මිනිසුන් ගේ මෙන් ම
දෙවියන් ගේ ද
ගෞරවය ලබන්නේ
මේ වගේ අය යි
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි
අවිදු අඳුර දුරලනු වස් දහම් ප්‍රදීපය දල්වා ලූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම්
දෙවි මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනා ගත් අන් කිසිවෙක් ලොව නැත. දයා බවින් හා මෙත්
කරුණාවෙන් ආදෘත හදවතක් ඇතිව සව් සතුනට යහපත සැලසූ ඒ ධර්ම රාජයාණෝ මානව වංශයේ
යහපැවැත්ම හා විමුක්තිය උදෙසා මුඵ ජීවිතය ම කැප කළහ. අපමණ සත්වගකට නිවන් අමාවේ රස
පොවා කිසිදා නොවියකෙන කිත් පැසසුම් ගුණ ඝෝෂා ඇති ව සංසාර ගිරි දුර්ගය තරණය කළ මහා
වීරයාණෝ වූ හ.
පුහුදුන් මිනිසා ප්‍රභූත්වය, ප්‍රධානත්වය, ගෞරවය, ලාභ සත්කාර හා කීර්තිය ලැබීමට
ඉඳුරා ම කැමැති වේ. එහෙත් ඒවා ලැබෙන ප්‍රතිපදාව ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වයි.
ලාමක හා අසත්පුරුෂ ධර්මයන්ගෙන් යුක්තව කල් ගෙවමින් අන්‍යයන්ගේ ගරු සැලකුම් අපේක්ෂා
කොට නොලැබෙන කල්හි තමා ඇසුරු කරන සමස්ත සමාජයට ම අවළා ද නංවයි. එමඟින් ඔහු තව තවත්
අපකීර්තියට පත් වී කිසිදු ආනුභාවයක් නැති අසරණයෙක් බවට පත් වේ.
මිනිස් සමාජයෙන් පමණක් නොව දෙවි බඹුන්ගෙන් පවා අපරිමිත පැසසුම් ලද අප මහා ගෞතම
බුදුරජාණන් වහන්සේ ප්‍රියවීමට, ගෞරවයන් ලැබීමට හා සමගියෙන් සතුටින් කල් ගෙවීමට
හේතුවන මනෝභාවයන් හෙවත් යහපත් චිත්තන මාර්ගයක් පෙන්වා වදාළහ. ඒ අනුව සිතන, ක්‍රියා
කරන පුද්ගලයා මිනිසුන් ගේ පමණක් නොව දෙව් ලොව දෙවියන්ගේ ද නමස්කාරයට පාත්‍රවන ආකාරය
දෘෂ්ඨාන්ත සහිතව ම තහවුරු කළහ.
අංගුත්තර නිකායේ අධිකරණික සූත්‍රයට අනුව යම් පුද්ගලයෙක් භාවනීයයෙක් වීමට
බලාපොරොත්තු වේ නම් තමා අධිකරණකාරකයෙකු නොවිය යුතු ය. ගිහියෙක් හෝ පැවිද්දෙක් තමා
ජීවත් වන සමාජයේ සහචරයන් අතර ආරවුල්, මත ගැටුම්, දෘෂ්ටිවාද, අරගල හා කෝලාහල ඇතිවන
ආකාරයෙන් කටයුතු නොකර ඇතිවන තාක් අධිකරණයන් දුරදිග නොයවා ඒ ඒ තැන ම සමථයකට පත්
කිරීමට කටයුතු කිරීම මඟින් ගෞරවනීය පුද්ගලයකු බවට පත් වේ. ඒ සඳහා පළමු ව ඉවසන්නකු
හා දරාගන්නකු විය යුතු ය. එකට එක නොකර අවමන්, ගැරහුම්, හානි පැමිණවීම් ආදියෙන්
කම්පිත නොවී වෛර නොබැඳ සිටින පුද්ගලයා දෙවි මිනිසුන් අතර කීර්තිධරයෙක් වේ. යුක්තියේ
නාමයෙන් වූව ද සමාජය කෝප ගන්වන ප්‍රකාශයන් හා ක්‍රියාවන් නොකළ යුතු අතර, ඤාණගෝචර හා
දූරදර්ශී විසඳුම් හඳුනා ගැනීම ගෞරවනීය පුද්ගලයන් ගේ භාවප්‍රකුර්තිය යි.
තමා ශික්ෂාකාමියකු වීම හා ශික්ෂා සමාදානයෙහි වටිනාකම පෙන්වා දී ඇසුරු කරන්නන්
සීලවන්තයින් බවට පත්කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කිරීම ප්‍රියභාවයට, ගෞරවයට හා
සමගියට හේතු වන දෙවන කාරණය යි.
සිල්වතාට දෙවි මිනිසුන් පමණක් නොව යක්ෂ ප්‍රේතයින් ද හිස නමන ආකාරය ධර්මයේ සඳහන් ය.
එබැවින් ඔබ පළමු ව සිල්වතකු වී, දෙවනුව ඔබේ පවුලේ කිහිප දෙනාවත් සිල්වතුන් කිරීම
සඳහා හැකි සෑම උත්සාහයක් ම ගත යුතු ය. අද්‍යතනික සමාජයේ බොහෝමයක් අර්බුදයන්ට හේතු
වී ඇත්තේ දුස්සීලභාවය යි. සිල්වතා හැඟීම් පාලනයක් සහිත හැසිරීමක් ඇත්තෙක් බැවින්
ඔහු කෙරෙන් කිසිවකුටත් අනතුරක් නොවන අතර, අගතිගාමීත්වයෙන් තොරව කටයුතු කරයි.
ගරු බුහුමන් ලැබීමට හේතුවන තුන් වන කාරණය අල්පේච්ඡ භාවය යි. එනම් ලද දෙයින් සතුටු
වීම යි. ගිහි පැවිදි කාටත් එක සේ වැදගත් වන මෙම කාරණය සිත් හි පිහිටුවා ගැනීම මඟින්
පරිභෝගකාමීත්වය විෂයයෙහි කෑදරකම දුරු වේ. කොතෙක් ලැබුණත් තුටු නොවන මිනිසා
කිසිවකින් සතුටු නොවන අතර, කෘතවේදිත්වය නැමති උදාර ගුණය ඔහු කෙරෙන් ගිලිහී යයි.
තමාට කරන ලද ස්වල්ප වූ ත් උපකාරය සිහි කරන්නා අල්පේච්ඡතාවයෙන් යුක්ත වන්නෙකි.
මහිච්ඡතාවයට ගිය ගිහියා ද ,පැවිද්දා ද ජන සමාජයේ තදින් ම පිළිකුලට භාජනය වේ. ගිහි
අපටවත් නොමැති තෘෂ්ණාවක් මේ හාමුදුරුවන්ට ඇතැයි ඇතැම් පැවිද්දන්ට අවමන් ලැබීමට සිදු
වන්නේ අල්පේච්ඡ නොවීම හේතුවෙනි. අල්පේච්ඡ භාවයෙන් යුතු පැවිද්දා සැමකල් හි ජනාදරයට
පත්වන සැටි කස්සප සංයුක්තයෙන් පිළිබිඹු වේ.
ගින්නත්, සාගරයත්, මහිච්ඡ පුද්ගලයාත් කොතෙක් ප්‍රත්‍ය ලද මුත් පුරවාලිය නොහැකි බව
බණ පොතේ සඳහන් වේ. අවම අවශ්‍යතා ප්‍රමාණයකින් සෑහී දිවි ගෙවන තැනැත්තා සැමකල් හි
පැසසුමට ලක්වන අතර, ඔහු සමඟ ජීවිත කාලය ම වූව ද සමඟියෙන් වාසය කළ හැකි ය. තමා
අල්පේච්ඡ වී, අන්‍යයන් ද අල්පේච්ඡයන් කිරීම පිණිස කටයුතු කිරීම මගින් ජන සමාජය තුළ
සාමය හා සමගිය ආරක්ෂා වනු ඇත.
ක්‍රෝධ නොකිරීම ගරු බුහුමන් ලැබීමට හේතුවන සතරවන කාරණය යි. බුරා නැගෙන ගින්නක් බඳු
ක්‍රෝධය නිසා පළමු ව තම හදවත ඇවිල යන අතර ,දෙවනු ව අන්‍යයන් ගේ සිත් අවුලුවා, දා
ගිය වනයක් සේ බොහෝ දෙනා ගේ ජීවිත පුලුස්සා නිශ්‍රීක කරයි. ද්වේශ සහගත වචන හා
ක්‍රියාවන් බහුල පුද්ගලයා ආනන්තරිය මට්ටමේ පාපයකට වූව ද මොහොතකින් නැඹුරු වේ.
යක්ෂාවේශයෙන් මෙන් හැසිරෙමින් ජනයා අතර බලවත් අපකීර්තියට පත්වන්නේ සද්ධර්මය නොදත්,
සිතිවිලි මාත්‍රයක මෛත්‍රියක් නොමැති අසත්පුරුෂයෝ ය. මෛත්‍රිය නැමති සිසිල් දියෙන්
දන මන නිවූ මහා ගෞතම දම්රාජයාණන් ගේ ශ්‍රාවකමුලුව අත්‍යන්තයෙන් ම මෙත් සිත් ඇතියයන්
විය යුතු ය. මෛත්‍රී සහගත කාය-වාග්-මනෝ කර්මයන් ඇති හැකි සෑම තැනක ම පැමිණවීම මඟින්
බුදුසව්වා දෙවියන්ට පවා ප්‍රියමනාප පුද්ගලයකු වේ.
අන්‍යයන් ගේ ගුණ නොමකනා ස්වභාවය හා යථාභූත ගුණයන් නොමසුරු ව ප්‍රකාශ කිරිම ගරු
බුහුමන් ලැබීමට හා සමගියට හේතුවන පස්වන කාරණය යි. ගුණමකු පුද්ගලයා කිසිකෙනකු ගේ
යහපත් ක්‍රියාවක් අනුමෝදන් නොවේ. සෑම විට ම අනුන් ගේ නුගුණ හා අඩුපාඩු සොයමින් තම
සිත දූෂ්‍ය කර ගනී. එම ස්වභාවය උත්සන්න වූ විට මානසික රෝගී තත්වයක් නිර්මාණය වී
විරාගී ආර්යයන්ට පවා උපවාද කිරීමට තරම් සැහැසි වේ. අනුන් ගේ අඩුලුහුඬුකම්වලින් තමාට
වන පාඩුවක් හෝ ලාභයක් නොමැති බව හඳුනා යමකුගේ විද්‍යාමාන ගුණයක් අගයමින් කතා කිරීම
මඟින් කිසිවකු ගේ දෝෂ දර්ශනයට ලක් නොවේ. ඔවුනොවුන් අතර හොඳ හිත ශක්තිමත් වී සමගිය
හා සාමය ද ඇතිවේ.
සාමග්‍රීකරණයට හා ප්‍රියකරණයට හේතුවන සයවන හේතුව සඨභාවයෙන් යුක්ත නොවීම යි. නැති
ගුණ හුවා දක්වා තමා ගේ සැබෑ ස්වභාවය වසන් කිරිම සඨභාවය නම් වේ. එය කෛරාටික භාවය
යනුවෙන් ද හැඳීන්වේ. සත්‍ය සඟවා මුසාවක් හුවා දක්වා වැඩි කාලයක් පැවතිය නොහැක.
සත්‍ය කවදා නමුත් හෙළිවීම ලෝක ස්වභාවයකි.
අව්‍යාජ ඇවතුම් පැවතුම් ඇති ව ජීවිතය සකසා ගැනීම ගිහි පැවිදි කාටත් සතුටට හා සමගියට
හේතු වේ. ගිහි ගෙවල ඇති වන බොහෝමයක් ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් වන්නේ ද සඨභාවය යි.
සුදුසු තැන විවෘත වීම හා සත්‍ය ප්‍රකාශ කිරීම මඟින් පුද්ගලයා භාවනීයයෙක් වේ.
මායාවී නොවීම සමගියට, මානනයට හා ප්‍රිය භාවයට හේතුවන සත්වන කාරණය යි. තමා කළ පාපය
සැඟවීම මායාවී භාවය යි. සිදු වූ වැරැද්ද පිළිගැනීමත්, යළි එම වැරැද්ද නොකිරීමත්
මඟින් පුද්ගලයකුට මෙලොව දී ම ප්‍රශංසා ලැබේ. එහෙත් වැරැද්ද පිළිගැනීමට තරම්
නිහතමානී නොවීම බොහෝ දෙනා ගේ බලවත් අඩුපාඩුවකි. කවුරුන් ඉදිරියේ වරද වසන් කළත්, තමා
තුළින් මතුවන පසුතැවීම හා දුගතිභය වැළැක්විය නොහැක. මායාව හා සාඨෙය්‍ය යන දුර්ගුණ
දෙක පුද්ගලයකු ගේ ගෞරවය හා කීර්තිභාවය මුලුමනින් ම පාහේ වනසා දමයි. මායා
සඨෙය්‍යෙයන් යුත් පුද්ගලයකුට වූව ද එබන්දකු ප්‍රිය නොවේ. අමායාවී පුද්ගලයකුට ප්‍රිය
නොවීම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් සමාජයෙන් ගරු බුහුමන් ලැබීමට හා සමගිය
වර්ධනය කිරීමට තමා පළමුව මායා සාඨෙය්‍ය හැර දමා අන්‍යයන් ද එම දුර්ගුණයන්ගෙන් බේරා
ගත යුතු ය.
නව ලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කිරීම ගරු බුහුමන් ලැබීමට හේතු වන
අට වන කාරණය ලෙසත්, ධ්‍යාන වැඩීම හෙවත්, පටිසල්ලාහය නවවන කාරණය ලෙසත් වදාරා ඇත.
ධ්‍යාන හා මගඵල ලාභී පුද්ගලයා අත්‍යන්තයෙන් ම සිල්වතෙක් වන බැවින් ඔහු අතින් කිසිදු
අධ්‍යාචාරයක් සිදු නොවේ. ජන සමාජයේ පූජනීය පුද්ගලයා ද ඔහුම ය.
මධුර මනෝහර සදහම් පිළිසඳර ඇති බව සමගියට හා සාමයටත්, ගෞරවයට හා පැසසුමටත් ඍජුව ම
හේතු වන දසවන කාරණය ලෙසත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත. සිල්වත්,
ප්‍රියශීලි, දහම් කතා ඇති ව අව්‍යාජ සිනාවකින් මුව සරසා ගත් පැවිද්දා ද , අවංක,
නිහතමානී හා සීලාචාර සම්පන්න ගිහියා ද යන දෙදෙනා හේතුවෙන් ගෞතම බුදුසසුන තවත් බොහෝ
කලකට ආයු ශ්‍රී ලබනු ඇත. ඔබත් එම මහාර්ඝ සත් ක්‍රියාවේ සාමාජිකයෙක් වීමට
බලාපොරොත්තු වේ නම් ඉහත කී දසවැදෑරුම් සත්පුරුෂ ධර්මයන් ජිවිතයට ගළපා ගන්න.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං“ |