මහ ඉසුරෙන් උඩු මහලේ සැඟවී
පැණි කොමු
පිස කෑවේ ලූ
පෑලියගොඩ
විද්‍යාලංකාර පිරුවෙන්හි ආචාර්ය
කැලණිය විශ්ව විද්‍යාලයේ
සිංහල අංශයේ අංශාධිපති,
ආචාර්ය
මල්වානේ චන්දරතන හිමි
දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ මච්ඡරිය කෝසිය
සිටාණන් ගේ කතාව, එසේ ම කුරුණෑගල යුගයේ හතර වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින්
රචිත සිංහල ජාතක පෙතෙහි එන ඉල්ලීස ජාතකයෙහිත් මසුරු සිටාණන් ගේ කතාවලින් ආභාසය ලබා
පරාක්‍රම කොඩිතුවක්කු මෙම ගීතය රචනා කිරීමට ගත් උත්සාහය අතිශයින් ම අර්ථාන්විත ය.
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් වැනි දීර්ඝ සසර ගමනක කළ පර්යේෂණයේ දී ගෞතම බෝධිසත්වයන්
වහන්සේ පසක් කරගත් යතාර්ථයක් වන්නේ සත්වයා ගේ සසර ගමනට තෘෂ්ණාව ඉවහල් වන බව යි.
උත්පත්තියට ප්‍රධාන හේතුව තෘෂ්ණාව නම් එකී හේතුව නැති කළ කල්හි ඉපදීම ද නැවැත්විය
හැකි බව හේතුඵල දහමේ ප්‍රධානතම න්‍යාය යි.කෙසේ වෙතත් මිනිසා තෘෂ්ණාවෙහි ම ඇලී ගැලී
වාසය කිරීමට වැඩි කැමැත්තක් දැක්වීම සසර ගමනෙහි නිමාවට ඇති එකම බාධකය යි. බුදුන්
වහන්සේ ආසවක්ඛය ඤාණයෙන් අවබෝධ කොට ගත්තේ ද කෙලෙස් ප්‍රහීණ කළ තැන සැනසීම ලැබෙන බව
යි.
කොපමණ වස්තුව ලැබුණ ද මිනිසා සෑහීමකට පත් වන්නේ නැත. එසේ ම අතෘප්තිකර ය. සැමවිට ම
තෘෂ්ණාවෙහි ම දාසයන් බවට පත් වී ජීවත් වන බව රට්ඨපාල සූත්‍රයේ දී “ඌණො ලොකො අතින්ථො
තණහා දාසො“ යනුවෙන් සඳහන් වේ. එම නිසා මිනිසා තෘෂ්ණාවෙන් මුදවා ගෙන සාධු පැහැපත්
දැහැමි මාවතකට යොමු කිරීමට ආගම දහම මෙන් ම සිංහල සාහිත්‍ය ද අපමණ වෙහෙසක් ගෙන ඇත.
එකී සාහිත්‍ය යම් කෙනෙක් මැනවින් භාවිත කරන්නේ නම් මෙම අති බිහිසුණු සංසාර සාගරයෙන්
ඓතෙර වීමට හැකියාව තිබෙන බව සත්‍යයකි. එකී සදූපදේශයන් සම්ප්‍රදානය කිරීමේ මෙහෙවරෙන්
ප්‍රශස්ත මෙහෙවරක් නූතන ගීත සාහිත්‍ය තුළ ද අන්තර්ගත ව පවතී. පරාක්‍රම කොඩිතුවක්කු
කිවිදුන් විසින් රචනා කළ, රෝහණ වීරසිංහයන් ගේ තනු නිර්මාණයෙන් සැරසුණ, සුනිල්
එදිරිසිංහයන් විසින් ගැයෙන “සොර දෙටුවෙක් කස තැළුම් කකා“ යන ගීතය මෙහි දී අප ගේ
විශේෂ අවධානය යොමු වන්නේ යථෝක්ත යතාර්ථය සමඟ පවතින සමීපතම ඤාතිත්වය හේතු කොට ගෙන ය.
“සොර දෙටුවෙක් කස තැළුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වධක බෙරේ දැක සොරා ගන්න එය
කදිමයි ලොබ සිතුවාලු
අනේ මෙහෙ තණ්හාවක් අනේ මෙහෙ ආශාවක්“
සොරකම් කිරීම වරදකි. එය පාප කර්මයකි. සමාජ ස්ථරය බිඳ හෙළන අසම්මතයකි. ලෝකයේ බොහෝ
සිර ගෙවල් පිරී පවතින්නේ මෙම අසම්මත ක්‍රියාවට පෙළඹී ගිය සිත් ඇති මිනිසුන්ගෙනි. එම
නිසා ම අතිශය බිහිසුණු සමාජයක් අප ඉදිරියේ නිර්මාණය වී ඇත. සොරකමට පුරුදු ව, වරදකරු
වූ මිනිසා දං ගෙඩියට යන ගමනේ දී වැයෙන වධක බෙරය ද ඔහුට සොරා ගැනීමට සිතෙන බව කවියා
මෙහි දී පවසයි. ඔහුට තව මොහොතකින් උරුම වන්නේ මරණය යි. ඒ බව දැන දැනත් තෘෂ්ණාවේ ම
දාසයන් බවට පත් වූ සිතකට එයින් මිදීමට ඇති අසීරු බව මෙහි දී පසක් වනු ඇත. එය වඩාත්
තීව්‍ර වන්නේ “අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්“ යන පද්‍ය පාදවලිනි.
එසේ තම මසුරු සිත් ඇති අය ධනය රැස් කරමින්, ඒ හේතුවෙන් ම තම සසර ගමනත් දීර්ඝ කර
ගනී. තම ධනයෙන් තමන්ට ත්, අනුන්ට ත් පිහිටක් නැති තද මසුරු සිත් ඇති සිටාණ කෙනෙක්
බෞද්ධ සාහිත්‍යයේ ජීවත් වූ බව අප කාටත් මතක ඇත.
දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ මච්ඡරිය කෝසිය
සිටාණන් ගේ කතාව, එසේ ම කුරුණෑගල යුගයේ හතර වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින්
රචිත සිංහල ජාතක පෙතෙහි එන ඉල්ලීස ජාතකයෙහිත් මසුරු සිටාණන් ගේ කතාවලින් ආභාසය ලබා
පරාක්‍රම කොඩිතුවක්කු මෙම ගීතය රචනා කිරීමට ගත් උත්සාහය අතිශයින් ම අර්ථාන්විත ය.
රජගහ නුවර සක්ඛර නම් නියම් ගමෙහි මච්ඡරිය කෝසිය සිටාණන්ට මුගලන් මහ රහතන් වහන්සේ
වැඩම කොට ධර්මාවබෝධය ලබා දුන් කතාව අපි කවුරුත් හොඳීන් දනිමු. මෙම මච්ඡරිය කෝසිය
සිටාණන් පැණි කොමු උඩු මහලේ සිට සැඟවී අනුභව කරන්නේ නිවසට පැමිණි කවුරුන්ට හෝ දීමට
සිදු වේ ය යන සිතිවිල්ලෙනි. අසූ කෙළක් ධනය ඇති මෙම මසුරු සිටාණන් තණ අග ගල්වා තෙල්
බිංදුවක්වත් අනුන්ට දීමට තරම්වත් ත්‍යාගශීලි මනසක් නැත.
“තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට දීලත් නම් සිතට දුක් බවත් හෙයිනුත්“
යනුවෙන් සද්ධර්ම රත්නාවලියෙහි සඳහන් වන්නේ ඔහු තුළ පැවති තද මසුරු චින්තනය යි.
“බුදු පුතෙකුත් පිඬු සිඟා වැඩියහොත්
දෙන්නට වේ යැයි සැක සිතිලා
මහ ඉසුරෙන් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලු//
කවියා මෙහි දී උත්සාහ ගන්නේ එකී තණ්හාවෙන් වර්තමන සමාජය මුදවා ගෙන සරල අව්‍යාජ
දැහැමි දිවි පෙවෙතකට යොමු කරවිම යි. එම නිසා නිසා ම මෙම ගීත රචකයින් මෙන් ම,
ගායකයන් ද සමජ ශෝධකයින් ලෙස ප්‍රශංසා කටයුතු ය.
එසේ ම මෙම සමාජය සුරාව නිසා ජරාවෙන්, ව්‍යාධියෙන් පීඩිත වී ඇති බව අමුතුවෙන් කිව
යුතු නොවේ. එසේ සුරාවෙන් මත් වූවන්ට යුක්තිය සාධාරණය සංස්කෘතිය කුමක් දැයි තේරුම්
ගැනීමට තරම් සුවපත් මනසක් නැත. කවියා මෙහි දී පවසන්නේ කන්දක් මුදුනින් පහළට වැටෙන
සුරාවෙන් මත් වූ සුරා සොඩෙක් ගේ චින්තාවලිය යි. බිමට පතිත වන ඔහුට තව මොහොතකින්
මරණය පවා උරුම විය හැක. එහෙත් වැටෙන විට ශරීරයෙහි දැවටෙන සුළං රැළි සැපක් ලෙස
සිතීමට තරම් ඔහු වික්ෂිප්ත රෝගී සිතිවිලිවලින් පෙළෙන්නෙක් බවට පත් වී ඇත.
“සුරා සොඬෙක් ගිරි කුලකින් විසි වී
මහ පොළොවට පා වී එද්දී
ගත දැවටෙන මේ සීත සුළං රැළි
අහෝ සැපයි කීවාලු//,
මෙම සියලු ම පටලැවිලි කවියා දකින්නේ අසීමිත තණ්හාව නිසා ඇති වූවක් බව ය. එකී
තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය බුදු දහම උගන්වන ආර්ය මාර්ගය යි. එම නිසා පරාක්‍රම
කොඩිතුවක්කු විසින් රචිත රෝහණ වීරසිංහයන් ගේ තනු නිර්මාණයෙන් හැඩවුණ, සුනිල්
එදිරිසිංහයන් ගේ මියුරු හඬින් ගැයෙන මෙම ගීතය බණ පදයකි. මෙම ගීත සාහිත්‍යෙයන්
ස්වකීය සදාදරණීය සහෘදයිනට ආරාධනා කරන්නේ සාධු සම්මත මාවතෙහි පියවර නඟමින්,
දුශ්චරිතයෙන් වැළකෙන ලෙස යි. එහෙයින් ම මෙ වැනි ගීතවලින් දැනෙන නිරාමිස මිහිර
අසීමිත ය. |