සිහි නුවණ තිබේ නම් රෝග උවදුරෙන් වැළකිය හැකියි
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
සමස්ත ලෝකයම රෝග හා මරණ යන බිය දෙකකින් වෙළී තිබේ. එහි බලපෑමට හසු නොවූ ලෝකයක්
කිසිදු රටක්, සමාජයක්, පුද්ගලයෙක් දක්නට නොලැබේ.
ලොව පාලකයන් මෙන්ම පාලිතයන් ද පුද්ගලික මට්ටමෙන් මෙන්ම ගෝලීය මට්ටමෙන් ද මෙම
උවදුරෙන් මිදීමට විවිධ පිළියම් සොයමින් වෙහෙසෙනු පෙනේ. එහෙතේ එය එතරම් පහසු
කටයුත්තක් නොවන බව දසතින් ලැබෙන විවිධ පුවත්වලින් අනාවරණය වේ. මෙවන් පසුබිමක ජීවිත
ආරක්‍ෂාව සලසා ගන්නේ කෙසේ ද? එසේම මනස ශක්තිමත්ව තබා ගන්නේ කෙසේ ද? සාධුගුණ රැක
ගන්නේ කෙසේද? යන්න බොහෝ දෙනෙකු ඉදිරියේ පවතින ප්‍රධානතම ගැටලු ය. මෙවැනි වසංගතවලින්
බේරී ඉහතින් දැක්වූ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන උපදෙස් රැසක් බුදුරදුන්ගේ අනුශ
ාසනාවෙහි අන්තර්ගත ව තිබේ.
බුදුරදුන් වදාළ නීරෝගීකම උතුම්ම ලාභයයි (ආරෝග්‍ය පරමාලාභා)” යන වචනයෙහි හරය හා අගය
බොහෝ දෙනකුට දැනෙන්නේ විවිධ ලෙඩ රෝගවලින් පීඩාවට පත්වන අවස්ථාවල දී ය. තමා
නීරෝගීයැයි නිතර සිතන පුද්ගලයෙකුට මෙහි වටිනාකම නොදැනෙනු ඇත.
එහෙත් ඔහු හෝ ඇය රෝගී වූ විටෙක එහි අගය සිහියට නැඟෙනු ඇත. නීරෝගීකම උතුම්ම ලාභය
යන්න හා බැඳී පවතින අනෙක් බුද්ධ වචනය නම් සතුට ය (සන්තුට්ඨි පරමං ධනං). සියල්ල
අත්පත්කර ගත්ත ද වසංගතය හමුවේ ලොව සියල්ලෝ ම අසතුටෙන් කාලය ගතකරති. මෙම විශේෂ වංසගත
හමුවේ නීරෝගීකම මෙන්ම සතුට මිනිස් ජීවිත වලින් පලාගොස් ඒ වෙනුවට රෝග බිය හා අසතුට
ඇසුරට වැටී තිබේ. මෙය එක් පුද්ගලයකුට පමණක් සීමා වූවක් නොවේ. එය වනාහි දුටු දුටු
තැන ඇසු ඇසූ තැන පවතින සත්‍යයි. මෙම උවදුරෙන් මිදෙන්නේ කෙසේද? වෛද්‍ය උපදෙස්
පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නොමැති බව නුවණැති කවරකුට වුව වැටහෙන සත්‍යයකි.
බුදුරදුන් පෙන්වා වදාළ පරිදි ලෙඩ රෝග ආදි උවදුරුවලින් පීඩිතව සිටින මෙම අවස්ථාවෙහි
යෝනිසෝ මනසිකාර හෙවත් නුවණින් මෙනෙහි කිරීම හා සිහිය හා නුවණ නිරන්තරයෙන් ම
ප්‍රගුණකළ යුතු ධර්මයකි. සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන පරිදි සතර ඉරියව්වේ ම සිහිය
පිහිටුවීම මේ උවදුරෙන් මිදීමට අනුගමනය කළ හැකි එක් මාර්ගයකි. සමාන්‍ය එදිනෙදා
ජිවිතයේ බොහෝ දෙනකු කටයුතු කරන්නේ පුරුද්දට අනුව ය. පුරුද්ද විසින් යම් යම් දෑ කරනු
මිස මානසික අවධානයකින් යුතුව කිසිවක් සිදු නොවන බව කවුරුත් පිළිගන්නා සත්‍යය යි.
මෙනිසා වෛරසය මිනිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
මේ මොහොතෙහි සිහිනුවණ ඇති අයකුට වෛරසයෙන් බොහෝ දුරට බේරී සිටිය හැකි ය. එළඹ සිටි
සිහිය හා නුවණ විසින් ඇති කෙරෙන සුරක්‍ෂිත බව තමාගේ ද අන්‍යයන්ගේ ද ආරක්ෂාව තහවුරු
කරයි.
අහේතුකව ගමන් බිමන් යාමෙන්
වැළකිය යුතුය යන්න තවත් වෛද්‍ය උපදේශයකි. ගිහි විනය යනුවෙන් හැඳීන්වෙන සිඟාලෝවාද
සූත්‍රයේ දැක්වෙන අවේලාවේ වීථි සංචාරයේ යෙදීමෙන්
වැළකීම ද වසංගතයෙන් තමාත් තම පවුලත් ආරක්‍ෂා කරගැනීමේ දි අනුගමනය කළ හැකි තවත්
බෞද්ධ උපදේශයකි. එහි දැක්වෙන පරිදි නොකල්හී ගමන් බිමන් යන පුද්ගලයකුට විඳීමට සිදුවන
උවදුරු පහකි. අවේලාවෙහි තැනින් තැන සංචාරයේ යෙදෙන පුද්ගලයාට තමන්ගේ ආරක්‍ෂාව අහිමි
වේ. නැතහොත් අනාරක්‍ෂිත අයකු බවට ත් වේ. මෙය පළමු වැනි උවදුරයි.
දෙවැනි උවදුර නම් තම පවුලේ ආරක්‍ෂාව අහිමිවීමයි. තමා සතු යම් ධනයක් වේ නම් එයද
විනාශයට පත්වීම තෙවැන්නයි. සැක කටයුතු අයකු බවට පත්වීම සිව්වැන්නයි. පස්වැන්නට අනුව
ඔහු විවිධ චෝදනා ලත් අයකු බවට පත්වෙයි. සයවැන්න හෙවත් අවසන් ආදීනවය නම් බොහෝ
දුක්වේදනාවන්ට ලක්වීමයි. පුද්ගල සදාචාරය අරමුණුකරගත් මෙම උපදේශය ඍජුවම වංසගත පාලනයට
ආදේශ කළ නොහැකි වුව ද මෙම අවස්ථාවෙහි එය අනුගමනය කිරීමෙන් වසංගතයෙන් වුවද වැළකිය
හැකි ය.
මෙම කරුණු හයෙන් පළමුවන, දෙවන හා සයවන ආදීනව ඍජුවම වසංගතය හා සම්බන්ධ කළ හැකි ය.
මෙම වසංගත සමයේ අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල නිරත වන්නකුට ස්වභාවයෙන්ම
ආත්මාරක්‍ෂාව මෙන්ම ස්වකීය පවුලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාවත් අහිමිවේ. එයට හේතුව තමා
සමග වෛරස් ද ගමන් ගන්නා බැවිනි.
කාය විවේකය යනුවෙන් හැඳීන්වෙන හුදකලා වාසය ද මෙම උවදුරු අවදියේ බහුලව පුහුණු කළ
යුතු පිළිවෙතකි. මනසින් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත පතුරුවමින් කයින් හැකිතාක්
දුරස්ථව වාසය කිරීම හුදකලා වාසයත් සමගම පුහුණු කළ යුතු මානසික අභ්‍යාසය යි. ආතතිය
පදනම් කරගත් ක්‍ෂණික කෝපය,කළකිරීම හා වෙනත් මානසික අසහනකාරී තත්වයන් වර්ධනය වීම
සාමාන්‍ය කරුණකි. මෙම පසුබිම යටතේ මනස සංසුන් කෙරෙන මානසික අභ්‍යාසවල නිරත වීම
බෙහෙවින්ම වැදගත් වේ. බුදුරදුන් විසින් නිර්දේශිත මානසික අභ්‍යාස රැසක් සමථ හා
විපස්සනා භාවනා ක්‍රම යටතේ හඳුන්වා දෙනු ලැබ තිබේ. කෝපය පාලනය කිරීම සඳහා මෙත් සිත
වැඩීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එයින් එක් අතකින් කෝපය නිසා ඇතිවෙන විවිධ මානසික
අවපීඩන තත්වයන් පාලනය කරගත හැකිවන අතර කායික නීරෝගීකම හා ප්‍රතිශක්තිය ද වර්ධනය
කරගත හැකි ය.
එසේම අප හා අවට වෙසෙන රෝගී හා නිරෝගී පුද්ගලයන්ට ද අප වෙනුවෙන් කැපවී සිටින
වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල කෙරෙහි ද එසේම විවිධ අයුරින් සත්කාර කරන
කවරකුට වුව අසීමාන්තිකව නීරෝගී සුවය පිණිස ඉවහල් වන මෙත්තා සහගත කුසල චිත්තවේගය
බාධාවකින් තොරව පැතිරවිය හැකි ය.
කායානුපස්සනාව පදනම් කරගත් විපස්සනාවෙහි නිරත වී තමාගේ මෙන්ම අන්‍යයන්ගේ රූප කාය
මූලික කරගත් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ විශේෂ දැක්මක් ඇතිකර ගැනීම ජීවිතය පිළිබඳ
යථාවබෝධය ලැබීමට හේතුවේ.
මේ වනාහි බුදුරදුන් වදාළ ජරා ව්‍යාධි මරණ මූලික කරගත් සමස්ත ජීව ලෝකයම මුහුණ දෙන
අනවරත සංසාර දුක්ඛයෙහි යථා ස්වභාවය නොවේ ද? මෙසේ කායිකව දුරස් ව වෙසෙමින් මානසිකව
සමීප වෙමින් මෙත් සිත පැතිරවීමත් තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ද ජීවිතයේ යතා ස්වභාවය
වටහා ගනිමින් සසර දුක දකිමින් නිවන අරමුණු කරගැනීම වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන
මානසික අවපීඩනය පාලනය කර ගැනීමට උපකාරී වේ.
ගිලානෝපස්ථානය බුද්ධෝපස්ථනයක් හා සමාන බව තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. ගිලනුන්ට
හා වැඩිහිටියන්ට සැලකීම සිංහල බෞද්ධයන්ගේ ජීවිතයේ ම කොටසකි. එහෙත් මේ උතුම් සත්ගුණය
වසංගතයත් සමග ඇතැම් පුද්ගලයන්ගේ සන්තානයෙන් ගිලිහී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.
රෝගී හා නීරෝගී වැඩිහිටියන් රැක බලා ගැනීම වෙනුවට ඔවුන් මහමඟ අතරමංකර යාම මෙම වංසගත
සමයේ අසන්නට ලැබීම බෙහෙවින් කනගාටු දායක කරුණකි.
වසංගතයත් සමඟම මිනිසුන්ගේ සාධු ගුණ ද අතුරුදහන් වෙමින් පවතින බවට මෙය කදිම
නිදසුනකි. වසංගතය හේතුවෙන් ජීවිතය ඉල්ලා සටන් කරන එමෙන්ම අවිනිශ්චිත හැඟුම්වලින් හද
පුරවාගත් අසරණ බවේ පතුලටම බැස සිටින මෙම අසරණ වැඩිහිටියන්ට දයාවෙන් පිහිට වීම යනු
බුදුරදුන්ට කරන මහත් උපස්ථානයක් බඳු ය. කරුණාව වඩන්නට ලෝකයට දයාව දක්වන්නට තිබෙන
මෙවැනි අවස්ථා අත් නොහැර ලොකු කුඩා තරුණ මහලු දුප්පත් පොහොසත් ඇති නැති භේද නොසලකා
සම මෙත් කරුණා ගුණය ලොවට දායද කළ යුතු සුදුසුම කාලය මෙයයි. ගිලන් ව මළ මූත්‍ර ගොඩක
වැතිරී සිටි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට තථගතයන් වහන්සේගේ කරුණාව ලැබුණ අයුරු
සිහිපත් කර එය තම ජීවිතයේ ද කොටසක් කර ගන්න.
මේ අනුව නීරෝගී බව උතුම් ලාභය සේ දැන දැක, තමන් හා අන්‍යයන් ද මේ උවදුරෙන් ආරක්ෂා
වී, සිහිය හා නුවණ දියුණු කර සතර ඉරියව්වෙහි සංවරව, මෙත් සිත හා විදසුන් සිත වඩමින්
ලොවට දයාව දක්වන, සසර දුක දකිමින් නිසි පිළිවෙත් අනුගමනය කරන්නකුට මෙම උවදුරින්
ගැලවිය හැකි ය. |