ළමයින්ට දිය යුතු හොඳම දෙය
අම්මගේ තාත්තගේ අවධානය යි
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව
පුරාණ විහාරවාසී
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
"ඕනෑවට වඩා මට ආදරය කරන්න එපා. මා ඉල්ලන හැම දෙයක් ම මට නොලැබිය යුතු බව මම
පැහැදිලිව ම දන්නවා. බොහෝ විට ඉල්ලන දේ ලැබෙනතුරු මම අඬ අඬා ඉන්නේ ඔයාලා ඊට දක්වන
ආකල්පය කොයිවගේ එකක් ද කියලා දැන ගන්න
විතරයි."
මේ ලෝකයෙහි මව්පියන්ට ඇති වටිනාම වස්තුව තම දරුවන් ය. බුද්ධ දේශනාවේ දී “පුත්තා
වත්ථූමනුස්සානං“ ලෙස දැක්වූයේ එහෙයිනි. අපේ බුදුරජාණන් වහන්සේ, රාහුල පුතාට මෙන් ම
සමස්ත දරුවන්ට එකසේ ආදරය මෛත්‍රීය දැක්වූහ.
දායාද ඉල්ලූ රාහුල පුතා මෙන් ම කසළ කද ගෙන ගිය සුනීතට ද සම කරුණාව දැක්වූහ. සුළු
පියා ගේ වධහිංසාවට ලක් වූ සෝපාක මෙන් ම, මට්ටකුණ්ඩලියට ද එක සේ කරුණාවේ සුරත දිගු
කළහ. තථාගතයන් වහන්සේට, බුදුපියාණන් වහන්සේ ලෙස අමන්ත්‍රණය කරන්නේ ද එහෙයිනි.
විශුද්ධි මග්ගයට අනුව මන්ද දශකය සහ ක්‍රීඩා දශකයෙහි මැද භාගය තෙක් කාලය ළමා කාලය
යි. විශේෂයෙන් කාමේසු පළාළිත සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ
මේ කාලය තුළ අතට හසුවන දෑ දරුවන් කටට දමා ගන්නා බවයි.
මව්පියන් ලෙස සියලු දේ සිදු කරන්නේ ළමයි වෙනුවෙන් නම්, ඔවුන් වෙනුවෙන් සැලකිය යුතු
කාලයක් මිඩංගු කළ යුතු ය. මන්දයත් දෙමාපියන් ගේ ඇස් මට්ටමෙන් දරුවා ගිලිහුණ හොත්
බොහෝ ගැටලු නිර්මාණය විය හැකි බැවිනි. ලබා දෙන අවවාදවලට වඩා ලැබෙන ආදර්ශය ඔවුහු
හිස් මුදුනින් පිළිගනිති. ඒ බව දෙමපියන් ලෙස තේරුම් ගැනීම අතිශයින් වැදගත් ය. පාසලේ
දී පන්ති භාර ගුරුතුමිය ගේ හැසිරීම ගෙදර දී අනුකරණය කරනවා සේ ම, ගෙදරදී ලබන
අත්දැකීම් සමාජයේ දී අත්හදා බැලීමට ඔවුන් පෙළඹේ. දරුවන්ට දඬුවම් ලබාදීමේ දී මෙන් ම,
අවවාද ලබාදීමේ දී අතිශයින් සැලකිලිමත් විය යුතු ය. දඬුවම යන්නෙහි අර්ථය
පුනරුත්ථාපනය යි. එය එසේ නොවන්නේ නම්, එය දඬුවමක් නොවේ. මෑතක දී ගාල්ල ප්‍රදේශයෙන්
වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම එයට කදිම නිදසුනකි. තම පියාට ඇතිවන හදිසි කෝපය මත
කොසු මිටෙන් ගහන ලද පහර හිසට වැදීම නිසා තරුණ දරුවකු මරණයට පත්විය. එමෙන් ම දරුවකුට
ජංගම දුරකතනය නොදීම මත ඇති වූ හදිසි කෝපය මත සිය දිවි හානි කර ගැනීමට පෙළඹීම මෑත
කාලයේ දී අසන්නට ලැබුණ තවත් එක් සෝචනීය සිදුවීමකි.
දරුවන් නැණවතුන් කරනවා හා සමාන ව ගුණවතුන් බවට පත්කිරීමට මව්පියන් වෙහෙස විය යුතු
ය. ඉවසීම, සිහිය, දරාගැනීම කුඩා වයසේ සිට හුරු කරවීමට කටයුතු කළ යුතු ම ය. එය එක්
දවසකින්, පැයකින් කළ නොහැක. ඒ සඳහා ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු වන ආකාරයට කටයුතු
සංවිධානය කළ යුතු ය. දරුවන් යන්ත්‍ර සූත්‍ර සේ නොසලකා ක්‍රියා කිරීම මෙහි දී ඉතා
වැදගත් ය. පරිහරණය කළ යුතු දේට ආදරය කොට, ආදරය කළ යුතු දෑ පරිහරණය කිරීම වර්තමානයේ
ඇති ප්‍රබලතම ගැටලුවයි. දරුවන් ගේ කායික මානසික වර්ධනයට එය අහිතකර ලෙස බලපෑම් කළ
හැකි ය. ළමා මනස ඉතාම සියුම් ව තේරුම් ගත යුතු ය. පෙර පාසල් දරුවකු ගේ සමරු සටහනක
අතීතයේ මෙවැනි සටහනක් විය.
“ඕනෑවට වඩා මට ආදරය කරන්න එපා. මා ඉල්ලන හැම දෙයක් ම මට නොලැබිය යුතු බව මම
පැහැදිලිව ම දන්නවා. බොහෝ විට ඉල්ලන දේ ලැබෙනතුරු මම අඬ අඬා ඉන්නේ ඔයාලා ඊට දක්වන
ආකල්පය කොයිවගේ එකක් ද කියලා දැන ගන්න විතරයි. හැමෝ ම ඉන්න කොට මගේ වරද පෙන්වලා
නිවැරැදි කරන්න එපා. ඒ වෙලාවේ ඔයාල එහෙම කළොත් මට හරි ලජ්ජයි. මට කෙළවරක් නැතිව
දොඩවන්න එපා.
මට හිස් පොරොන්දු දෙන්න එපා. මට පොරොන්දු දෙන්න ඉස්සෙල්ල හොඳට හිතල බලන්න. එසේ
නොමැති වුවහොත් ඔයාලා දෙන හැම පොරොන්දුවක් ම වැඩක් නැති දෙයක් ලෙස මම සලකනවා. මම
හැමවිට ම අවශ්‍ය ළමයෙක් කියලා අපේක්ෂා කරන්න එපා. බය නිසා මම නිතර බොරු කියන බව
හිතන්න. මම ඔයාලා ගෙන් ප්‍රශ්න අහනකොට ඊට නො ඉවසිල්ලෙන් හො නොසැලකිල්ලෙන් උත්තර
දෙන්න එපා. මට ඒ විදියේ උත්තර දුන්නොත් පස්සේ මම ආයේ ඔයාල ගෙන් ප්‍රශ්න අහන එකක්
නැහැ. ඔයාලා හැමවිට ම නිවැරැදි කියලත්, ඔයාලාට හැමවිට ම වරදින්නේ නෑ කියලත් මට
අඟවන්න එපා. ඒ නිසා සැබෑ හොඳ මව්පියන් හැටියට මාත් එක්ක මේ කාලය සතුටින් ගත කරන්න.
දරුවන් ගේ මානසිකත්වය කෙබඳු ද යන්න මෙයින් පැහැදිලි ය.
දරුවන් පිළිබඳ මව්පියන් පමණක් නොව, රටක් සමාජයත් ලෙස වගකීමෙන් කටයුතු කිරීම ඉතා
අවශ්‍ය ය. එක් දිනක් පමණක් වැයකොට දරුවන් ගැන කතා කිරීම ප්‍රමාණවත් නොවේ. ඇතැම්
දරුවන්ට, හව්හරණක් නොමැති ව ඉතා අසරණ භාවයට පත් වූ අවස්ථාවන් අනන්තවත් පසුගිය කාලය
තුළ අහන්න ලැබුණි. ඒ අතර ළමා මෙහෙකාර සේවය ප්‍රධාන ය. දහම තුළ පංච දුශ්චරිත වෙළඳාම්
අතර, එය වහල් වෙළඳාමට සමාන ය.
සරු නිසරු දේ අවබෝධ කොටදීම සහ දරුවන් පවෙන් ඈත් කිරීමට මව්පියන් ලෙස කටයුතු කිරීම
අවශ්‍යය .එමෙන් ම තමා උපමා කොට ගෙන කටයුතු කිරීමට දරුවා පෙළඹවීම අවශ්‍යය. ගැරඬියන්
පෙලූ ළමයි උදෙසා බුදුරදුන් ලබා දුන් අවවාදය මෙහි දී සිහිපත් කර ගැනීම ඉතා අවශ්‍යය.
එමෙන් ම තම සංස්කෘතිය දරුවන්ට පවරාදීම ඉතා අවශ්‍යය. මේ තුළ දරුවන් කායික මානසික
ප්‍රබෝධයෙන් යුතු ව සමාජයට මුහුණ දෙයි. අප සියල්ලන්ගේ ම පැතුම විය යුත්තේ ද එය ම ය. |