නිහඬ බව
පරිසර හිතකාමි
බොදු පිළිවෙතක්
අස්ගිරිමහාවිහාරයෙහි උපාධ්‍යාය,
කාරක සංඝසභික
වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
" තවත් සමහර උදවිය ඉන්නවා. ඒ අය යමක් කතා කරන්නේ බොහොම කලාතුරකින්. හැබැයි එවැනි අය
යමක් ප්‍රකාශ කරන හැමවිට ම අනෙකුත් උදවිය ඒ ගැන වඩාත් විමසිලිමත් ව එම ප්‍රකාශ කළ
දේ පිළිබඳ විමසිලිමත් වෙනවා."
අද දවසේ අපට දකින්නට අහන්නට ලැබෙන සුලභ වචනයක් තමා ”දූෂණ” කියන එක. ඒ දූෂණ බොහොමයක්
මුදල්, දේපළ වැනි කරුණුවලට අදාළ වන දූෂණ යි. ඒ අතර තවත් වර්ගයක දූෂණ රැසක් තිබෙනවා.
ඒ අනුව අප දකින ප්‍රධාන දූෂණයක් තමා ශබ්ද දූෂණය. ඒ කියන්නේ අපට කනෙන් ඇසෙන විවිධ
ශබ්ද තරංග නිසා අප ජීවත් වන අපේ පරිසරයට ඇති කරන අහිතකර බලපෑම. ඒකට අපි කියනවා ශබ්ද
දූෂණය කියලා. විවිධ හේතු නිසා ශබ්දය දුෂණය වෙනවා. ඉතින් ශබ්ද දූෂණය වන්නට හේතු වන
කාරණා විවිධ යි. කාර්මිකකරණය නිසා, ජන බහුලත්වය නිසා, වාහන නිසා, කර්මාන්තශාලා
නිසා, විනෝදකාමි ක්‍රියා නිසා, තරගකාරි ක්‍රියා නිසා, මහජන ඒකරාශිවිම් නිසා ආදි
වශයෙන් මෙයට විවිධ හේතු තිබෙනවා. බොහෝ දියුණු රටවල පරිසරයට ශබ්ද නිසා ඇති අහිතකර
බලපෑම් ඉවත ලීමේ අරමුණ ඇති ව විවිධ අණපනත් රේගුලාසි පනවා තිබෙනවා. ඒ නීති රීති
උල්ලංඝණය විම නිසා එවැනි අයට එරෙහි ව අධිකරණ ක්‍රියා මාර්ග පවා ගැනීමට බලය තිබෙනවා.
ලංකාවේ පවා එවැනි කාරණා සම්බන්ධ ව අධිකරණ ක්‍රියා මාර්ග රැගෙන තිබෙනවා.
ඉතින් මේ අප විසින් ප්‍රකාශ කරන ශබ්ද දූෂණයට ප්‍රධාන හේතුව වශයෙන් අවධාරණය කරන්නේ
මිනිසා ගේ කටෙන් පිටවන වචන නිසා ඇති කරන අහිතකර බලපෑම හා ඊට විසඳුම් සම්බන්ධයෙන්
බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් මාර්ගය කුමක්දැ කියා පැහැදිලි කරන්නට යි.
උන්වහන්සේ ගේ දේශනාවට අනුව මිනිසා හැමවිට ම ක්‍රියා කළ යුතු වන්නේ තමන්ට ත්,
තමන්ගෙන් බාහිර සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට ත් කිසිදු හානියක්, අලාභයක්, අසාධාරණයක්
නො වන
ආකාරයෙනුයි. යම් අයෙක් එසේ ක්‍රියා කරනවා නම්, එතැන පවතින්නේ බෞද්ධ අචාරධර්මවලට
අනුව සිදු වන පැවැත්මක්. බුදුදහමේ ඉගැන්වෙන හැටියට එය කුසලයක්. හොඳ ක්‍රියාවක්.
ඉතින්, අපේ කයෙන් පිට කරන වචනය ත් අප යොදා ගන්නට ඕන කරන්නේ එයින් තමන්ට ත්, අනුන්ට
ත් යහපතක් වන ආකාරයට යි. අපේ මේ
කටහඬ හෙවත් වචනය කීප ආකාරයකින් පාවිච්චි වෙනවා. එහි හොඳ පැත්තට වඩා වැඩියෙන් ම
පාවිච්චි වෙන්නේ නරක පැත්තට යි. ඒනිසා සතියෙන් යුතු ව අපේ කට, අප විසින් හසුරුවා ගත
යුතු වෙනවා.
වචනයෙන් වෙන අයහපත් පැත්ත බුදුදහමට අනුව වර්ග කොට ප්‍රකාශ වෙනවා බොරුකීම,
කේලාම්කීම, රළුගොරෝසු පරුෂ වචන කීම හා හිස් වචන කීම යන විදිහට. මේවා වචනයෙන් සිදුවන
අකුසල් ලෙසත් බුදුදහමෙන් අපට පැහැදිලි කරනවා. මේ කියන හතරට විරුද්ධ හතර වන්නේ, ඒ
හතරෙන් වැළකී සිටීම යි. එසේ වන්න නම් ඒ වචනය බොහො ම පරිස්සමට භාවිත කරන්න ඕන.
පරිස්සමට පාවිච්චි කරනවා කියන එකේ අදහස වන්නේ සිහිය පිහටුවා වචන කථා කිරීම යි. දැන්
අප සිතා බැලුවොත් ගතවන දවසේ අපි වැඩි හරියක් ම භාවිත කරලා තිබෙන්නේ මේ කියන වචන
හතරෙන් සමන්විත වචන සමූහය ක්. එසේ නම් අප කළ යුතු
වන්නේ කුමක් ද? ඒකට දෙන්නට පුළුවන් හොඳ ම උත්තරය තමා වචනය නිවැරැදි ව පාවිච්චි
කරන්නට නො හැකි හැම අවස්ථාවක ම නිශ්ශබ්දතාව රැක ගෙන ක්‍රියා කිරීම. අප ජීවත් වන
සමාජයේ ඇතැම් කෙනෙක් ඉන්නවා නිතර ම දොඩමලු වෙනවා. ඉවරයක් නැතිව මොනව මොනව හරි
කියනවා. බුදුදහමේ ඉගැන්වෙන හැටියට නම් ඒවා කිසිවක් වැඩකට නැති සම්පප්ප්‍රලාප කියලා
කියන්නට පුළුවනි. එවැනි
උදවිය කියන දේ බාහිර උදවිය ගණන් ගන්නෙත් නැහැ. තවත් සමහර උදවිය ඉන්නවා. ඒ අය යමක්
කතා කරන්නේ බොහොම කලාතුරකින්. හැබැයි එවැනි අය යමක් ප්‍රකාශ කරන හැමවිට ම අනෙකුත්
උදවිය ඒ ගැන වඩාත් විමසිලිමත් ව එම ප්‍රකාශ කළ දේ පිළිබඳ විමසිලිමත් වෙනවා. අපේ
බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල පැහැදිලි කරලා දීලා තිබෙනවා, ආර්ය නිශ්ශබ්දතාව
කියලා අදහසක් ගැන.
ඉතින් ඒ ආර්ය නිශ්ශබ්දතාව පවතින්නේ ආර්ය මාර්ගයන් අවබෝධ කරගත් උතුමන් වෙත යි. එහෙම
වුණ ත් කවදා නමුත් මේ සසර ගමන අවසන් කර සදාකාලික විමුක්තිය වන නිවන අවබෝධ කර ගැනීම
තමා බෞද්ධයා ගේ එකම අරමුණ. ඉතින් මේ ආර්ය මාර්ගය අවබෝධ කර ගැනිම එකම ඉලක්කය කර ගත්
අප විසින් එම ආර්ය නිශ්ශබ්දතාව පිළිබඳ ධෛර්යවන්ත අදහක් ඇති කරගෙන ඒ සඳහා උනන්දුවෙන්
කටයුතු කිරිම තුළින් වචනය නිසා ඇති වන දූෂණය අපට අවම කර ගැනීමේ ශක්තිය තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.මිනිසා කියන සත්වයා පමණක් නො ව, තිරිසන් ගත සතා
සිවුපාවා පවා සාමුහිකව යි ජිවත් වන්නේ. ඒ අතර මිනිසා තමා උසස්. ඒ වගේ ම උපතින් උරුම
වෙච්ච තම පැවැත්ම උසස් තත්වයකට ගෙන ඒමට විවිධ උපක්‍රම භාවිත කරමින් දැනුමෙන්
තේරුමෙන් පමණක් නොව කල්‍යාණ මිත්‍ර සේවනයෙන්, සද්ධම්ම ශ්‍රවණයෙන්,
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් හා යෝනිසො මනසිකාරයෙන් යුක්ත ව ක්‍රියා කිරීමෙන් මේ
සසර ජීවිතය කෙළවර කර ගැනිමට හැකි උසස් ම ගණයේ සත්වයා බවට පත් ව තිබෙන්නේ. ඉතින්
බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා එවැනි උසස් මනසක් ඇති සසර සැරිසරන සත්වයකු වශයෙන්
උතුම් මිනිස් බවයක් උරුම කර ගත් අප විසින් එකිනෙකා හමුවන, සුහද හමුවීම් පවත්වන,
රැස්වන හැම අවස්ථාවක ම දැහැමි කථාවෙන් කල් යවන්නට අවශ්‍යයි, කියන මේ කාරණය.
ඒ වගේ ම දැහැමි කතාබහෙන් තොරව සිටින හැමවිට සෝවාන් ආදි මගඵල පසක් කළ උතුමන් විසින්
ධ්‍යානාදි හෝ සමාපත්තියකට සමවැදී ක්‍රියා කළ යුතුයි. ඉතින් කොහොම වුණ ත් අද දවසේ
ජීවත් වන අප විසින් තේරුම් ගත යුත්තේ වැරැදි කිසිදු කතාබහකට ඉඩ නො තබා නිහඬ ව සිටිම
ඉතාමත් සුභදායක වන බව යි.
මේ වචනය පිළිබඳ ව එක්වරක් බුදුරජාණන් වහවන්සේ ප්‍රකාශ කළේ ”පුරිසස්ස හි ජාතස්ස
කුඨාරි ජායතෙ මුඛෙ” අප කටෙන් කරන එක් ප්‍රධාන ක්‍රියාවක් වන්නේ සිතෙහි සිතිවිලි
මඟින් ගොණු කර ගන්නා වචන පිටකිරීම යි. මේ වචනයේ ශක්තිය හොඳ නරක දෙපැත්තට ම එක
විදියට සමාන යි. බරපතල යි. ඕනම දරුණු කෙනෙක් දමනය කරලා නිවැරැදි මඟට ගන්නේ වචනයෙන්.
ඕනෑම මිනිස් ඝාතනයක් දක්වා වන දරුණු අපරාධ බොහොමයකට මුල් වන්නේ ත් වචනය වැරැදි
විදියට පාවිච්චි කිරීමෙන් වගේ ම තවත් අයෙක් වැරැදි විදිහට වචනය තේරුම් ගැනීමෙන්. මේ
නිසා මිනිසා මෙලොව උපදින්නේ තම මුවෙහි, එහෙම නැත්නම් කටේ කෙටේරියක් ඇතිව යි කියා
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. කෙටේරිය කියන්නේ දෙපැත්තට කැපෙන තියුණු
ආයුධයක්. ඉතින් ඒ කෙටේරියක් කටේ තියෙනවා කියන්නේ තමන් ගේ කටත් කැපෙනවා වගේ ම එය
උදව් කරගෙන අනුන් විනාශ මුඛයට ලක් කරන්නත් හැකියාවක් තිබෙනවා කියන එක යි. ඉතින් අප
තේරුම් ගන්නට අවශ්‍යයි, මේ කට දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් වගේ බොහෝ යහපතට මෙන් ම
අනර්ථයට යොමු වන්නට ත් ඉඩ තිබෙන්නට පුළුවන්.
ඒ නිසා මහත් සැලකිල්ලකින්, සිහියකින් යුක්ත ව අප කට හසුරුවා ගත්තේ නැති නම් එතැන
බොහෝ අඬදබර රණ්ඩුසරුවල් පමණක් නොව දරුණු මිනිස් ඝාතන පවා සිදු වන ආකාරය සම්බන්ධයෙන්
ඕනැම තරම් නිදසුන් අප ජිවත් වන සමාජයෙන් ම එදිනෙදා අපට සොයා ගන්නට හැකියාව තිබෙනවා.
මේ නිසා හැමවිට ම නිශ්ශබ්දතාව වැදගත් වෙනවා. යහපත් ඵලදායක දෙයක් නො වේ නම් අපට
වඩාත් වැදගත් වන්නේ නිශ්ශබ්දතාව ආරක්ෂා කර ගෙන ක්‍රියා කිරීම යි. මේ කියන
නිශ්ශබ්දතාව ආර්ය උතුමන්ට පවත්නා ආර්ය නිශ්ශබ්දතාව මෙන් ම පුහුදුන් මිනිසාට ඔහු ගේ
පැවැත්මේ
සාර්ථකත්වය පිණිස අතිශයින් ප්‍රයෝජනවත් නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි අප
දෙපක්ෂයට ම
එහි අගය පෙන්වා දීමට ක්‍රියා කර තිබෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර
ඝෝෂිතාරාමයෙහි වැඩ වාසය කරන කාලයක සන්දක නම් පිරිවැජියා පළොල් ගස්වලින් ගැවසුණු
පුලිල නම් ගුහාවෙයි වාසය කළා. ඉතින් දවසක් ආනන්ද හාමදුරුවෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා
පිරිසක් මේ ගුහාව දිසාවට වැඩියා. එහි විශේෂයක් වූයේ යට ජලය සහිත ගුහාව තුළ ජලය
මතුපිට ලෑලි අතුරා ඒ මත වාසය කිරීම යි.
ඉතින් මේ පිරිස ඌෂ්ණ කාලයෙහි මෙහි වාසය කරනවා. මේ හාමුදුරුවරු පිරිස වැඩියේ මෙම
අසිරිමත් ගුහාව නැරඹීමට යි. ඒ ස්ථානයට ළඟා වූ මේ භික්ෂු පිරිසට අසන්නට ලැබුණේ මහත්
ඝෝෂා සහිත කටහඬවල්. ඉතින් මේ සන්දක පිරිවැජියා තම පිරිස සමඟ කතාබස් කරමින් සිටියේ
මහත් වූ පිළිකුල් සහගත තිරිසන් කතාබස්. මුළු පරිසරය ම මේ කතාබස් නිසා දූෂණය වෙලා.
මේවාට කියනවා දෙතිස්තිර්යක් කථා කියලා. සවස් කාලයෙහි හැමදාම ත් කතාබස් කරනවිට ඔවුන්
තෙපළන්නේ මේ අදැහැමි කතා. මේවා රාජකථා, චෝර කථා, මහාමත්ත කථා, සේනා කථා, හාස කථා,
යුද්ධ කථා, අන්න කථා ආදි වශයෙන් 32 ක් වෙනවා. ඇත්තෙන් ම අද වුවත් නිකරුණේ කාලය ගත
කරන බොහෝ අනුවණ උදවිය කල් යවන්නේ මෙවැනි කතාබස් කරමින් තමා. ඒ වා වර්ග කරලා
බැලුවොත් මේ 32 ට අයත් වෙනවා. ඉතින් මෙවැනි අමනෝඥ තිරිසන් කතාබස් කරමින් සිටිය මේ
පිරිවැජියා ඇතුළු පන්සියයක් පිරිස ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මේ ආගන්තුක භික්ෂු පිරිස
දුටු විගස ම සන්දක පිරිවැජියා වහා ම තම ඝෝෂාකාරි ව සිටි පිරිස සන්සුන් කරවා, මෙසේ
ප්‍රකාශ කළා. ”ඇවැත්නි, වහා සන්සුන් වෙව්. අර එන්නේ ශ්‍රමණ භවත් ගෞතම ගේ ශ්‍රාවකයන්
අතර එක් කෙනෙක් වන ආනන්ද නම් භික්ෂුව ඇතුළු ගෝල පිරිසක්. මේ පිරිස නිශ්ශබ්ද බව අගය
කරනවා. ඒ පුරුදු ඇති කරලා තිබෙන්නේ ශ්‍රමණභවත් ගෞතම විසින්.
එතුමා නිහඬ බව අගය කරන ශාස්තෘවරයෙක්”. ඉතින් මේ නියමයෙන් පසු සියලු දෙනා ම සන්සුන්
වී නිහඬ පරිසරයක් එහි ඇති කළා. මේ කරුණින් ප්‍රකට වන්නේ එදා බුදුරජාණන් වහන්සේට
ප්‍රතිපක්ෂ දහමක් ලොවට ප්‍රකාශ කරමින්, බුදුරජාණන් වහන්සේ ගේ දහමට නිගා දෙමින්, එය
යටපත් කරන්නට ක්‍රියා කළ නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා උන්වහන්සේ ගේ වගේ ම
උන්වහන්සේ ගේ අනුගාමික ශ්‍රාවක පිරිස විසින් ද අනුගමනය කරන මේ නිශ්ශබ්දතාව අතිශයින්
අගය කළ බව නේ ද? මේ අනුව සමාජයේ උද්ගත වන බොහෝ ආරවුල් නිරාකරණයට නිශ්ශබ්දතාව අතිශය
උපකාරි වෙනවා. |