රන්කරුවාගේ පාඩම
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
අනුපුබ්බේව මේධාවි -
ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙව -
නිද්ධමේ මලමත්තනො
පිරිසුදු රත්තරනින් යම් ආභරණයක් සෑදීමට අවශ්‍ය වූ විට රන් කරුවකුට රත්රන් කෝවෙහි
දමා එක් වරකින් පුළුස්සා පිරිසුදු කර ගත නො හැකි ය. ඔහු වාර ගණනක් කෝවෙහි දමා
පුළුස්සමින් ඒ රන්වල අනුක්‍රමයෙන්මලකඩ දවා, හැර දමා අන්තිමේ පිරිසුදු කොට ගෙන ම
පළඳනාව සාදා ගනියි. මලයෙන් ගැවසී පවතින රන් කැබැල්ලකට අපේ ජීවිතය සමාන ය. එයට හේතුව
පුහුදුන් අප කා තුළත් කෙලෙස් මල පවතින හෙයිනි.
බලගතු සතුරෙක් කෙනකුට කරන දරුණු විපතකට වඩා අප තුළ ම ඇති කෙලෙස් මල එක් ආත්මයක
පමණක් නොව, අසීමිත ආත්මවල තදබල දුක් හිරිහැර අපට ලබා දෙයි. කොස්, පොල් හෝ ගල් මුල්
හෝ වෙනත් ද්‍රව්‍යයක් මේ ආකාර යැයි සටහන් වශයෙන් පෙන්විය හැකි ය. එහෙත් අප තුළ ඇති
කෙලෙස් මේ ආකාර යැයි රූප වශයෙන් දැක්වීම අපහසු ය. විමසිලිමත් ව බලන විට අප තුළ
පවතින කෙලෙස්වල ප්‍රමාණය ගණනින් එක් දහස් පන්සියයක් පමණ වෙයි. ඒවා විවිධ වචන උපයෝගි
කොට ගෙන අවබෝධ කර දීමට උත්සාහ ගෙන ඇත. එයින් ප්‍රධාන වූ ලෝභය දැක්වීම සඳහා වචන
සියයක් පමණ ද, ද්වේශය හැඳීන්වීම සඳහා වචන විසි හයක් ද, මෝහය දැක්වීම සඳහා වචන විසි
පහක් ද, වශයෙන් වෙන් වෙන් වූ වචන ධර්ම ග්‍රන්ථයන් හි යොදා ඇත්තේ රූපකාරයෙන් ඒවා
දැක්වීමට අපහසු හෙයිනි.
අප සන්තානයෙහි පවත්නා කෙලෙස් එක්වර සුළු වේලාවකින් කිසිවකුට හෝ විනාශ කළ නොහැකි ය.
එය ආත්මභාව ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් ක්‍රියා කොට ලබා ගත යුතු ප්‍රතිඵලයකි.
බුද්ධ කාලයෙහි ජීවත් වූ යහළු භික්ෂූන් පන්සිය නමකගෙන් එක් නමක් හැර අන් අය වස් කාලය
ආරම්භයේ දී ඈත විවේක සෙනසුන් කරා වැඩමවා අනුපිළිවෙලින් ක්‍රමවත් ව භාවනා කොට වස්
අවසානයත් සමඟ රහත් භාවයට පත්වූහ. ඒ පිළිබඳ ව සිතා ඉතිරි භික්ෂූ නම එක් රැයකින් රහත්
විය හැකි යැයි සිතා අධික උත්සාහයෙන් භාවනා කිරීමට පටන් ගෙන මධ්‍යම රාත්‍රිය
ඉකුත්වත් ම අධික තෙහෙට්ටුව නිසා සක්මන් මලුවෙහි වැටී පාදය බිඳී බලවත් දුකට පත්වීමේ
පුවතක් ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ.
සෑම දෙයකට ම සාර්ථක ප්‍රතිඵල ලැබීමට අනුගමනය කළ යුතු පැහැදිලි ක්‍රමානුකූල පියවර
ඇත. විභාග සමත් කිරීමට බලාපොරොත්තු වන සිසු දරුවෝ එයට අදාළ දැනුම පාසලට ඇතුළු වූ
කුඩා කාලයේ සිට අනුක්‍රමයෙන් උසස් මට්ටමකින් ලබා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල හිමිකර
ගනිති. එදිනෙදා ලබා ගත යුතු දැනුම නො මැතිව විභාග ආසන්න වනවිට නොකා නොබී, නිදි වරා
අධික වෙහෙසට පත්ව වැඩ කරන අයට සිදුවන්නේ ද කලින් සඳහන් පා බිඳ ගත් භික්ෂු නමට සිදු
වූ දෙය යි.
මගඵල ලැබීමට බලාපොරොත්තු වන අය එක දිනකින් හෝ, එක වසරකින් හෝ එය සිදු කළ හැක්කක් සේ
සිතීම මුලාවකි. සමහර විට කල්පයක් වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ කෙලෙස් ප්‍රහීන කිරීමේ
ප්‍රතිපත්තිවල යෙදීමෙන් අනතුරුව ලබා ගත යුත්තක් බව අමතක කළ යුතු නොවේ.
බුද්ධ කාලයේ ජීවත් වූ බමුණෙක් උදෑසන භික්ෂූන් සිවුරු පොරවනු බලා සිට එක් නමකගේ
සිවුරු අග කෙළවර තණකොළවල තිබූ ජලයෙන් තෙත්වනු දැක එ බිම පිරිසුදු කළේ ය. පසුදින
සිවුරු අග මඩ තැවරෙනු දැක ඔහු එහි වැලි අතුළේ ය. තවත් දිනක තද වැස්සේ සිවුරු පොරවනු
දැක එහි ශාලාවක් ඉදි කෙළේ ය. මුල සිට සුළු වශයෙන් සිදු කළ ක්‍රියාව, පසුව මහත්
ධනයත්, ශ්‍රමයත් කාලයත් වඩාත් වැය කොට ශාලාවක් ඉදි කොට පූජා කිරීම දක්වා වර්ධනය
විය.
ඉහත සඳහන් සිදුවීම නිමිති කොට කරුණු ගෙන හැර දැක් වූ බුදුරජාණන් වහන්සේ,
අනුක්‍රමයෙන් තමාට ම විපත්ති කරමින්, තම ස්ථානයෙහි ලැගුම් ගෙන සිටින කෙලෙස් නැති
කිරීමට උත්සාහ ගැනීමේ අගය පෙන්වා පැහැදිලි කිරීම සඳහා මෙහි සඳහන් ගාථාව දේශනා කළහ.
ලෝභ ආදී කෙලෙස් මැඩ පැවැත්වීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. කෙනකුගේ ස්මරණ ශක්තිය,
ඤාණ ශක්තිය, ඉන්ද්‍රිය ශක්තිය හා ශරීර ශක්තිය වයස්ගත වීමත් සමඟ අනුක්‍රමයෙන් දුබල
වෙයි. එහෙත් තණ්හාව ඇතුළු කෙලෙස්වල ශක්තිය වයස කොපමණ ගත වුවත් දුබල නොවේ. අපේ
උත්සාහය විය යුත්තේ අප තුළ ම රැඳී සිටිමින්, අපට ම දුක් කරදර විපත් සිදු කරන මේ
කෙලෙස් සතුරන් මැඩ පවත්වා නැතිකර දැමීමට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ කුසල
ක්‍රියාවන්හි වඩ වඩාත් යෙදීම යි. |