සියලු බුදුවරුන්ගේ අනුශාසනය
අමරපුර මහා නිකායේ
උත්තරීතර මහානායක
අග්ගමහා පණ්ඩිත
දොඩම්පහළ
චන්දසිරි මහ නාහිමි
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං
සියලු පව් නොකිරීම ද, කුසල් වැඩි දියුණු කිරීම ද, තමන්ගේ සිත පිරිසුදු කිරීම ද යන
මෙය සියලු බුදුවරුන්ගේ ශාසනය හෙවත් අනුශාසනයයි.
ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත් වන්නේ සියලු බුදු වරුන්ගේ ඕවාද
ප්‍රාතිමෝක්ෂයටයි. “ඛන්ති පරමං තපො තිතික්ඛා” ආදී ගාථාවත් “අනූපවාදො අනුපඝාතෝ ” ආදී
ගාථාවත් එම ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් ය.
‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ යනු සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ
මාර්ගය වශයෙන් දෙසා වදාරණ සංක්‍ෂිප්ත දේශනාවයි.
දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු නොවේ. ඒ නිසා
උන්වහන්සේලා බුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක් වශයෙන්
දෙසන්නේ, අනුශාසනාවක් වශයෙන් පනවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි.
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බඳු අල්පායුෂ්ක බුදු වරුන්ගේ ශාසනවල විනය පැනවීම
සිදුවෙයි. එහෙත් උන්වහන්සේලාත් විනය පනවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද
ප්‍රාතිමෝක්ෂයයි. උදානට්ඨ කථා උපෝසථ සූත්‍ර වර්ණාව තුළින් ඒ බව පෙනේ.
අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැනවීමක්
සිදු නොවීය. එම කාලය තුළ උන්වහන්සේ අඩමසකට වරක් පොහෝ දිනවල සංඝයා රැස්කොට මේ ඕවාද
ප්‍රාතිමෝක්ෂ දේශනාව පමණක් සිදු කළහ. එය බුදුවරුන් සංඝයා සමඟ පොහොය කිරීම ද වේ.
උදාන පාලියේ මෙන්ම අංගුත්තර අට්ඨක නිපාතයේ උපෝසථ සූත්‍රයේ සඳහන් වන පරිදි එක් පොහොය
කරන දිනක ප්‍රාතිමෝක්ෂ දේශනාවට රැස් වූ භික්ෂූන් අතර දුස්සීල භික්ෂුවක් සිටීම නිසා
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සදහටම අත්හිටුවා වදාළහ. එහිදී
උන්වහන්සේ වදාළේ “මහණෙනි අද පටන් කොට මම පොහොය නොකරමි. පාමොක් නොදෙසමි. තථාගතයන්
වහන්සේලා අපිරිසිදු පිරිස් මැද පොහොය නොකරන්නාහ, පාමොක් නොදෙසන්නාහ. යන මේ කාරණය
සිදුවිය නොහැක්කකි යනුවෙනි.
එතැන් පටන් සංඝයාට පොහොය කරන්නටත් ප්‍රාතිමෝක්ෂ දෙසන්නටත් අනුදැන වදාළහ. එසේ එහිදී
දෙසන්නට නියම කළේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂ නොව ආණාප්‍රාතිමෝක්ෂයයි. එනම් බුදුරදුන්
විසින් සංඝයාට පනවා වදාළ විනය ශික්‍ෂාපද සමූහයයි. ඒ අනුව එම ශික්‍ෂාපද සමූහය ද
‘ප්‍රාතිමෝක්ෂ’ නමින් හැඳීන්වෙයි.
එතැන් පටන් භික්ෂූන්ට අවවාද කරන අවස්ථාවල “මහණෙනි ඉතා කුඩා වරදෙහි පවා බිය දකිමින්
ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව වෙසෙන්නැයි” වදාළේ මේ විනය ප්‍රාතිමෝක්ෂය ගැනයි.එතැන්
පටන් සංඝයා වහන්සේ සෑම අඩමසකට වරක්ම පොහොය සීමාවට රැස්ව මේ විනය ප්‍රාතිමෝක්ෂය
දේශනා කරති. පොහොය කිරීම යනු එයයි. එයට බුදුවරු සහභාගී වන්නේ නැත.
මෙතෙක් කී කරුණු අනුව “ සබ්බ පාපස්ස අකරණං ” ආදී ගාථාව බුද්ධ ශාසනයක සමස්ත පණිවුඩය
සමස්ත අනුශාසනාව ගැබ් කොට ඉතා සංක්‍ෂිප්ත ව දේශනා කරනු ලබන සුවිශේෂි දේශනාවක් බව
පැහැදිලි වේ.
මෙය දේශනා කරන බොහෝ දෙනා මෙහි අන්තිම පදය “ ඒතං බුද්ධානු ශාසනං ” යනුවෙන් වරදවා
කියති. එහි නිවැරැදි පදය වන්නේ “ ඒතං බුද්ධාන ශාසනං ”යනුවෙනි. මෙහි විග්‍රහය මෙය
බුදුවරුන්ගේ ශාසනය යන්නයි. “ශාසනය” යනු ශික්‍ෂා මාර්ගයයි. ප්‍රතිපදාවයි. ධර්ම විනය
යනු ද එයයි. ‘ශාසන’ යන්නෙහි ‘පණිවුඩය’ යන අර්ථයක් ද ඇත.
ඒ අනුව ශික්‍ෂණය සඳහා දෙන අවවාදය, අනුශාසනාව නැතහොත් මඟ පෙන්වීම ද ශාසන නම් වෙයි.
“සබ්බ පාපස්ස අකරණං” නෙත්තිප්පකරණ පාලියේ සඳහන්වන පරිදි 'සබ්බ පාපයන්' ත්‍රිවිධ
දුශ්චරිතයයි.
එනම් කාය දුශ්චරිත , වචී දුශ්චරිත සහ මනො දුශ්චරිත යි. අකුසල මුල් ක්‍රියාත්මක වීමේ
දී පුද්ගලයා සතර අගතියට යයි. පත්නොවියයුතු තැනට පත්වේ. එයින් හෙතෙම පාපයන් සිදු
කරයි.
ඒ අගතීන් අතුරින් ඡන්දයෙන් අගතියට යාම, ලෝභය නිසා සිදුවේ.
දෝසාගතියට යාම ද්වේශය නිසා සිදු වේ.
භය මෝහයන්ගෙන් අගතියට යාම මෝහය නිසා සිදු වේ.
මේ මේ අකුසල මූලයන්ගෙන් අගතියට පත්ව පව් සිදු කරගැනීමේ ගමන වළකාලන ප්‍රතික්‍රියාවන්
ද බුදු දහමෙහි දක්වා තිබේ.
ඒ අනුව ලෝභය අසුභානුස්සතියෙන් හෙවත් රූපාදී ධර්මයන්ගේ අසුභය මෙනෙහි කිරීමෙන්
ප්‍රහානය වෙයි. ද්වේශය මෛත්‍රියෙන් ප්‍රහාණය වෙයි. මෝහය විදර්ශනා ප්‍රඥාවෙන්
ප්‍රහාණය වෙයි.
එසේම ලෝභය උපේක්‍ෂාවෙන් ද ප්‍රහාණය වේ. එනම් අරමුණ පිළිබඳව සුභ වශයෙන් මෙනෙහි නොකොට
මධ්‍යස්ථවීමෙන් ලෝභය සංසිඳේ. ධ්‍යාන මාර්ගයේදී කාමච්ඡන්ද නීවරණය උපේක්‍ෂා
ධ්‍යානාංගයෙන් සංසිඳෙන බව දැක්වෙන්නේ මේ අනුව ය. එහි කාමච්ඡන්ද යනු ද ලෝභයයි.
ද්වේශය මෛත්‍රී කරුණා දෙකෙන් ද, මෝහය මුදිතාවෙන් ද දුරුවෙන බව දැක්වේ. මුදිතාව යනු
ලෝකයාගේ දියුණුව සතුට දැක තමනුත් සතුටුවීමේ ගුණයයි. එය කළ හැක්කේ නුවණින් කල්පනා
කරන අයකුට පමණි. ඒ නුවණ නැති කල ඒවා තමන්ට නැතිවීම ගැන හීන මානයට හෝ අනුන්ට තිබීම
ගැන ඊර්ෂ්‍යාවට හෝ පත් වෙයි. මුදිතාවෙන් මෝහය දුරුවේ යැයි කීවේ එයයි. මෙසේ ලෝභ,
ද්වේශ හා මෝහයන් මැඩපැවැත්වූ තැනැත්තාගේ පාපයට නැඹුරුවීම වළකයි. “සබ්බ පාපස්ස
අකරණං” යනුවෙන් සියලු පව් නොකිරීම හෝ සියලු පවින් වැළකීම සිදු වන්නේ මේ ආකාරයෙනි.
“කුසලස්ස උපසම්පදා” මිත්‍යා අංග අට දුරුවන විට සම්‍යක් අංග අට සම්පූර්ණ වේ. ඒ අනුව
සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම,
සම්මාසති, සම්මා සමාධි යන සම්‍යක් අංග අට හෙවත් යහපත් මාර්ග අංග අට සම්පූර්ණ කිරීම
සම්පාදනය කිරීම අර්හත්වය සඳහා යන බෞද්ධ මාර්ගයේ දී “කුසලස්ස උපසම්පදා” යනුවෙන්
ගැනේ.
“සචිත්ත පරියොදපනං” යනු පෙර බුදුවරුන්ගේ පටන් පැවත එන මාර්ගය වැඩීමයි. “පරියොදපන”
යනු පිරිසිදු කිරීමයි. ඒ අනුව තමාගේ සිත පිරිසිදු කිරීමේ ක්‍රම දෙකකි. පළමුවැන්න
සමථ විදර්ශනා මාර්ගයෙන් නීවරණ විශ්කම්භන වශයෙන් ප්‍රහානය කොට සිත පිරිසිදු කිරීමයි.
දෙවැන්න ආර්ය මාර්ගය වැඩීමෙන් අනුශය ධර්ම සහමුලින්ම උදුරා දැමීමයි.
සිත පිරිසිදුකරන ආර්ය මාර්ගයේ පින්වත් ඔබත් ගමන්කොට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ
කරගෙන උතම් නිවනින් සැනසෙත්වා. |