[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපමණ දුක් කරදර වින්දත් ඕනෑම කාන්තාවකට වන්දනීය චරිතයක් වන්නට පුළුවන්

අපමණ දුක් කරදර වින්දත් ඕනෑම කාන්තාවකට වන්දනීය චරිතයක් වන්නට පුළුවන්

බිනර මාසය කියන්නේ බොදු කාන්තාවන්ට ඉතා සුවිශේෂී මාසයක්. ඒ, භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව, එම ශාසනයේ කසාවතක් පොරවාගෙන විමුක්තිය සොයන කාන්තාවන්ට එය ඉටුකර ගැනීමට පුළුවන් වූයේ බිනර පෝ දවසක වීම නිසයි.

මේ බුද්ධ ශාසනයේ පුරුෂයෙක් පැවිද්ද සොයා ගෙන ආවා නම්, ඒ පැවිද්ද කාන්තාව පැවිදි වෙනවාට වඩා බොහෝ ලෙහෙසි වූ වා. උපතිස්ස කෝලිත දෙදෙන පැමිණ ධර්මය ශ්‍රවණය කළ පසු භාග්‍යවතුන් වහන්සේ "භික්ෂුව මේ මනාව දේශනා කළ ධර්ම විනයෙහි හැසිරෙන්න" කියා ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව දෙන විට හිස කෙස් අතුරුදන් ව කහ චීවරයක් පෙරවුණා. එය ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උසම්පාදව ලැබීම යි. එහෙත් කාන්තා පැවිද්ද මෙහි එන්න කියා දුන් එකක් නොවේ. එය ආයාචනා කරමින් ගත් එකක්. ඉතා දුෂ්කර ව ලබා ගත් එකක්. ඒ තරම් දුෂ්කරවයි කාන්තා පැවිද්ද ලැබුණේ. එය අප තේරුම් ගන්නට ඔනෑ. නිතර සිහි කරන්නටත් ඕනෑ.

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කර නිග්‍රෝධාරාමයේ වැඩ සිටියා. එහි පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී දේවිය

"ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිද්ද අපටත් ලබා දෙන සේක්වා" යි ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. තව වතාවක් ඉල්ලා සිටියා. එවිටත් ප්‍රතික්ෂේප කළා. තවත් වතාවක් ඉල්ලා සිටියා. එයත් ප්‍රතික්ෂේප කළා. ප්‍රජාපති දේවිය ගේ ඉල්ලීම තුන් වතාවක් ම ප්‍රතික්ෂේප වුණා.

එතුමිය උත්සාහය අත්හැරියේ නෑ. තවත් කාන්තාවන් පන්සියයක් සමඟ "අපි පැවිදි වෙමු" කියා අධිෂ්ඨාන කර ඔවුන් ගේ දිගු කෙස් කපා දමා , තනිව ම කසාවත් පොරවාගෙන, මැටි පාත්‍රය අතට අරගෙන රජ මාළිඟාවෙන්, සිටු මාළිඟාවලින් පහළට බැස්සා. මහ පාරට ආවා. අපි පැවිද්ද සොයා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත යමු කියා කතිකා කරගෙන වීදි දිගේ ඇවිද ගියා. අව්වේ දැවෙමින්, දහඩිය දමමින් ගමන් කළා. ගිනියම් මහ පාරේ පාවහන් නොමැති ව ගමන් කළා. කකුල් පැලී ලේ ගලන්න ගත්තා. කිසි දිනෙක සිනිඳු පාවහන් නොමැති ව පොළොව මත අඩිය නොතැබු මේ සියුමැලි කාන්තාවෝ කිඹුල්වත් පුර සිට විශාලා මහනුවරට පා ගමනින් ම ගියා. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටයේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ . භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාර ගේට්ටුව අසල මේ කාන්තාවන් පිරිස වාඩි වුණා. මේ අය ගේ දෙපා රත් පැහැ වෙලා. ලේ ගලමින් තිබුණේ. කුසගින්න, පිපාසය නිසා ඉතා පීඩාවට පත් වෙලා සිටියේ. වෙහෙසකර බවයි පෙනෙන්නට තිබුණේ . පැවිදි වීමේ අපමණ බලාපොරොත්තුවෙන් ඒ කුල කාන්තාවෝ ඇස්වල කඳුළු පුරවාගෙන විහාරය දෙස බලා ගෙන සිටියා.

ආනන්ද හාමුදුරුවන් වහන්සේට මේ සිදුවීම දැන ගන්නට ලැබුණා. එතැනට වැඩම කළා. "හිස බා, කසාවත් හැඳ මෙසේ දැඩි වෙහෙසකින්, දුක්මුසු ව සිටින්නේ ඇයි?" කියා ගෝතමී දේවියගෙන් විමසා සිටියා.

"ස්වාමිනි ආනන්දයන් වහන්ස, තථාගතයන් වහන්සේ කාන්තාවන්ට ගිහි ගෙයින් නික්මි පැවිද්ද ලැබීමට අනුමත කරන්නේ නැහැ. අප ආවේ කාන්තා පැවිද්ද ඉල්ලීමට යි". ගෝතමී දේවිය පැවසුවා.

එවිට දයා කරුණාවෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ

"ගෞතමියනි, මෙතැන ම සිටින්න. මම තථාගතයන් වහන්සේ වෙත ගොස් කාන්තාවකට ගිහි ගෙයින් නික්මි උතුම් පැවිද්ද ලැබීමට පුළුවන් ද කියා අසා එන්නම්" කියා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියා.

"ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්මී බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගන්න බැරි ද?"

"ආනන්ද කාන්තාව ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලබා ගැනීම ගැන ඔබට රුචි නොවේවා".

ආනන්ද ස්වාමින් වහන්සේ දෙවැනි තෙවැනි වතාවන් හි දී ත් කාන්තා පැවිද්ද ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා.

ඉන්පසු ආනන්ද හාමුදුරුවන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර මෙබඳු සංවාදයක් ඇති වුණා.

"භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ වදාරණ ලද ධර්ම විනයෙහි මේ ගෞතම බුදු සසුනේ කාන්තාවක් ගිහි ගෙයින් නික්මි පැවිදි වුවොත් ඇයට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත් ඵලයන් ලබන්නට බැරි ද?"

"ආනන්ද, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම, විනය තිබෙන බුද්ධ ශාසනයක කාන්තාවක් වු ව ද පැවිදි වුවොත් ඇයට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි මෙන් ම රහත් ඵලයටත් පත්වෙන්න පුළුවනි".

"භාග්‍යවතුන් වහන්ස , එසේ කාන්තාවකට පැවිදි වී මඟපල ලබන්න පුළුවන් නම්, මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේ කුඩා කාලයේ හුඟක් උදව් කළානේ. ඔබ වහන්සේ කුඩා කාලයේ උකුලට අරගෙන පෝෂණය කළා. තුරුලේ තබා ගෙන නැළෙව්වා. අනේ භාග්‍යවතුන් වහන්ස, කාන්තාවත් මේ සසර දුකෙන් එතෙර වීම මනා ය" යැයි පැවසුවා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ කාන්තා පැවිද්දට කැමැති වුවත් එය එකවර ම ලබා දුන්නේ නැහැ. "ඔවුන්ට මනාව පැවිද්ද කරගෙන යා නොහැකි යි. එනිසා ආනන්ද ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබන කාන්තාවට මම අෂ්ටගරු ධර්ම පනවනවා. එය පිළිගන්නවා නම් ගෞතමී ගේ පැවිද්ද ලැබේවි".

තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා.

"ආනන්ද, ගෞතමිය ඇතුළු පිරිස මේ ගරු ධර්ම රැකීමට කැමැති නම් මෙය යි ඔවුන් ගේ පැවිද්ද. මෙය යි උපසම්පදාව". බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

ආනන්ද ස්වාමින් වහන්සේ මේ සියලු විස්තර ගෞතමියට කියා සිටියා. එවිට ගෞතමිය කියනවා

"ස්වාමිනි, ආනන්දයන් වහන්ස, ලස්සනට ඉන්න ආශා කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අලංකාර මානෙල් මල් හෝ දෑ සමන් මල්වලින් ගොතා, ලස්සන මල් මාලයක් දෝතින් ගෙන හිස මත රුවා ගන්නවා වගේ මම ජීවිතය තිබෙන තුරාවට මේ කරුණු රැක ගැනීමට පිළිගන්නවා" කියා. එය තමා ප්‍රජාපති තෙරණිය ගේ උපසම්පදාව. එතැනින් තමා කාන්තා බුදු සසුන අරම්භ වූයේ.

එදායින් පසු රජමාලිගාවල සිටි, සිටුමාලිගාවල සිටි, දුගී පැල්පත්වල සිටි, කාන්තාවන් පැවිදි වු වා. සැඬොල් කුලය, ගොවි කුලය, වෛශ්‍ය කුලයේ කාන්තාවන් පැවිදි වු වා. කිසිදු භේදයක් නොමැති ව කසාවත පොරවා ගෙන කාන්තාවන් සසුන් කෙත පෝෂණය කළා. නමුත් එය ලෙහෙසි දෙයක් වූයේ නැහැ.

එයට හේතුව තමා ස්ත්‍රීන් ගේ ස්වභාව ය. ඇය ගේ ස්වභාවය කෙලෙස් බහුල යි. ප්‍රජාපති ගෞතම දේවිය පදුමුත්තර බුද්ධ ශාසනයේ සිට භාග්‍යවතුන් වහන්සේ ගේ සුළු මව වීමට පින් පුරාගෙන එන උත්තමාවියක්. ඒ වගේ උත්තමාවියෝ ගෞතම බුදුසසුන වටේ රොද බැඳුණා. යශෝධරා, ඛේමා, උප්පලවන්නා, භද්‍රා කුණ්ඩලකේශා, භද්‍රකාපිලානි, පටාචාරා, ධම්මදින්නා ආදී මහා පින්වන්තියෝ රහත් තෙරණින් වහන්සේ බවට පත් වුණා. මහ බ්‍රහ්මයාත් ආකාසයෙන් බැස මේ රහත් උත්තමාවියන් ගේ පාද වන්දනා කරනවා. දෙව් ලොව දෙවියෝ ආකාසයෙන් බැස මේ මහරහත් උත්තමාවියන් ගේ පාද වන්දනා කරනවා. රහත් උත්තමාවියන් ගේ ගුණ කඳ කියමින් වන්දනා කරනවා. විශ්මිත පූජනීයත්වයක්, ගෞරවනීය පූජනීයත්වයක් කාන්තා ජීවිතයට අත්පත් කර දුන්නේ අප ගේ භාග්‍යවතුන් වහන්සේ යි.

බොහෝ කාන්තාවන් රාගයෙන් මත් වෙනවා වැඩි යි, බැඳී යනවා වැඩි යි. කිපෙනවා වැඩි යි. වෛර බඳීන ස්වභාවය වැඩි යි. අනුන් ගේ සැපට හූල්ලමින් ඊර්ෂ්‍යා කරන ස්වභාවය වැඩි යි. මසුරු බව වැඩි යි. මුදලට වෙනස් වන ගතිය වැඩි යි. කාන්තාව එක‌ටෙක කරන ස්වභාවය වැඩි යි. ගුණ මකන ස්වභාවය වැඩි යි. කාන්තාව ගේ සිතෙහි සැලෙන ස්වභාවය වැඩි යි. පසුතැවීම, වැළපීම වැඩි යි. අඳෝනා වැඩි යි. මෙලෙස දුර්ගුණ රාශියක් තබා ගෙන තමා සාමාන්‍ය ස්ත්‍රිය ජීවත් වෙන්නේ. නමුත් සසරේ කල්ප ගණනක් පෙරම් පුරා ගෙන ආ උත්තමාවියෝ ස්ත්‍රි සිතක උපදින සියලු දුර්ගුණ, බුදුරජාණන් වහන්සේ ගේ ‌ ධර්ම මාර්ගයෙන් නසා දැමුවා. කිසිදු දුර්ගුණයක් නැති සියලු ගුණයන්ගෙන් පිරිපුන් උත්තමාවියන් බවට පත් වුණා.

කාන්තාව ගේ ස්වභාවය ගැන දේශනාවක මෙසේ සඳහන් වෙනවා. සියලු නදී වක් වී ගලනවා. සියලු වනයන් හි ඇමිණෙන දේ තිබෙනවා. ඒ වගේ සියලු ස්ත්‍රින් අවස්ථාව ආ විට වරදේ බැඳෙනවා කියා. නමුත් මේ උතුම් කාන්තාවන් බුද්ධ ශාසනයක් මුණ ගැසුණ වෙලාවේ, මේ ලෝකයේ සියලු දුර්ගුණ නසා, පරිපූර්ණ ගුණයන්ට පත් ව අරහත්වයට පත්වීමට පුළුවන් වෙලාවේ, රහසේවත් වරදක් නො කර, රහසේවත් පාපයට නැමෙන්නේ නැති පාපයන් සියල්ල දුරු කළ පරම පවිත්‍ර තත්ත්වයට පත් වුණා.

එ නිසා මේ බිනර පෝය අපට විශේෂ යි. කාන්තාවන් වූ අපට උදාර වූ කාන්තා පැවිද්ද ලබා දීමට ඉදිරිපත් වූ ඒ බුද්ධ මාතාවට නමස්කාර කළයුතු දවස බිනර පෝ දිනය යි. බුද්ධ මාතාව ගෞරවයෙන් සිහිපත් කළ යුතු දවස යි මේ. බුද්ධ මාතාවට නමස්කාර කරමින් උතුම් ගුණ ධර්ම පිරිය යුතු දවස යි .

එහෙම නම් මේ බිනර පෝය මුල් කර ගෙන අපි අධිෂ්ඨානයක් ඇති කර ගත්තොත්, ඒ කාන්තා පැවිද්දට පුරෝගාමි වූ තෙරණින් වහන්සේ පුදන්න, සත්කාර කරන්න මමත් අද ප්‍රතිපත්ති පූජාවේ යෙදෙනවා කියා සිතන්න එය අපට මුළු ජීවිත කාලයට ම පිහිටට පවතීවි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]