දානයක් සාංඝික කිරීමට උපසම්පන්න එක් නමක් වුණත් ප්‍රමාණවත්
යමක් සඟ සතුකොට පූජා කිරීම සංඝයා වහන්සේගේ වැඩක් නොවේ. එය දායකයින්ගේ ක්‍රියාවකි.
සංඝයා වහන්සේගේ නියෝජිතයන් එහි පෙනී සිටීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් ය. එම නිසා එක
උපසපන් භික්ෂුන් වහන්සේ නමක් වුවත් සිටීම ප්‍රමාණවත් වේ.
සාංඝික යන වචනය කන වැකෙත්ම බොහෝ දෙනා සිතන්නේ භික්ෂුන් වහන්සේලා නිවසට වැඩම කරවා
සිදුකරනු ලබන ආහාර පූජාව හා සම්බන්ධ සකල විධ ක්‍රියාකලාපයයි.
එනිසාම එය කටවහරේ දී සාංඝිකය වේ. “ අපේ ගෙදර සාංඝිකයක් තිබෙනවා” යැයි කෙනකු ප්‍රකාශ
කළහොත් අසන පුද්ගලයා නිසැකව ම එයින් තේරුම් ගන්නේ ඉහත කී අර්ථයයි. මේ, වචනයෙහි
අර්ථය පටු කොට ගැනීමකි. සාංඝික යන්නෙහි අර්ථය වන්නේ සංඝයා වහන්සේට අයත් යන්නයි.
සංඝයා අයත් දෑ ආහාර පමණක් ම ද ? නැත. සාංඝික කොට පූජා කරන ලද, විනයානුකූල ව
භික්ෂුන් වහන්සේට කැපසරුප් සියලු දෑ ඊට අයත් වේ.
මෙහිදී අප සලකා බලනුයේ මෙම සාංඝික කිරීම හෙවත් සංඝයා සතුකොට යමක් පූජා කිරීමට
භික්ෂුන් වහන්සේලා කොපමණ සංඛ්‍යාවක් සිටිය යුතු ද? යන්නට පිළිතුරක් සපයා ගැනීමයි.
මන්ද යත් වර්තමානයේ සමහර ගිහි බෞද්ධ ජනතාව මෙන්ම භික්ෂුන් වහන්සේලා ද මෙරට වැඩිපුරම
සඟසතුව කෙරෙන පූජාව වන දානමය පින්කම (ආහාර) සම්බන්ධ ක්‍රියාවලියට උපසම්පදාව ලත්
භික්ෂුන් වහන්සේලා හතර නමක් අනිවාර්යයෙන් සිටිය යුතුය යන අදහසක් පිළිගෙන ප්‍රකාශ
කරන නිසා ය.
මෙම මතයේ සත්‍යා අසත්‍යතාව දැන ගන්න නම් ත්‍රිපිටක දහම උපයෝගී කරගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේ දී බොහෝදුරට දායක පක්ෂය විසින් සාංඝික ව පූජා කළේ
සිවුරු හෝ සිවුරු සඳහා වස්ත්‍ර ය.
ආහාර පාන මෙකල මෙන් සඟසතු
කිරීමේ ක්‍රියාවලියක් එකල එතරම් ම ජනප්‍රිය ව තිබී නැති බව ද පෙනී යයි. බොහෝ
ධනවතුන් තම හැකියාව පරිදි මහ දන් පිරිනමා තිබේ. වැඩිපුරම භික්ෂු මහා සංඝයා වහන්සේ
පිණ්ඩපාතික ව යැපී ඇති බව ත්‍රිපිටක සාහිත්‍ය පරිශීලනයේ දී පෙනී යයි. එහෙයින් එකල
චීවර පූජාව හා සම්බන්ධ ව තිබෙන කතා ප්‍රවෘත්ති අනුව මේ පිළිබඳ ව නිගමනයකට එළඹීම කළ
හැකි ය.
මහාවග්ගපාලි නම් විනය ග්‍රන්ථයේ චීවරක්ඛන්ධකයේ “තෙන ඛෝ පනසමයේන අඤ්ඤතරෝ භික්ඛු ඒකෝ
වස්සං වසි තත්‍ථ මනුස්සා සංඝස්ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ
භික්ඛු උතුකාලං ඒකෝ වසි තත්ථ මනුස්ස සංඝස්ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන
සමයේනතයෝ භික්ඛු රාජගහේ වස්සංවසක්ති තත්ථ මනුස්සා සංඝස්ස දේමාති චීවරානි දෙන්ති”
යනුවෙන් භික්ෂුන් වහන්සේ එක නමක් විසූ තැනත්, දෙනමක් විසූ තැනත්, සංඝයාට දෙමු’යි
(සංඝස්ස දේමාති) දායකයෝ චීවර පූජා කළ බව සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ ඒවා සංඝික නොවේ යැයි වදාළේ නැත. ආහාරය දවසේ උදෑසන වරුව තුළ
පරිභෝජනය කරන (යාවකාලික) දෙයකි. චීවරය වනාහි එබන්දක් නොවේ. එහෙයින් චීවරය හා
සම්බන්ධව ද නොපැනවූ සම්මුතියක් ආහාරය සම්බන්ධ ව පැනවීමට ඉඩක් නැති බව පෙනී යයි.
ඒ හැරත් විනයානුකූල ක්‍රියාවලට වැඩිපුරම බඳුන් වන්නේ චීවරය බව අමුතුවෙන් කිව යුතු
නොවේ. එහෙයින් චීවරය පිළිගැනීම හා සම්බන්ධයෙන් නොපැන වූ සංඛ්‍යා නියමයක් ආහාර
පිළිගැනීම සම්බන්ධ ව කිසිසේත් පනවනු ඇතැයි සිතිය නොහැකි ය.
මෙම හතර නමක් අවශ්‍ය යැයි පිළිගැනීමක් ඇති වන්නට හේතුව භික්ෂුන් වහන්සේ හා සම්බන්ධ
විනය කරුණුවල දී ඊට අදාළ අවම ඝන පූරණය හතර නමක් වීම නිසා බව අනුමාන කළ හැක. දානය
වනාහි විනය කර්මයක් නොවේ. එහෙයින් ද දන් පූජා කිරීම හා සම්බන්ධ ව මේ පිළිගැනීම
කිසිදු අර්ථයක් නැති එකක් බව පෙනී යයි.
අපේ ථෙරවාද මහා විහාර භික්ෂුන් වහන්සේලා ඉතා දැඩි ලෙස විනයගරුක වූ බව නොරහසකි. ලංකා
ඉතිහාසය පුරාමත් ඒ සඳහා සාධක විසිරී පවතී. විනයට දැක්වූ එකී අවධානය, ප්‍රමුඛත්වය
මතින් ගොස් වැඩි හොඳට දානයක් සඟසතු කිරීම සඳහා ද උපසපන් භික්ෂුන් වහන්සේලා හතර නමක්
සිටිය යුතු යැයි සම්මතයක් ජන මනසට ඇතුළු කළා විය හැකි ය. එහෙත් එහි බුදුරජාණන්
වහන්සේගේ අනුමැතියක් නැති බව ඉහත දැක්වූ මහාවග්ගපාලි පුවතින් පෙනෙයි.
සාංඝික කිරීම පිළිබඳ මේ පිළිගැනීම එන්නට තවත් සමීප හේතුවක් අපට දන් පලක දී දැක ගත
හැකි ය. එනම් භික්ෂුන් වහන්සේ විසින් “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම” යනුවෙන්
දායකයන් ලවා කියවන පූජා කිරීමේ පාඨයයි. මෙය නොකියවුවහොත් දානය සාංඝික නොවන බව බොහෝ
දෙනාගේ පිළිගැනීම වන තරමට ම ප්‍රබල ව ඇත. ඇරත් මෙම වාක්‍යය උපසම්පදා භික්ෂුන්
වහන්සේ නමක් ම කියවිය යුතු බව සමහර භික්ෂුන් වහන්සේ ද පිළිගනී. ඒ මෙහි අර්ථය වටහා
නොගැනීමෙන් උපන් වැරැදි අදහසකි.
එම පාඨයෙන් කියැවෙනුයේ මෙම දානය භික්ෂු සංඝයාට පූජා කරමි යන්නෙන් මෙය දායකයා
නොදන්නා නිසා භික්ෂුන් වහන්සේ විසින් කියවන්නකි. භික්ෂුන් වහන්සේට දාන පිළිගැනීමට
විනා පූජාකරවා ගැනීමට අයිතියක් විනයානුකූල ව නැත. එලෙස දානය පූජා කිරීම හෝ නොකිරීම
දායකයන්ගේ කාර්යයකි.
මෙකරුණින් ද දන් පූජා කිරීම භික්ෂුන් වහන්සේ හතර නමකගේ වැඩක් නොව දායකයන්ගේ
ක්‍රියාවක් බව පැහැදිලි ය.
තවද ඉන්දියාවේ මධ්‍ය දේශයේ එකල භික්ෂුන් වහන්සේ දහස් ගණනින් වැඩ සිටි අතර, මධ්‍ය
දේශයෙන් පිටත මෙම තත්ත්වය මීට හාත්පසින් ම වෙනස්වූ බව පෙනේ. උපසම්පදා විනය කර්මයකට
භික්ෂුන් වහන්සේ දහ නමක් සොයා ගැනීමට දුෂ්කර වූ අස්ථාවක් පිළිබඳ එන විනය පිටකාගත
වාර්තාවකින් ඒ බව පැහැදිලිවේ. එනිසාම තථාගතයන් වහන්සේ මධ්‍ය දේශයෙන් පිටත උපසම්පදා
විනය කර්මයක් සිදුකිරීමට භික්ෂුන් වහන්සේ පස් නමක් ප්‍රමාණවත් කොට ශික්ෂා පද
සංශෝධනය කර වදාළහ.
තථාගතයන් වහන්සේ ශාසනයේ ජීවය බඳුවූ උපසම්පදාව වැනි වැදගත් විනය කර්මයකටත් බුරුලක්
දුන්නේ භික්ෂුන් වහන්සේගේ හිඟකම නිසා ය. එහෙත් විනය කර්මයක් නොවන දානමය පූජාවකට
උපසම්පන්න භික්ෂුන් වහන්සේ හතර නමක් අවශ්‍ය යැයි පැනවීමක් කළහොත් භික්ෂුන් වහන්සේලා
හිඟ ප්‍රදේශවල සැදැහැතියකුට දානයක් පූජා කිරීමට අපහසු වනු ඇත. අද අප මේ මතය දරනුයේ
ද ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගණන පිළිබඳ සිහිය තබාගෙන ය. නමුත් එකල තත්ත්වය එසේ
නොවේ. මේ ගැන අපේ රටේ ධර්මධර උතුමන් වහන්සේලා දෙනමකගේ අදහස් ද මෙහි දක්වන්නේ මෙම
මතයේ ඇති සාවද්‍යතාව පෙන්වා දෙනු පිණිස ය.
“යමක් සඟ සතුකොට පූජා කිරීම සංඝයා වහන්සේගේ වැඩක් නොවේ. එය දායකයින්ගේ ක්‍රියාවකි.
සංඝයා වහන්සේගේ නියෝජිතයන් එහි පෙනී සිටීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් ය. එම නිසා එක
උපසපන් භික්ෂුන් වහන්සේ නමක් සිටීම ප්‍රමාණවත් වේ.” හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි,
ඛන්ධක විනය පිටුව - 303
“එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති නැත්වලදී සාංඝික කළ චීවර සාංඝික වන්නාක් මෙන්
ආහාරපානා දී කිනම් දෙයක් වුවත් සාංඝික කළහොත් සාංඝික වන බව කිව යුතු ය. එහි සැක කළ
යුත්තක් නැත” - රේරුකානේ
චන්දවිමල මහ නාහිමි, ධර්ම විනිශ්චය - පිටුව 56
ඉහතින් දැක්වූ සියලූ කාරණාවන් විමසා බැලීමේ දී දානයක් සාංඝික කිරීම සඳහා උපසපන්
භික්ෂුන් වහන්සේලා හතර නමක් සිටිය යුතුය යන සම්මතය ථෙරවාදීන්ගේ විනය ගරුකත්වය නිසා
ඇතිවූවක් බව සිතිය හැකි අතර එකී කාර්යය උදෙසා උපසම්පන්න එක් නමක් පමණක් සිටීම වුව ද
ප්‍රමාණවත් බව ද පැහැදිලිව පෙනී යයි
බෙල්ලන්විල රජමහා විහාරවාසී
ආචාර්ය
උඩුගම්පොළ හේමරතන හිමි |