ඇසළ අව අටවක 2021.07.31
සතුට ලබන නිවැරැදි මඟ
“හැමදේම කරන්නේ ජීවත් වන්නටයි’ යනු පොදු ව්‍යවහාරයේ සුලබ කියමනකි. එහි දී බොහෝ
දෙනෙක් අපේක්ෂා කරන්නේ දුකක් කරදරයක් නැතිව, අගහිඟයක් නැතිව සතුටින්, සැපෙන්
ජීවත්වීමට ය. එහි වරදක් දැකිය නොහැකි ය. එහෙත් සැප සොයා යන, සතුට සොයා යන ගමනේ බොහෝ
දෙනකුට වරදින තැනක් ඇත. ඒ සැප යැයි හඳුනා ගන්නා දේ තුළය. එනම්, ධන, ධාන්‍ය, ගේ දොර,
යාන වාහන, ඉඩකඩම්, නිලය, බලය ආදී භෞතිකමය වස්තූන් හි සැප සතුට ඇතැයි සිතීම ය. එහෙත්
සතුට රැඳී ඇත්තේ මෙසේ ගොඩ ගසා ගන්නා සම්පත් තුළ යැයි සිතන තාක් අප වෙතින් ගිලිහී
යන්නේ ද සතුට ම ය.
ඒ රැස්කර ගැනීමෙහි අසීමාන්තික බව නිසාය. තෘෂ්ණාධික බව නිසා ය. ගිහි ජීවිතය සතුටින්
ගෙවන්නට ධනය ඇවැසි ය. එහෙත් ඉවක් බවක් නොමැතිව, යහපත අයහපත නොසලකා ධනය පසු පසම හඹා
යනවා නම් ඒ වේගයෙන් ම දුක ද අප පසු පස හඹා එන්නේ ය. නිවැරැදි සතුට නම් උපයා ගන්නා
ධනය කළමනාකරණය කර ගනිමින් ආධ්‍යාත්මික ව ලබාන්නා වූ සතුට ය.
ලෝබය, ද්වේෂය, මෝහය ආදී අකුසල මූලයන්ගෙන් මෙහෙයවන සිතිවිලි පාලනය කරමින් අලෝබය,
අද්වේෂය, අමෝහය ආදී කුසලමය සිතිවිලි ඇති කර ගනිමින් ලබන්නා වූ සතුට ය.
මනා කොට උගත් ශිල්පය සොර සතුරකුට හෝ, අන් කවරකුට හෝ සොරගත නොහැකි සේ පිරිසුදු
සිතකින් ආධ්‍යාත්මික ව ලබන්නා වූ සතුට කිසිවෙකුටත් සොරාගත නොහැකි ය. සැප සදමින්,
සතුට සැහැල්ලුව දනවමින් ඒ සුවය සෙවණැල්ලක් සේ අප පසුපස ම එන්නේ ය.
ආධ්‍යාත්මික සුවය ලබන ප්‍රධානතම මාර්ගයක් වන්නේ පින් කිරීම ය. බුදුරජාණන් වහන්සේ
ධම්ම පදයේදී දේශනා කොට වදාළේ පින් කරන පුද්ගලයා නිතර පින් කළ යුතු බව ය. පින් රැස්
කිරීම සතුටට හේතුවන බව ය.
මේ උදා වී තිබෙන්නේ පින් රැස් කිරීමට ඇති හොඳම කාලයයි. උතුම් වස්සාන කාලයේ සම්බුදු
සසුනේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කරමින් මේ ජීවිතයටත්, පරලොව ජීවිතයටත් අවශ්‍ය
ධර්මාවවාද ලැබ දස පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමින් ආධ්‍යාත්මික දියුණුව ඇති කර
ගන්නට බෞද්ධයාට අන් කවර කාලයකටත් වඩා මෙකල වටිනා අවකාශයක් උදාවේ.
දන්දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය
යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම හා සමදිටු බව දැඩි කිරීම දස පුණ්‍ය
ක්‍රියාවන් ය. දස පින් ක්‍රියාවත් යනු ද මේ ගුණ ධර්මයන් ම ය. මේ පින් ක්‍රියා
ජීවිතයට සමීප කර ගන්නා තරමට අසහනය දුරු වී යයි. සහනය ම ළඟා වෙයි.
දැඩි ආශාව, තණ්හාව සිතට බරකි. නිතර අපිරිසුදු සිතිවිලි ඇති කරයි. එය දුරු කරගන්නට
නම් පළමුව පුරුදු කළ යුතු දන්දීමයි. දානයෙන් සිදුවන්නේ අත් හැරීමයි. ලෝබය
දුරුවීමයි.
සිල් රැකීමෙන් කය සහ වචනය සංවර වේ. භාවනා වැඩීමෙන් සිත සංවර වේ. පින් දීම ද මහා
පිනකි. නිතර පින්කම්හි නිරතව ඒ පින් අනුමෝදන් කළ යුතු ය. එයින් තමන් කරගත් පින
වැඩිවනවා මිස අඩු නොවේ. තමන් කළ පින් අන් අයට අනුමෝදන් කිරීමෙහි පරමාර්ථය තමන් කරන
යහපත් දෙයට ඔවුන් ද සම්බන්ධ කර ගැනීම ය. අන්‍යයන් කරන යහපත් කාර්යයන්ට තමන් ද
සම්බන්ධ වීම පින් අනුමෝදන් වීමයි.
විහාර පිරිසුදු කිරීම, මල් නෙළීම, පරමල් ඉවත් කිරීම, විහාර මලු ඇමදීම ආදිය පින්
වැඩෙන වතාවත් ය.
මේ ආදී වශයෙන් දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් සිදු වන්නේ සිත පිරිසුදු වීමය. ආධ්‍යාත්මික
සංවර්ධනය ම ය.
කුසල් රැස් කිරීම ම යහපතට හේතු වේ. ඒ යහපත් දේ නිතර සිහි කිරීමෙන් සිත සැනසීමටත්,
ප්‍රබෝධයටත් පත් වේ. එසේ ලබන්නා වූ සතුට මිල කළ නොහැකි ය. දෙලොවට ම වැඩදායක ය. |