ලක්දිව සංඝරාජ පදවිය-7:
ස්වාධීන සංඝ සභා ආරම්භ වෙයි
මලිගස්පේ මංගල මහ නාහිමිපාණන් වහන්සේ, රත්මලානේ ධර්මාලෝක
මාහිමි, ඇඹුල්ගම විමලතිස්ස මාහිමි හිඟුල්වල ජිනරතන මාහිමි,
බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු වියත් පිරිස |
රටේ විවිධ ප්‍රදේශවල උපසම්පදා කටයුතු ආරම්භ කිරීම සඳහා ඒ ඒ පළාත්වල ගිහි පැවිදි
සම්භාවනීයයන් විසින් අදහස් ඉදිරිපත් කිරීම, වැනි හේතු කාරණා නිසා මූලස්ථානයෙන් වෙන්
වූ ස්වාධීන සංඝසභා ඇති වූ බව කරුණු අධ්‍යයනයේ දී පෙනී යයි.
ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම
මහා සංඝ සභාව, ඌව ස්‍යාමෝපාලි මහා නිකාය, වනවාස සංඝ සභාව, ශ්‍රී රෝහණ සංඝ සභාව සහ
රන්ගිරි දඹුලු පාර්ශ්වය යන පාර්ශ්වයන් ද සියම් නිකායේ සෙසු පාර්ශ්ව වශයෙන් සඳහන් කළ
හැකි ය.
අධිමාසවාදය වැනි ශාස්ත්‍රීය වාද විවාදයන්හි ප්‍රතිඵල වශයෙන් බෙන්තර අත්ථදස්සි
මාහිමි, මලිගස්පේ මංගල මාහිමි, පැපිලියානේ සීලවංශ මාහිමි, අරුක්ගොඩ සුමංගල මාහිමි
සහ වලානේ සිද්ධාර්ථ මාහිමියන් ගේ මූලිකත්වයෙන් ස්‍යාම නිකායික පහතරට උපසම්පදා විනය
කර්ම ආරම්භ කරන ලදී. 1856 වර්ෂයේ වැල්ලම්පිටිය නෙල්ලිගස්වත්තේ කල්‍යාණි
වංශිකාරාමයෙහි ප්‍රත්‍ය පහසුකම් සපයා ගනිමින් කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාව මුල්කොට
ගෙන ආරම්භ වූ අතර, මෙම සංඝ සභාව ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී සංඝ සමාගම ලෙසින්
ව්‍යවහාර විය.
කැලණි ගඟ පිටාර ගැලීම ආදී දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් 1894 වසරෙහි දී කෝට්ටේ රජමහා
විහාරය මූලස්ථානය බවට පමුණුවා ගෙන එහි විසුංගාම සීමාවෙහි උපසම්පදා කටයුතු ආරම්භ කරන
ලදී. කෝට්ටේ ප්‍රදේශයට යාමට අකමැති වූ හිමිවරු පිරිසක් විසින් මුල්ලේරියාව ගල්වාන
රජමහා විහාරය ආශ්‍රිත ව කැලණි ගඟෙහි උදකුක්ඛේප සීමාවෙහි ම විනය කර්ම සිදු කරන ලදී.
ගල්වාන විහාරය ආශ්‍රිත කැලණි ගඟේ බැඳී සීමාවේ උපසම්පදා කටයුතු සිදු කරන සංඝ සභාව
ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාව ලෙසත්, කෝට්ටේ රජමහා විහාරයේ උපසම්පදා
කටයුතු සිදු කරන සංඝ සභාව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ලෙසත්
හඳුන්වනු ලබයි.
ආරම්භයේ දී උපාධ්‍යාය මූලික සංඝ සභාවක් වූ මෙම සංඝ සභාව මහා නායක පදවියක් ස්ථාපනය
කොට ඇත්තේ කලක් ගත වීමෙන් අනතුරුව ය. මලිගස්පේ මංගල හිමිපාණෝ මෙහි ප්‍රථම මහා නායක
පදවියට පත් වූ හ. මෙම සංඝ සභාවෙහි නායක පදවි පිරිනැමීම කවර කලෙක ආරම්භ වූයේ දැයි
නිශ්චය නැති නමුදු 1910 දී වාදීභසිංහ බැදිගම රතනපාල නාහිමියන් වෙත දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා තිබේ.
රෝහණ සංඝසභාවෙහි උපෝසථාගාරය |
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව සුවිශේෂී සංඝ සභාවකි. මෙම සංඝ
සභාවේ කාරක සභික සහ නායක පදවි පිරිනැමීමේ දී දැන උගත්බවින් පිරිපුන් හිමිවරුන්ට
මුල් තැන දීම නිසා උගතුන් ගේ සංඝ සභාව ලෙස සම්භාවනාවට පත් කෙරෙයි.
නිර්මාතෘ හිමිවරුන් ගෙන් පැවත එන බෙන්තර, කෝට්ටේ, ගල්ගොඩ, අරුක්ගොඩ, රත්මලාන විහාර
පරම්පරා පහ සහ පසුව එක් කෙරුණු දක්ෂිණ පාර්ශ්වය වෙනුවෙන් කාරක සභික පදවි පහ බැගින්
තිස් නමක ගෙන් සමන්විත උපසම්පදා කාරක සභාවක් මෙම සංඝ සභාව සතු වෙයි. එසේම ඒ ඒ විහාර
පාර්ශ්ව අනුව වසර කිහිපයකට වරක් සභික හිමිවරුන් අලුතින් පත් කරන කල්‍යාණි කාරක
සභාවක් ද ක්‍රියාත්මක වෙයි. සංඝ සභික පදවියක් පුරප්පාඩු වන විටදී ඒ ඒ පාර්ශ්වවලින්
සුදුසුකම් සහිත හිමිවරුන් ලිඛිත සහ වාචික පරීක්ෂණවලට ඉදිරිපත් වීමට සලස්වා
සාතිශයෙන් ම සුදුසු හිමිවරු සංඝ සභාවට පත් කිරීම සුවිශේෂී සිද්ධියකි.
ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙහි හිමිවරුන් පිරිසක් 1990 දශකයේ දී
නවගමුව පාර්ශ්වය වශයෙන් බෙදී වෙන් වී වෙන ම සංඝ සභාවක් ලෙස පත් වු ව ද වර්තමානයේ දී
නැවත මුල් පාර්ශ්වය සමඟ ඒකාබද්ධ වී ඇත.
ඌව ජින ශාසනෝපකාර සමාගමේ අනුග්‍රහය මත වැලිමඩ කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම
විහාරස්ථානය සහ කලබුළුලන්ද පුරාණ විහාරස්ථානය මූලස්ථාන කොට ගනිමින් 1939 වසරේ දී
බොරගොල්ලේ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේ ගේ මූලිකත්වයෙන් ඌව ස්‍යාමවංශික නිකාය හෙවත්
සියම් මහ නිකායේ ඌව පාර්ශ්වය ආරම්භ කරන ලදී. සියම් මහ නිකායේ ආරණ්‍ය සම්ප්‍රදාය
සුරක්ෂිත කොට පවත්වා ගෙන යාම සඳහා වතුරුවිල ඤාණානන්ද මාහිමිපාණන් වහන්සේ ගේ
මූලිකත්වයෙන් 1950 දශකයේ ආරම්භ කළ වනවාස සංඝ සභාව 1969 වර්ෂයේ සිට රජයේ ලියාපදිංචි
සංඝ සභාවක් වශයෙන් වෙන ම උපසම්පදා කිරීම් සිදු කරනු ලබයි.
පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන මාහිමිපාණන් වහන්සේ ගේ මූලිකත්වයෙන්
සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව ආරම්භ කොට 1986 වසරෙහි පටන් තිහගොඩ ඌරාපොල
රතනජෝති පිරුවන් විහාරය සහ මාතර පරෙයිදූව සීමාමාලකයෙහි උපසම්පදා කටයුතු සිදු කරනු
ලබයි. එම වකවානුවේ දී ම රන්ගිරි දඹුළු රජමහා විහාරයේ උයන්වත්ත විහාරය ආශ්‍රිත ව
සියම් මහ නිකායේ රන්ගිරි දඹුළු පාර්ශ්වය ද ආරම්භ කොට උපසම්පදා කටයුතු සිදු කරනු
ලබයි. මෙම සෑම සංඝ සභාවක් මඟින් ම සුදුසුකම් සපුරා ඇති හිමිවරු වෙත නායක පදවි සහ
ගෞරව නාම සම්මුති පිරිනැමීම සිදු කරනු ලබයි. |