භික්ෂූන් වහන්සේ රැක ගනිමු
අස්ගිරිමහාවිහාරයෙහි උපාධ්‍යාය,
කාරක සංඝසභික,වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
අප අද ජිවත් වන්නේ වෙන කවරදාටත් වඩා භික්ෂූන් වහන්සේගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින
කාල වකවානුවක යි‘ ඉතින් ඒකටත් බරපතළ හේතුවක් පෙනී යනවා. ඒක තමා පසුගිය කාලයේ අප
විසින් අනුගමනය කරපු වැරදි පිළිවෙතක්.
ඒ කාලයේ, ඒ කියන්නේ දැනට වසර 40 කට පමණ පෙර කාලවකවානුවක් තිබුණා. මේ රටේ බරපතළ උපත්
පාලනයක්.
ඒ වගේම වඳ සැත්කම කර ගන්නා පුරුෂ පක්ෂයේ උදවියට රු. 500.00 දීමනාවකුත් දුන්නා.
ඉතින් ඒ කාලේ බොහෝ තරුණයෝ අර රු.500.00 ට ගිජුකමක් ඇති කර ගෙන එම සැත්කම් පෝලිමේ
ගිහින් කර ගත්තා. ඒ විතරක් නොවේ. රාජ්‍ය සේවය පිණිසයි යන ශීර්ෂය ඇති රජයේ ලියුම්
කවරවල පුංචි පවුල රත්තරන් කියා දැන්වීම් ශිර්ෂ පාඨයක් යොදමින් ජනතාව අතර ප්‍රචාරයක්
ගෙන ගියා උපත් පාලනය සම්බන්ධ ව.
ඉතින් මේ කරුණු නිසාත් තවත් ආර්ථික වශයෙන් පවුලේ දරු සංඛ්‍යාව වැඩවන නිසා පීඩනයට
පත්විම යන කරුණ නිසාත් පවුලේ දරුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ යන්නට පටන් ගත්තා.
අද මේ වෙනකොට එහි භයානක අද්දැකීම් භික්ෂූන් වහන්සේලා වශයෙන් අප භුක්ති විඳීනවා. මේ
නිසා ඇති වී තිබෙන කනගාටුදායක ප්‍රතිපලය තමා සිංහල බෞද්ධ ජනගහනය ශීඝ්‍රයෙන් පහළට
යාම. ඒ විතරකුත් නොවේ. මේ හේතුවෙන් වෙහෙරවිහාරස්ථානවල වැඩ සිටිය යුතු භික්ෂූන්
වහන්සේලාගේ විශාල අඩුවක් පවතී . තවත් පැත්තකින් තරුණ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ
ඇතැම් සුළු සුළු කාරණා සමාජය තුළ ඉස්මතු වීමෙන් තරුණ භික්ෂූන් වහන්සේ වාර්ෂිකව දහස්
ගණනින් භික්ෂු ජීවිතයෙන් සමුගෙන ගිහි බවට පත් වීම.
මෙයින් අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව ශිඝ්‍ර වශයෙන් පහළට
කඩා වැටීම හා විහාරස්ථාන භික්ෂූන් වහන්සේගෙන් හිස්වීම. කිසිම භික්ෂූන් වහන්සේ නමක්
නොමැති විහාරස්ථාන සිය ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ම සෙයා ගත හැකි වෙනවා.
ඉතින් අද දවසේ ජිවත් වන අප විසින් දැනට පැවිදි ජිවිත ගත කරන අපේ තරුණ පොඩි
හාමුදුරුවරු ආරක්ෂා කරගෙන, අවශ්‍ය තැනදි නිසි පිළිවෙළකට දැනමුතුකම් ලබා දී පුත්‍ර
ස්නේහයෙන් යුක්තව එම පිරිස රැකගතයුතු වෙනවා. එය අප කාගේත් බරපතල යුතුමක් බවට පත් වී
තිබෙනවා.
ඉතින් එදා බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේ දඹදිව ඉන්දියාවේ එක් කාලයක චාතුමා නුවර
නෙල්ලි වනයේ වැඩ වාසය කරන අවස්ථාවක ඇති වූ සිදුවීමක් මෙහි දී සිහිපත් කර දිම
අතිශයින් වැදගත් වෙනවා.
මෙය ගිහි පැවිදි අප දෙපක්ෂයට ම වැදගත් වන්නේ මේ අපේ ගරු කටයුතු මහා සංඝරත්නය වෙතින්
කෙතරම් අඩුපාඩු අප නොයෙක් විට දුටුවත් උන්වහන්සේලා ගිහි පැවිදි අප දෙපක්ෂය විසින් ම
මහත් සෙනෙහසින් කරුණු කියා හෝ රැක ගත යුතු පිරිසක් වන බව මැනවින් ප්‍රකාශ වන නිස
යි.
ඉතින් දවසක් දා ඇති වූ සිදුවීමක් මෙහි දී දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ චාතුම නුවර
නෙල්ලි වනයේ වාසය කරන කාලයේ සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනමත්.
උන්වහන්සේලාගේ ගෝලයෝ පන්සියයක් පමණ භික්ෂු පිරිසකුත් දුර බැහැරක වැඩමවා සිට ආපසු
මෙම නෙල්ලි වනයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩියා.
මේ පන්සියයක් භික්ෂු පිරිස අලුත පැවිදිවුණු පිරිසක් නිසා ඒ අය මෙයට පෙර කවදාවත් අපේ
බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකින්නට හරි ඕන
කමකුත්. ආශාවකුත් තිබුණා. ඉතින් මේ පිරිස බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන මේ ස්ථානයට
ඇවිත් තමන්ට ඒ දවසේ කාලය ගත කරන්නට ලබා දුන්නු අවාස ගෙවල් ඇතුළට ගිහින් තම තමන්ගේ
සයනාසන, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි තෝරා ගන්නට, වෙන් කරගන්නට, ඒ අය ඔවුනොවුන් ශබ්ද
නඟමින්, කෑගහමින් තරගකාරී ව හොඳ හොඳ සයනාසන ආදිය වෙන් කර ගන්නට පටන් ගත්තා.
ඉතින් මෙතන මහ සද්ද බද්ද ඝෝෂා බුදුහාමුදුරුවන්ට ඇහුණා. බුදුහාමුදුරුවෝ කවදත්
නිශ්ශබ්දතාව ප්‍රිය කළ උතුම් ශාස්තෘවරයෙක්.
ඒ ගැන එදා දඹදිව ඉන්දියාවේ අන්‍යාගමික පිරිස් අතර පවා ලොකු කිර්තියකුත් තිබුණා
“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නිශ්ශබ්දතාව ප්‍රියකරන ශාස්තෘවරයෙක්” යන රාවය නිසා ඒ
ආගමික ශාස්තෘවරුන් බුදුරදුන් හමු වන්නට ආවෙත් බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමිනු
යි.
මෙය ධර්මයේ හැඳීන් වන්නේ ආර්ය නිශ්ශබ්දතාව කියල යි. “අරියො වා තුණ්හීභාවො”. ඒ
කියන්නේ උන්වහන්සේ නිකරුණේ කාලය ගත කරන්නේ නැහැ. කිසියම් විවේකයක් ලදොත් උන්වහන්සේ
ඵලසමවතට සම වැදී විමුක්ති සුවය විඳීමිනුයි කාලය ගත කරන්නේ. අනිත් හැම වේලාවක ම
මොනවා හෝ පරහිත පිණිස හේතුවන ක්‍රියාවකයි උන්වහන්සේලා යෙදී වැඩ ඉන්නේ.
ඉතින් මේ නවක එහෙම නැතිනම් ළඟ දී පැවිදි වූ නිසා ඒ තරුණ භික්ෂූන් වහන්සේලාගේ අර
ගිහි ගතිය තවමත් ඇකී මැකී නොගිය නිසා ම මේ ඝෝෂාවෙන් බුදුරජාණන් වහන්සේ කිසියම් දැඩි
ස්වරූපයක් ඇති ව.
“කවුද ආනන්ද එය මාලු දැලක් ගොඩට අදින තැනක වගේ උස් හඬින් මහහඬින් කෑ මොර දෙන්නේ?”
කියා විමසුවා. ඒ වෙලාවේ උන්වහන්සේට දැන ගන්නට ලැබුණා මේ අග්‍රශ්‍රාවක දෙනම සමඟ ආ
නවක භික්ෂු පිරිසක් තමන්ට ඕන ඕන විදියට සෙනසුන් ආසන තෝරා ගැනීමේ දී ඇති වූ ඝෝෂාවක්
බව. බුදුරජාණන් වහන්සේ ඒ අයට පණිවුඩයක් යවලා ගෙන්වා ගෙන “වහාම පිට වී මේ සීමාවෙන්
යන්න” කියා නියම කළා. මෙයින් මහත් කම්පාවට පත් භික්ෂු පිරිස තමන්ගේ පාත්‍ර සිවුරු
හැරගෙන ආපසු පිටත්ව යන විට අතරමඟ දී හමු වූ ගිහි දායක පිරිසක් විමසා සිටියා
“ආපයින් ම ආපසු යන්නේ ඇයි?” ඇයි කියලා.
ඉතින් සිද්ධිය සිදු වූ ආකාරයෙන් ම ඒ අයට මේ භික්ෂු පිරිස දැනුම් දුන්නා. ඉතින්
මෙයින් මහත් කම්පාවට පත් දායක පිරිස “මෙහෙම ගියොත් අපිට අපේ හාමුදුරුවරු මහණකම ගැන
කළකිරිලා සිවුරෙන් ඉවත් වේවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කරුණු කියලා මේ නවක
හාමුදුරුවරුන්ට සමාව ලබා දෙන්නට ඕන කියලා හිතාගෙන ඒ භික්ෂු පිරිස ආපසු අඬ ගහගෙන
නෙල්ලි වනයට ගිහින් බුදුහාමුදුරුවන්ට කරුණු කීවා.
ඔවුන් කියා සිටියේ මෙන්න මේ විදියට.“ස්වාමීනි. මේ හාමදුරුවරු ළඟදී මහණ වුණු අය. මේ
අයට මෙම නිශ්ශබ්දතාව රැකීම පිළිබඳ තවම අදහස් වැඩි දියුණු වෙලා නැහැ. ඔබවහන්සේ දැකල
යන්නට යි දුර සිට වැඩලා තියෙන්නේ. ඉතින් ඉස්සරත් භාග්‍යවත් බුදුරාණන් වහන්ස. ඔබ
වහන්සේ මෙවැනි කරුණුවලට ආපසු සමාව දුන්නා අපට මතක යි. දැනුත් මේ අයගේ මේ නවක
ගතිසිරිත් ගැන තදබල නො වී අනුකම්පා කර සමාව දෙනු මැනවි.
“දෙන දිහාවට වේගයෙන් ඇදෙන වසුපැටවුන්ට දෙන සොයා ගත නොහැකි වුණොත් බලවත් දුකට පත්
වෙනවා, වතුර අවශ්‍ය වෙන වේලාවට වතුර නෙැබුණොත් බීජ වේළී යනවා. පැළ හට ගන්නේ නැහැ.
ඒ වගේ ම මේ හාමුදුරුවරු ඔබ වහන්සේ දැක ගන්නට ආශාවෙන් පැමිණ ඒ අපේක්ෂාව සුන් වෙනකොට
කායික හා මානසික ලෙස බලවත් දුකට පත් වෙනවා. දුර්වල වෙනවා. මේ හාමුදුරුවරු එතකොට අපේ
සම්බුදු සසුන පවත්වාගෙන යන්නට අපට නැති වෙනවා.කියලා
මේ වෙලාවේ ම මේ විපත දුටු සහම්පති මහාබ්‍රහ්මයා ත් බුදුරදුන් හමුවට පැමිණ මේ
විදියටම ඉල්ලීම් කර තිබුණා.
මේ කරුණු කියාපෑමෙන් බුදුරජාණන් වහන්සේ මේ කරුණ පිළිබඳ මධ්‍යස්ථ වී ඒ අයට ආපසු
පැමිණ තමන් වහන්සේ හමුවීමට අවසර දීමට තීරණය කළා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ
ඒ භික්ෂු පිරිසට ආපසු එන ලෙස පණිවුඩ යැව්වා.
මේ අවස්ථාවේ මෙතනට සැරියුත් තෙරුන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම
සැරියුත් හුමුදුරුවන්ගෙන් විමසා සිටියා .
ඈ සාරිපුත්ත. මේ නවක භික්ෂූන් වහන්සේලා ට තමන් වහන්සේ දැකීමට අවස්ථාව නො දී පළවා
හැරියායින් පස්සේ ඔබ වහන්සේට මොකද හිතුණේ ? කියලා. ඒ වෙලාවේ සැරියුත් හාමුදුරුවෝ
පවසනවා ස්වාමිනි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදිලා විවේකව
කල් යවනවා වගේ ම මම ත් ඒ විදියට නිරෝධ සමාපත්තියෙන් ගත කිරිම සුදුසු යි කියා සිතුවා
කියලා.
ඒ පිළිතුරට බුදුරජාණන් වහන්සේගේ මනාපයක් ඇති වුණේ නැහැ.. ඊළඟට මුගලන් හාමුදුරුවෝ
දෙස බලා උන්වහන්සේගෙන් බුදුහාමුදුරුවෝ විමසා සිටියා.
මොග්ගල්ලාන, ඔබට ඒ වෙලාවේ කුමක් සිතුණේ ද? මුගලන් හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස. ඔබ වහන්සේ විවේකී ව නිරෝධ සමාපත්තියට සමවැදිලා සිටින
අවස්ථාවේ සැරියුත්, මුගලන් අප දෙදෙනා වහන්සේ හරි හරියට එකතු වෙලා මේ හැදෙන වැඩෙන
අපේ මේ භික්ෂු පිරිස රැකබලා ගෙන කටයුතු කරනවා කියා සිතට ගත්තා කියලා.
සැරියුත් හා මුගලන් යන අග්‍රශාවක දෙනමගෙන් ම විමසා සිටියා එදා තමන් වහන්සේ මේ
විදියට එම භික්ෂූන් වහන්සේලාට මේ ස්ථානයේ නොවැස පිට වී යන ලෙස කී බව දැනුණු විට
කුමක් සිතුණේ ද කියා.
මේ භික්ෂූන් වහන්සේලා හදා වඩා ප්‍රියශීලි බවට පත් කොට ඉදිරිපත් කිරීමේ වගකීම තමන්
වහන්සේලාගේ ත් වගකීමක් නිසා ඒ අනුව ඉදිරියට කටයුතු කරන බවට ගිවිස ගත්තා.
මේ අවස්ථාවේ දී අප තිදෙනා ම එකතු වී භික්ෂූන් වහන්සේලා නිසි මාවතට ගැනීමට කටයුතු
කරමු කියා බොහොම සරල ලෙස එකඟ වී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා මේ පැවිදි
ජීවිතයට ඇතුළත් වී පැවිද්දේ ඇල්ම හෙවත් අභිරතිය ඇති කරගෙන මහණදම් පිරීමට සූදානම්
වෙන වකාවානුවේ දී ඇති වන අභියෝග සතරක් “භය” ලෙස ඇති වන හැටි විශාල ජලාසයක් උපමා
කරමින් පෙන්වා දුන්නා.
පළමු වැන්න මේ ජලාසයට බසින්ට සූදානම් වන පුද්ගලයා එහි රළවේගය දැක්කහම භය වෙනවා. ඒ
වගේ ම තමා ගිහි අයෙකු සසුනට ඇතුළු වන්නේ කෙලෙස් නසා ජාති ජරා මරණ දුක් දොම්නස්වලින්
මිදෙන්ට හිතල යි. ඒ පුද්ගලයා මේ අදහස පෙරදැරි ව සසුනට ඇතුළු වූ පසු පෙර දී පැවිදි
වූ වයසින් බාල හා වැඩිහිටි භික්ෂූන් මේ අලුත මහණ වූ අයට නොයෙක් කරුණු පිළිබඳ යම්
යම් සිමා ඇති කොට අවවාද අනුශාසනා කරනවා.
ඒ වෙලාවේ මේ නවක භික්ෂූන්ට මෙම සසුන ගැන භයක් තරහක් වැනි අමනාපයක් ඇති වෙනවා.
“මෙච්චර නීති රීති ගොඩක් මැද තමන්ට ත් වඩා වයසින් බාල අය අවවාද ත් දෙනවා. මේක හරි
කරදරයක් කියා මහණකම එපා වෙනවා. මෙය ක්‍රෝධ සහගත සිතිවිල්ලක්. මෙය ජලාසයේ එකින් එක
මතු වෙවී උඩට නැගෙන රළවේගය වගේ කියා බුදුරජාණන් වහන්සේ උපමා කරනවා.
දෙවනුව ජලාශයේ ළගින කිඹුලන්ගෙන් ඇති වන භය යි. මේ සසුනට ඇතුළත් වුණහම නොයෙක් සීමා
පැනවෙනවා. දන් වළඳන වේලාව මේක යි. මේ වේලාව දානයට විකාලය යි. වැළඳීය යුතු මේවා යි.
නො වැළඳීය යුතු දේ මේවා යි. මෙහෙම නීති තහංචි වැටෙන කොට හිතෙනවා ගිහිගේ ඉද්දි නම්
මෙහෙම එකක් නැහැ. ඕන ඕන වේලාවට ඕන ඕන දේවල් කනවා. කෑම බීමට තහංචි සීමා නැහැ. මේකට
කියනවා “ඌමිභය” කියලා ඒ නිසා මහණකම එපා වෙලා ගිහිවෙනවා. මෙය මේ සසුනෙහි කිඹුල් භය
හෙවත් “කුම්භීල භය”
ඊළඟට භයක් තිබෙනවා “ආවට්ට භය” කියලා. එයින් කියන්නේ ජලාශයේ ඇති මාරක දිය සුළි
පිළිබද භය යි. ඒවගේ ම මහණකමේ ඇති ආවට්ටභය වන්නේ පැවිදි වූ පසු පිඩු පිණිස සැරිසරන
විට ගිහි සැප විඳීන නොයෙක් ස්ත්‍රී පුරුෂ පිරිස් දකින්ට ලැබෙනවා. අපිට එහෙම නිදහසේ
එවැනි ගිහි සැප විඳීන්න දැන් ක්‍රමයක් නැහැනේ කියා තමන්ට පස්කම් සැප සිහිවෙනවා. ඒවා
විඳීමේ ආශාව දැඩි වෙනවා.
අනිත් භය ලෙස ජලාශයේ ඉන්න රුදුරු මත්ස්‍යයන් නිසා ඇති බව භය හෙවත් “සුසුකාභය” දක්වා
තිබෙනවා. ජලාශයේ නපුරු සැඩපරුෂ මත්ස්‍යයන්ගෙන් අතිවන භය. ඒ කියන්නේ ගම්දනම් සැරි
සරන භික්ෂුවට ගමේ පළාතේ නොයෙක් හැඩට වැඩට ඇඳ පැළඳ ගෙන යන එන සුරුපි කාත්නාවන්
දකින්නට ලැබෙනවා. ඉතින් පරණ කම් සැප විඳපු අයුරුත් මතක් වෙනවා. ඉතින් ඒවා ගැන සිත
පාලනය කරගත නො හැකි ව සිවුරු හැරලා යනවා.
මේ සැඩපරුෂ මසුන්ට උපමා කෙරෙන්නේ ස්ත්‍රිය යි.
මේ විදියට බුදුරජාණන් වහන්සේ පැවිදිවන නවක භික්ෂුව මුහුණ පාන භය හතර දක්වා මේ මහණකම
ආරක්ෂා කර ගෙන මහණකමින් අපේක්ෂා කරපු අරමුණ වන දුක්දොම්නස් ශෝකපරිදේව දුරලා නිවන්
පසක් කර ගැනීමේ මාර්ගයට එළඹෙන භික්ෂුව කොතරම් දමනය වන මනසක් ඇති කරගතයුතු ද යන්න මේ
සූත්‍රයෙන් පෙන්වා දෙනවා. ඒ නිසා භික්ෂුව මේ සමාජය තුළ ආරක්ෂා කර ගැනීම හරිම අමාරු
කටයුත්තක්.
ඒ අමාරු වැඩේ කරන්නට නම් ගිහි පැවිදි දෙපක්ෂය ම එක සිතින් එක් වෙන්ට ඕන. අනවශ්‍ය
ලෙස භික්ෂුව කොටු කරන්නට ගියොත් එතනින් ම භික්ෂුව සසුනෙන් ඉවත්වෙනවා. |