දුක් කරදර බොහොමයි
එහෙත් ටික කාලයයි
බළංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහ නා හිමි
" මුහුණ පියුමක් වගේ හරි ලස්සනයි. කතා කරන වචන සඳුන් වගේ සිසිලයි. දිවඟ මී පැමිණි
බේරෙනවා වගේ. ඒ වුණාට හදවත තුළ හලාහල විසයි පවතින්නේ. ඊර්ෂ්‍යාවෙන්, මසුරුකමින්,
කපටිකමින් යුත් පුද්ගලයා ලස්සන ශරීර වර්ණයෙන් යුක්ත වූවත් හොඳ යහපත් මිනිසකු වන්නේ
නැහැ."
රිදීවන් දිය දහරින් ගලා යන ගංගාවක දර්ශනය සිතට මොනතරම් සුවයක් ගෙන දෙනවා ද? මහවැසි
ඇදහැලී ගලායන ඒ ගංගාවේ ම ජල කඳ අපට මොනතරම් භයක් ගෙන දෙනවා ද? සිතට මොනතරම්
වේදනාවක් ද? ජීවිතයත් හරියට ගඟක් වගෙයි.
කඳු බෑවුම් අතරින් පෙණ පිඬු නඟමින් ගලන ගඟ වාගේ ජීවිතයත් විටෙක ලස්සන වෙනවා. දුකක්
නැහැ. සිත් රිදුමක් නැහැ. මුහුද සොයා යන ගමනේ දී නිහඬව නිසලව ගලා ගිය ගඟ අතර මඟ ඇති
නොයෙකුත් සිරවීම් ආදිය නිසා වතුර පිටාර ගලමින් මිනිසුන්ට නොයෙකුත් ප්‍රශ්න ඇති
කරනවා. ඒ ගඟ වන දුර්ග, ගිරිදුර්ග පසුකරමින් මහා ජලකඳක් සෙයින් ගස් වැල් උදුරාගෙන,
කුණු කසල දරාගෙන තල්ලු වී යනවා.
මේ අතර මේ ගංගාවේ දිය අපිරිසුදු කරන අයත් ඉන්නවා. ගඟෙන් දිය බී මුහුදට ආ වඩන අයත්
ඉන්නවා. මේ හැල හැප්පිලි රිදුම් අමාරුකම්, අපහසුකම් තිබුණත් සියලු අභියෝගයන්ට මුහුණ
දෙමින් ඒ ජල කඳ මුහුද වෙත ම ගමන් කරනවා.
ජීවිතයත් මේ වගෙයි. දුක් කරදර බොහොමයි. ඒත් ටික කාලයකටයි. ඒ දුක වෙනස් වෙනවා.
නැවැතත් සතුට ලැබෙනවා. ඒවුණත් මේ සතුට ලැබෙන්නේ ටික කාලයකටයි. ආයෙත් දුක් උපදිනවා.
කරත්ත රෝදයක් වගේ කර කැවෙනවා. මුලින් සිටි තැනට ම එනවා. ආයෙත් වෙනස් වෙනවා. මේ ලෝක
ස්වභාවයයි.
මනුෂ්‍යයෙකුට මුහුණ දෙන්න සිදුවන ධර්මතා අටක් “අට ලෝ දහම“ යනුවෙන් ධර්මයෙහි සඳහන් ව
ඇත. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක - සැප යනු ඒ අටයි. නිත්‍ය නොවීම,
ස්ථිර නොවීම, විපරිනාමයට පත්වීම ඒ ධර්මයන්ගේ ස්වභාවයයි.
මේ ධර්මතාවන් නිසා සිත කම්පාවට පත් නොකර ගත යුතු බව, ඒ අනුව ශෝකයට, කනගාටුවට
ලතැවීමට පත් නොවිය යුතු බව අප තේරුම් ගත යුතුයි. ඒ ඒ අවස්ථාවල දී එය දරා ගන්නට අප
පුරුදු පුහුණු විය යුතුයි. අභියෝගයන්ට මුහුණ දෙන්න බැරි සිත කැළඹෙනවා. කළයුතු දේ
නොකළ යුතු දේ හිතාගන්නට නොහැකියි. සමහර අය ලාභයේ දී හිස උදුම්මා ගන්නවා. දුකේ දී
කලින් තමා ඇසුරුකළ අය අමතක කරනවා. කතාවෙන් ක්‍රියාවෙන් පහර ගසනවා. අවඥාවෙන් බලනවා.
දුකට කන්දීමක් නැහැ.
අලාභයේ දී නිතර නිතර කඩා වැටෙනවා. සමීපතමයන් තමා අතහැර යන්නට පුළුවන්. ගින්නෙන්,
ජලයෙන්, සුළඟින්, උන්හිටිතැන් විනාශ වන්නට පුළුවන්. විවිධ ප්‍රශ්න නිසා තමා දැරූ
තනතුරු නැතිවන්නට පුළුවන්.
මෙවැනි තැනක දී සිත කඩා වැටුණොත් ධෛර්ය ගිලිහුණොත් ජීවිතය ගොඩනඟා ගැනීම අපහසුයි.
ස්වභාව ධර්මයට මුහුණ දීමේ ශක්තිය අප තුළ තිබිය යුතු යි. ධෛර්යවත් විය යුතුයි.
අපට වැරදුනු තැන, අපගේ හැසිරීම් රටාවේ ඇති වරද හඳුනාගෙන නිවැරැදි වන්නට උත්සාහ කළ
යුතුයි. සමහර විට නරකඇසුර, අනවශ්‍ය වියදම්, අරපිරිමැස්මක් නැතිකම, සැලසුම් සහගත
ජිවින ගමනක් නැතිකම අපේ වැටීමට හේතු වන්නට ඇත.
වැරදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සහෝදර සහෝදරියන්ගේ සැලකීමක් නැහැ. මවුපියන්ගේත්
ඇල්ම බැල්ම නැති වන්නට පුළුවන් . හදිසියට උදව්වක් උපකාරයක් නැති වෙන්නට පුළුවන්.
මෙයට ද නිර්භය ව මුහුණ දෙන්නට අවශ්‍යයි. තනිවම හෝ නැඟී සිටින්නට උත්සාහ කළ යුතුයි.
සැප සම්පත් ඇති තැන නෑයෝ හිතමිතුරෝ බොහොමයි. ලෙඩට දුකට පිහිට වෙනවා, උදවුවට ඉන්නවා.
මේ යසසයි. එහෙත් මේ සියලු හිතවත්කම් ධන ධාන්‍ය කීර්තිය තිබෙනතුරු පමණයි. ජීවිතය යනු
වෙනස්වන දෙයක්. අද ධනයෙන් ආ¼ඪ්‍ය කෙනා හෙට දිළින්දෙක් වෙන්නට පුළුවන්. එවිට ළඟ සිටි
නැදෑයෝ හිතමිතුරෝ මඟහරිනවා. නින්දා ගෙන දෙනවා. දෝෂාරෝපණය කරනවා. ඇතැම් විට චරිත
ඝාතනය කරන්නටත් පුළුවන්. කටකතා පතුරුවනවා. මේ සියල්ල ටික කාලයයි. එයත් වෙනස් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ නින්දා නොලබන කෙනෙක් නොමැති බවයි. උන්වහන්සේටත්
මාගන්දියා බැමිණිය වැනි අය නින්දා කළා. රජවරු මැති ඇමැතිවරු ප්‍රශංසා කළා.
බුදුරදුහු ඒ සියල්ලට ම සමසිතින් නිහතමානීව මුහුණ දුන්නා.නිහතමානී යන වචනය අප සමාජයේ
භාවිත කළාට එය සුදුසු සියලු කෙලෙස් ප්‍රහීන කළ අයටයි.
නිහතමානී යනු මානය සහමුලින් නැතිකළා යන අරුතයි. සමාජයේ ජිවත්වන අප තුළ බොහෝ විට
වැරැදි දෙයක් වන්නට පුළුවන්. එනම් අත්තුක්කංසනය හා පරවම්බනයයි. මෙහි අදහස තමා උසස්
කොට සැලකීම හා අන්‍යයන් පහත් කොට සැලකීමයි. මානය තුන් ආකාරයකින් සිදුවන බව ධර්මයෙහි
සඳහන් කර ඇත. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන යනු ඒ තුන් ආකාරයයි. සෙය්‍යමාන යනු සමාජය
තුළ සිටින ශ්‍රේෂ්ඨ අය ගැන සිතා තමා ඒ අයටත් වඩා උසස් අයෙකු, ශ්‍රේෂ්ඨයකු ලෙස
සිතීමයි. “සදිසමාන“ යනු සමාජයේ ඉන්නා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැනසිතා තමා ද ඒ හා සමාන
අයකු ලෙස සිතීමයි. හීනමාන යනු සමාජයේ සිටින ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන සිතා තමා ඒ අයට
වඩා පහත් අයෙකු යැයි සිතීමයි.
සමහරු තමා ගේ රූපසෝභාව නිසාත්, සමහරු තමන්ගේ උගත්කම නිසාත්, සමහරු තමන්ගේ ධනවත්කම
නිසාත් මාන්නය ඇතිකර ගනිති. තමාගේ නිරෝගීකම, තමන්ගේ කුලවත් භාවය, තමන්ගේ තාරුණ්‍යය,
තමාගේ මාන්නයට හේතුවක් කර ගන්නවා. තම ශරීරයේ ශක්ති සම්පන්න බව, තම ජවය, තමන් දරන
නිල තල හා තරුණ මදය ද මාන්නයට හේතු කර ගන්නා අවස්ථා සමාජය තුළ දී සමහර විට අපට
දැකගන්න පුළුවන්.
සමාජය තුළ ඇති විවිධාකාර මේ පිම්බීම්, මානයන් තාවකාලික බව තේරුම් ගන්නා පුද්ගලයා
අනතිමානී ගුණයෙන් යුක්ත බව අප වටහා ගත යුතුයි.
සමාජයේ සිටින සමහරු වංක ගති පැවතුම්වලින් යුක්ත අය වන්නට පුළුවන. නමුත් අප අවංක විය
යුතුයි. අප සිතන සිතිවිල්ල, කරන ක්‍රියාව, කරන කතාව, නිවැරැදි විය යුතුයි. වංක
කියන්නේ ඇද ගතියට, අවංක කියන්නෙ ඇද නැති ගතියට, වංක යන්න ක්‍රම තුනකින් සිදුවන බව
ධර්මයෙහි සඳහන් . එනම් මනෝවංක, වචීවංක හා කායවංක යන තුනයි.
සිතිවිලිවල ඇද ගතිය මනෝවංක ලෙසත්, වචන තුළ ඇති ඇද ගතිය වචී වංක ලෙසත්,
ක්‍රියාකාරකම්වල ඇදගතිය කායවංක ලෙසත් සඳහන් කළ හැකියි.
සමහර අය සිතින් සිතන දේ ප්‍රකාශ කරන්නේ නැහැ. සිතින් සිතන දේට ඉඳුරාම පටහැනි දෙයක්
ප්‍රකාශ කරනවා. සමහරු කියන දේ නෙවෙයි කරන්නේ. ඊට සහමුලින් ම වෙනස් දෙයක්.
මුඛං පද්ම අලංකාරං
වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජීව්හාග්‍රේ
හෘදයෙකු හලාහලං
මේ පැරණි කියමනටඅනුව මුහුණ පියුමක් වගේ හරි ලස්සනයි. කතා කරන වචන සඳුන් වගේ
සිසිලයි. දිවඟ මී පැමිණි බේරෙනවා වගේ. ඒ වුණාට හදවත තුළ හලාහල විසයි පවතින්නේ.
ඊර්ෂ්‍යාවෙන්, මසුරුකමින්, කපටිකමින් යුත් පුද්ගලයා ලස්සන ශරීර වර්ණයෙන් යුක්ත
වූවත් හොඳ යහපත් මිනිසකු වන්නේ නැහැ.
මෙබඳු ගති පැවැතුම් ඇති සමාජයක් තුළයි අප ජීවත් වෙන්නේ. සමාජය අප තේරුම් අරගෙන
මානසික පීඩාවට පත් නොවී ආත්ම ශක්තියෙන් යුක්ත ව සියල්ලට ම මුහුණ දීමේ ශක්තිය අප තුළ
වර්ධනය කරගත යුතුයි. තවත් විදියකින්, කියනවා නම් මේ ලෝක ස්වභාවය, විපරිනාමය අප
අවබෝධ කරගත යුතුයි. බාධක මැඩගෙන ඉදිරියට ගමන් කළ හැකි පෞරුෂයක් ගොඩනඟා ගන්නා
තැනැත්තා ජයකණුව කරා යනු ඒකාන්තයි. |