා. ගල්, මුගුරු වැටෙනවා. අපේ වර්ගයා විනාශයි."
හති හලමින් එක සුනඛයෙක් කී ය.
"රාජ පුරුෂයෝ මේ ළඟට ම ආවා. කැළේ පාරවල් සොයාගන්න බැරිව යන්න ඇති. ඒත් මට බයයි. උන්
කොහොම හරි මෙහාටත් ඒවි"
පිටිනුවරින් ආ සුනඛ මහල්ලෙක් කී ය.
සොහොන් වැසියනට තැති ගැන්මක් ඇතිවිය.
"ආරක්ෂාව පතා නුඹලා අප සිටින තැනට එනවා. රාජ පුරුෂයන් එය දැනගත්විට අපටත් මෙහි
වසන්නට ලැබෙන්නේ නැහැ."
සුනඛ නායක තෙමේ ඔවුන් නිහඬ කෙළේ ය.
"ආරක්ෂාව සඳහා පැමිණි සියලු දෙනා ම අපි සාදරයෙන් පිළිගන්න ඕන - ඔවුනට අනාථයන් වන්නට
ඉඩ දෙන්නට එපා - ඔවුන් අපේ ම අය. මේ භීෂණය දුරුවන තුරු ඔවුන්ට අප සමඟ ජීවත් වන්නට
ඉඩ දෙමු. ඒ අතර අපි විසඳුමක් සොයා ගන්න ඕනෑ."
"රජතුමා අපේ වර්ගයාට සතුරු වූයේ ඇයි?" නායකයා පිටිනුවරින් ආ අයකුගෙන් ඇසී ය.
"දවසක් රජතුමාගේ නිල රථය මාළිගාවේ අංගනයේ තිබිලා වැස්සට තෙමිලා. රථයේ ආසනවල තෙමුණ
හම් සුනඛයන් කෑවලු. රජතුමා කෝපවෙලා නියෝග කළා ලු සුනඛ සංහාරය පටන් ගන්න."
"නුවර දොරවල් වැහුවට පස්සෙ පිටිනුවර කෙනකුට ඇතුළට යන්න පුළුවන් ද?"
"පුළුවන්කමක් නැහැ නායකතුමනි, මා දිනක් රාත්‍රියක ඇතුළු නුවරට යාමට තාප්පය වටේට ම
ඇවිද්දා - හැමතැන ම මුරකාවල් - මීයකුට රිංගන්න පුළුවන් තරමේ සිදුරක්වත් නැහැ.
මීයෙක් නම් තාප්පෙට උඩින් පනිවී - සුනඛයන්ට ඒ හපන්කම් බැහැ."'“ඇතුළු නුවරත් සුනඛයන්
ඉන්නවා නේද?"
"එහෙමයි -රජතුමා සමඟ දඩයමේ යන සුනඛයන් ඉන්නවා."
"ඒ කියන්නෙ කීන බල්ලො?"
"එහෙමයි - එක දවසක දවාලක මා ඇතුළු නුවරට ගියා - මාළිගාවේ සඳුලුතලවල කීණ බල්ලන්
සිටිනවා මා දැක්කා."
නායකයා හිස සලමින් යමක් සිතුවේ ය.
ඔහු සිය සගයන් රැස් කෙළේ ය.
"පිටිනුවරින් ආ අය අපේ ම වර්ගයේ අය බව, අපේ ඥාතීන් බව අමතක කරන්න එපා - ඔවුන්ට කළ
හැකි සියලු සත්කාර කරන්න - තවත් ටික දවසකින් ඔවුන්ට ආපසු පිටිනුවර ට යන්නට ලැබේවි."
සගයෝ නායකයා ගේ බස පිළිගත් හ. එහෙත් ඔවුන්ගේ සිත බියෙන් පිරී තිබිණ. රජුගේ හී සර වන
ලැහැබට ඉහළින් හා පහළින් යම් මොහොතක සොහොනට පැමිණිය හැකියි ඔවුනට සිතිණ.
නායක තෙමේ සොහොන් බිම මැද වූ ගල් තලාවේ වැතිර සිතන්නට විය.
"මේ රාජ නීතිය හරිම අසාධාරණයි. අයුක්ති සහගතයි. දඬුවම් නිවැරදිකරුවන්ටයි.
වැරදිකරුවන්ට සැලකිලි. රාජකීය රථයට සිදු වූ දේ සොහොනේ සිටින මට පෙනෙනවා. - එහෙත් එය
මාළිගාවේ සිටින රජුට පෙනෙන්නේ නැහැ. ඔක්කොම වැරදිවලට දඬුවම් ලැබෙන්නේ ලොක්කන් සමඟ
සමීප බව නැති පිටිනුවර සිටින අහිංසකයින්ටයි. පහත් තැනින් යයි ගලා ජලේ කීවා නේ.
මා රජතුමාට හමු වී ඇත්ත පහදා දෙනවා."
ඔහු ගල්තලාවෙන් බැස සගයකුට සිය සිත හෙළි කෙළේ ය.
"නායකතුමනි, සොහොන් බිමෙන් පිටතට යාම ගැන නම් සිතන්නට එපා. රාජ පුරුෂයන් වියරු
වැටිලා. උන් පිටිනුවර සුනඛයන් සොයනවා. පිටතට ගියොත් ආපසු එන්න ලැබෙන්නේ නැහැ.
ඔබතුමා ගේ ගුණ යහපත්කම් උන්ගේ ඊතල - මුගුරුවලට පේන්නේ නැහැ."
සගයා කීය.
"මා හිතනවා ඔය ගමනේ දී මට කිසිදු උපද්‍රවයක් වෙන්නේ නැහැ - මා යන්නේ යහපත් අරමුණක්
ඇතිව - සියලු අහිංසකයන් ගේ ජිවිත රැක ගැනීමේ පරමාර්ථයෙන්."
නායකයා ඇතුළු නුවරට යන පුවත සොහොන් බිමේ පැතිරිණ.
"නායකතුමනි, ඔබතුමාට පිටිනුවර වීදියක අඩියක් දෙකක්වත් යන්නට ලැබෙන්නේ නැහැ.''
බලු මහල්ලෙක් කීය.
බොහෝ දෙනකු ගේ ඇස්වලට කඳුළු නැගිණ.
"මිත්‍රවරුනි, මගේ අරමුණේ පිවිතුරු බව, උතුම් බව, සැබෑ නම් මට අනතුරක් නොවී, ඒ
අරමුණ ඉටු කරගෙන එන්නට ලැබෙනවා - මා එනතුරු සන්සුන් ව, සාමකාමීව ඉන්න"
නායකයා ගමන අරඹමින් කී ය.
සොහොනේ දොර තෙක් සිය නායකයා කැටුව පිරිස ගමන් කළ හ.
"ඔබ තුමා ගේ ගමන සරුවේවා! නිවැරැදි අපට සාධාරණය ඉටුවේ වා!" ඔවුහු පැතූ හ.
සුනඛ නායක තෙමේ පිටිනුවර වීදි ඔස්සේ නුවර මහ දොරටුව දක්වා ගියේ අවට වූ සිය වර්ගයා
ගේ මළ සිරුරු කීපයක් ද දුටුවේ ය. දුනු, හී, අසිපත්, ගත් අත් ඇති රාජ පුරුෂයනට මේ
නායකතුමා ගමන් කරනු නොපෙනිණ.
මහ දොරටුවේ රැකවල්ලූ ද කරබාගෙන සිටිය හ. ඔහු මාළිගා අංගනය මැදින් ගියේ සුවිසල්
මැදුරෙක සඳලුතලෙහි කීණ බල්ලන් සිටිනු ද දුටුවේ ය.
"සැප සේ වැඩුණු අපගේ වර්ගයේ ම අය. එහෙත් ඔවුන් සිටින්නේ රජු වෙනුවෙන් අහිංසකයන්
දඩයම් කිරීමට යි. ඒ සඳහා ඔවුන්ට රජු ගෙන් රජ සැප!"
මෙසේ සිතමින් ගිය ඔහු රාජ මාළිගාවට ද ඇතුළු විය.
ඉදිරිපස දිගු ශාලාවකි. එහා විසිතුරු භාණ්ඩ තැන්පත් කැරැ තිබිණ. පහළ බිතු කොටස
කැටපත් පුවරුවලින් සරසා තිබිණ. බලු නායක තෙමේ සිය පිළිබිඹුව දැක මඳක් විමසිලිමත්
වූයේ ය. මුහුණේ වූයේ විඩාව මිස බියක සැකයක ලකුණු නොවේ. ඒ ශාලාව කෙළවර විසල්
දොරටුවකි. එහි ඇතුළට ගියවිට පෙනුණේ රාජ සභාව ය.
සිංහාසනාරූඪව සිටි රජු ඇමතිවරයකු ගේ බසට කන්දෙනු සුනඛ නායකයාට පෙනිණ. පුරෝහිත බමුණා
ද, ඇමතිවරු කීප දෙනෙක් ද, සෙන්පතිවරු ද, දිලෙන අසිපත් ඉහළට නගා ගත් අත් ඇති
රාජපුරුෂයෝ ද එහි වූහ. ඔවුන් ගේ ඇස්වලට ගොදුරු නොවූ සුනඛ පතියාණෝ නරපතියාණන්ගේ
සිහසුන මැද මඳ විවේකයක් ගන්නට සිතී ය.
එක් රාජපුරුෂයකු ගේ ඇසට සිහසුන යටට රිංගාගත් බලුපතියා පෙනිණ. ඔහු මුගුරු ගෙන
බලුපතියා පිටතට ගැනීමට සැරසුණේ ය.
"ඌ පිටතට ගන්න එපා" රජු කී ය.
බලුපතියා නරපති අසුන යට වැතිර ඇමති දෙසුමට සවන් දී සිටියේ ය.
"මහරජතුමනි, පිටිනුවර වැසියන් කැරලි නොගසන එක ගැන මට පුදුමයි. ඔවුන් විරුද්ධ වන්නේ
සුනඛ සංහාරයට නෙවේ. තැන තැන දමා ඇති සුනඛ මළ සිරුරුවල දුර්ගන්ධයටයි. රාජ පුරුෂයනට
අණ ලැබී ඇත්තේ උන් මරා දැමීමට පමණයි. මළ සිරුරු වළ දැමීමට නියෝගයක් නැහැ. පිටිනුවර
මහා පරිසර දූෂණයක් සිදුවෙනවා. - වසංගත රෝග බිය ද ළඟ ළඟම එනවා.
දැන් පිටිනුවර පණ ඇති එක සුනඛයෙක්වත් නැහැ. උන් මහ සොහොනට ගොස් සැඟවුණු බව මට මේ
දැන් සැළවුණා."
වැතිර සිටි සුනඛපතියා ගේ හිස එසවිණ. සවන් පත් දික් විය.
"මේ නිසා රජතුමනි, රාජ පුරුෂයන් වහා සොහොන් බිමට ද යැවිය යුතුයි. නැතිනම් අපගේ සම්
ද උන් කා දමනු ඇති"
රජු එක් ඇමතියකු දෙස බැලී ය.
"සියලු සුනඛ මළ සිරුරු සොහොනට ගෙන ගොස් ගිනි තැබීමටත්, සොහොනේ සිටින සුනඛයන් ද ඒ
ගිනි ගොඩට ම දමා මැරීමටත් නියෝග කරමි."
රාජ සභාවේ කටයුතු අවසන් විය.
නරපති සිහසුනෙන් බසින්නට සැරසුණි.
සුනඛපති සිහසුන යටින් පිටතට පැමිණ රජුට නමස්කාර කෙළේ ය.
"මහරජතුමනි" ඔහු රජු ගේ දෑස තමා දෙසට ඇද ගත්තේ ය.
"ඇයි? මොකද? "රජු නො මනාපයෙන් මෙන් ඇසී ය.
"ඔබ තුමා සමඟ සාකච්ඡා කිරීමට මට කාරණයක් තියෙනවා.''
රජු යළි සිහසුනේ හිඳගති.
සිය නිවෙස් කරා යාමට සැරසුණු පුරෝහිත බමුණා ද, ඇමතිවරු ද, සෙන්පතිවරු ද, යළි සිය
අසුන්වලට බර දුන්හ.
"මොකක් ද කාරණය?" රජු ඇසී ය.
"අපේ වර්ගයා ඝාතනය කිරීමට ඔබතුමා නියෝග කරලා තියෙනවා. ඒක සාධාරණ නියෝගයක් නොවෙයි."
''ඔය නියෝගය සෑම සුනඛයකුට ම වලංගු ද?"
"නැහැ මාළිගාවේ සිටින අපේ කීණ බල්ලන්ට ඔය නීතිය වලංගු නැහැ."
"ඔබතුමා දඬුවම් දෙන්නේ තමන් ගේ අය බේරලා. පිටිනුවර අයට පමණයි ඔය නීතිය වලංගු. ඉතින්
මා ඒකනේ කීවේ ඔය නීතිය අසාධාරණයි කියල.
මෙහි ඉතිරි කොටස වප් අව අටවක පෝදා 28 පත්‍රයේ පළවේ
දෙනගම සිරිවර්ධන |