දුටුගැමුණු මහ රජතුමා -
49:
සිරිනාග අද මෙහි පැමිණියේ
රාජකාරි කටයුත්තකට ද?
සිරිනාග මහියංගනයට පැමිණෙන විට හිරු බැස යමින් තිබිණි. මහියංගන විහාරයට යන්නට පෙර
මේ ගමනෙහි අරමුණ පිළිබඳ විහාරාධිපති වහන්සේට ත්, දිඝාභයට ත් කරුණු කියන්නට සිදු වන
බව දත් ඔහු මදක් කල්පනා කළේ ය.
"මහියංගන ගම්මාන දෙකක සිදු වූ කොල්ලකෑම් හා මිනිස් ඝාතන ගැන සොයා බලා වාර්තා කරන
ලෙසට මට දැනුම් දී තිබෙනවා. ඉදිරියේ දී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමත්, ඒ ගමන් ම
මහියංගනයට සිදු වී ඇති අලාභ හානිය ගැන සොයා බැලීමත් සඳහා යි එන්නට සිදුවුණේ. "
සිරිනාග ගේ සිතට සතුටක් ඇතිවිය. දිඝාභය ගේ ත්, විහාරාධිපති ස්වාමින් වහන්සේ ගේ ත්
ප්‍රසාදයට හේතු වන හොඳ අරමුණක් සිතා ගත් ඔහු, කඩයකට ඇතුළු වී ඔසු පැන් බඳුනක් බී
ගමන් විඩාව මඟහරවා ගත්තේ ය. නැවත මහියංගන විහාරය දෙසට ගමන් ඇරඹීය.
සිරිනාග විහාරයේ පහත මලුවේ කොනක අසු රඳවා පඩිපෙළ නඟින්නට සුදානම් වුවා පමණි. ඔහුට
තමන් අමතන හඬක් ඇසිණි. නැවතී හඬ ආ දෙස බැලූ ඔහු දුටුවේ පහත මලුවේ ඈත කොනක බෝධිය අසල
පියගැට පෙළ මත හිඳගත් ස්වාමින් වහන්සේ නමක් හා ඒ අසල ම ගල් පොත්තක හිඳගත් දීඝාභය
මහා සෙනෙවි ය.
තමා පැමිණි ගමන සාර්ථක වනු ඇතැයි සිතූ සිරිනාග සතුටු සිනාවකින් යුතු ව ඒ දෙසට පා
නැඟී ය.
"සිරිනාග, මොකද අද මෙහි?" රාජකාරි කටයුත්තකට ද ?"
"ඔව්, රාජකාරි කටයුත්තකටයි ආවේ. විනාශයට පත් වූ ගම්මාන ගැන සොයා බලන්නයි ආවේ. ඒ
ගමන් ම විහාරස්‌ථානයටත් ඒමට සිතුණා"
"සිරිනාග තොප තමන්ට අයත් රාජකාරිය හරියට කරන ශූර සෙනෙවියෙක්. තොප මගේ කඳවුරට එනවා
නම් මම බොහොම කැමතියි. සිරිනාග හඳුනන්නේ නැතිව ඇති. මේ කැලණිය රජමහ විහාරයේ
පිණ්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ. කැලණිය රාජධානියේ සිව රජතුමා ගේ මලණුවන්.
විහාරමහා දේවිය ගේ සහෝදරයා."
"අහලා තිබෙනවා. අද තමයි දැක්කේ. සෝම චෛත්‍යයත්, සේරු චෛත්‍යයත් ඉදි කිරීමට
කාවන්තිස්ස මහා රජතුමා සමඟ එහි ගොස් වැඩ සිටි බව අසා තිබෙනවා. ඔබ වහන්සේ ගැන හැමෝ ම
කතා කළේ ප්‍රසාදයෙන්. ඒ රාජ්‍ය දෙක ම මාගම රාජ්‍යයේ ප්‍රාන්ත රාජ්‍ය දෙකක් වීමත්
එයින් සිදු වූ යහපත් ප්‍රතිඵලයක් .
තිස්ස් ස්වාමින්වහන්සේ ගේ මුවගට සිනාවක් නැඟිණි. දීඝාභය උන්වහන්සේට සිරිනාග හඳුන්වා
දුන්නේ ය.
"ස්වාමින් වහන්ස, මේ අනුරාධපුර රාජධානියේ ඉතාමත් දක්ෂ සෙනෙවියෙක්. සිරිනාග "
"හොඳයි, අනුරාධපුරයේ මම දින දහයක් පමණ නැවතී සිටියා. මගේ සිතට කිසි සහනයක් ඇතිවුණේ
නැහැ. වෙහෙර විහාර සියල්ල ම කොල්ල කාලා. පෙති පිළිම විනාශ කරලා. මහා විහාරයට සිදු
කර ඇත්තේ අපරාධයක්. බෞද්ධයන්ට නොයෙකුත් තර්ජන. එළාර ගේ ධර්මිෂ්ඨකම මහා බොරුවක්."
දීඝාභය සිරිනාග දෙස බැලුවේ ය. සිරිනාග දීඝාභය දෙස බැලී ය. දිඝාභය ගේ මුහුණ අඳුරු වී
ඇත.
"මට දුක අපේ හාමුදුරුවරු එළාර රජමාළිගයේ දන් වැළඳීමට යන එක ගැනයි. ඔවුන් ගේ මේ
හැසිරීම මට හරිම පිළිකුල්. මා මෙහි පැමිණියේ ඒ උදවියට හොඳ හැටි කරුණු පැහැදිලි
කරලයි. "
"දීඝාභය, සිරිනාග වුණත් ජාතිද්‍රෝහී පිරිස්. අපේ රටට ද්‍රෝහිකම් කරන, බුද්ධ ශාසනය
විනාශ කරන පිරිසකට සිංහලයෙක් සේවය කරනවා නම්, ඔහු ගැන ඇසීමත් පාපයක්. බුද්ධ ශාසනය
රැක ගන්න තුන් සිංහලය එක්සේසත් කර ගන්න කටයුතු කරන කාවන්තිස්ස රජතුමා ගේ පුතෙක්
ජාතියේ සතුරු පිළට සේවය කරනවා. අභාග්‍ය සම්පන්න කාලයක ම මිසක් වෙනත් කාලයක මෙහෙම
ඒවා අසන්නට පුළුවන් ද? "
සිරිනාග ගේ මුහුණෙහි දක්නට ලැබුණු සිනහව දිඝාභයට පෙනී ගියේ උපහාසාත්මක ලෙසිනි.
සිනහව සඟවා ගන්නට උත්සාහ කරමින් ඔහු තිස්ස හිමියන් ගෙන් ප්‍රශ්නයක් ඇසීය.
"ස්වාමින් වහන්ස , ඔබ අප දෙදෙනා ගැන එසේ පැවසුවත් සෝම සේරු රාජ්‍යවල අභය, මහාසිව
රජවරුන් දෙදෙනා එළාර රජතුමාට යටත් භාවය පළ කරමින් කප්පම් ගෙවීමට කැමැත්ත පළ කර
සිටින බවට ආරංචියි. "
"මේ දිඝාභයටත් උවමනා කර තිබෙන්නේ ඒ දේ ම යි. දිඝවාපියටත් උවමනා කර තිබෙන්නේ ඒ
දේමයි. දීඝවාපියත් අනුරාධපුරයේ ප්‍රාන්ත රාජ්‍යයක් කර ගැනීමට එළාරට වුවමනා වෙලා
තියෙනවා. තිස්ස ගැමුණු අයියණ්ඩියට ද්‍රෝහී වෙලා. මගේ සහෝදරියත් දීඝවාපියට ඇවිත්
සිටින්නේ මේවා අනුමත කරන්න ද? කියා දැන ගැනීමට මම හෙට උදෑසන ම දීඝවාපියට යනවා.
මේ කතාබහ නොරිසි වූ දීඝාභය තිස්ස හිමිපාණන් ගේ කතාවට බාධා කරමින් සිරිනාග ඇමතුවේ ය.
"සිරිනාග අදම ආපහු යනවා ද?"
"ගමන් වෙහෙස බොහෝයි. ඒත් අදම යන්නට යි අදහස. "
"මටත් අදම යන්නට ඇත්නම් හොඳයි. "
"ඒක හොඳයි. දෙදෙනා ම එකට යන්න. දෙදෙනා ම හිතන්න යා යුත්තේ කොහාට ද කියා?"
තිස්ස හිමිපාණන් ගේ එම ප්‍රකාශය දෙදෙනාට ම එල්ල කළ උපහාසයක් විය.
මාහිමිපාණන් වහන්ස, අපට යන්නට අවසර " දෙදෙනා ම තිස්ස හිමිපාණන්ට වැඳ නැඟී සිටියහ.
"හෙට උදෑසනින් ම මමත් දිගාමඩුල්ලට යනවා. තිස්ස රජතුමා හමුවීමටත් යනවා. රට එක්සේසත්
කිරීමේ සටනට කිසිවකුත් පාවා දෙන්නට ඉඩ දෙන්නට බැහැ. සේරු, සෝම රාජ්‍ය දෙකේ රජවරු
හමුවී එතැනින් මාගමට යනවා. දුටුගැමුණු රජතුමා ගේ සටන් පෙරමුණේ මමත් එනවා."
තමා පැමිණි කටයුත්ත සම්පුර්ණයෙන් ම අසාර්ථක වී ඇති බවට සලකුණු දිඝාභයගේ මුහුණේ
පිළිඹිබු වන බව සිරිනාගට අවබෝධ විය. පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ කෙරෙහි ඔහු ගේ
සිතෙහි මහත් ප්‍රසාදයක් ඇතිවිය.
දීඝාභය කුමරු සමග විජිතපුර බලකොටුවට පැමිණි සිරිනාග එදින රැය එහි ගත කළේ ය. එළාර
රජු ගේ ඉල්ලීම මත යන්නට සිදු වුණත්, මහියංගනයට ගොස් පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ
හමුවීම කැමැත්තකින් නොකළ බව දීඝාභය කිවේ ය. මේ ප්‍රතිඵලය හිමි වන බව දැන දැන ම ආවේ
රජතුමා ගේ සිත සතුටු කිරීමට උවමනා නිසා බව ඔහු කී ය.
"මහ සෙනෙවිතුමනි, විජිතපුර බලකොටුවේ දී ඔබතුමා හමු වන ලෙස දූතයකු ගෙනා පණිවිඩය අනුව
එන්නට සූදානම් වන විටයි ඔබ විජිතපුර බලකොටුවේ නැති බව මිත්‍ර සෙනෙවි තුමා ගෙන් දැන
ගත්තේ "
"ඔව්, මෙය හදිසි ගමනක් වුණා. ඒත් මේ රහසිගත ගමන මිත්‍ර දැන ගත්තේ කොහොමද ?"
"උපතිස්ස පැවසුවා විය හැකියි. ඔහු ඊයෙත් අනුරාධපුරයේ."
"නැහැ, උපතිස්ස රහස් රකින්නකු මිස රහස් එළි කරන කෙනෙක් නොවෙයි. සමහරවිට රජතුමා ගෙන්
කියැවෙන්නට ඇති"
"මිත්‍ර ගේ අදහස පිළිබඳ මට යම් සැකයක් ඇතිවෙලා තියෙනවා. සිරිනාග ගෙන්වා ගැනීමට
අදහස් කළේ ඒ ගැන යමක් දැනගන්න යි. ජයනාථ සිටුතුමා ගේ ත්, කුණ්ඩල බ්‍රාහ්මණතුමා ගේ
ත් වෙළඳ භාණ්ඩ කොල්ලකෑම මිත්‍ර ගේ වැඩක් බව දීඝජන්තු දැනගෙන. මේ බව රජතුමාට දැනුම්
දී තිබෙනවා. ඒත් රජතුමා ඒ වෙනුවෙන් කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ.
"මිත්‍ර මහා සෙනෙවිතුමා මා සමඟ කෝපයෙන් සිටින්නේ"
"ඔව් සිරිනාග, මට කියන්නට වුවමනා කළ අනෙක් කරුණ එය තමා. ඉතා පරිස්සමින් කටයුතු
කරන්න. ඔහු ගේ ආත්මාර්ථකාමී ඉලක්කවලට ඔබ යොදා ගන්නට බැරිවන විට ඔහු ඔබ ගෙන් පලි
ගනීවි."
අයන්ති විතාන |