කඳ සුරිඳුන්ගේ මුල් වාසභූමිය වූ
දොඩන්දූවේ කුමාර මහා විහාරය
දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙහි වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනක වූ අලුත්ගම සීලක්ඛන්ධ
කල්‍යාණිවංශ නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ ස්වකීය පොත්පත් කුමාරකන්දේ වැඩ සිටි
තම උපස්ථායක තැන්නේකුඹුරේ සෝණුත්තර හිමියන් වෙත පිරිනමන ලදින් ගැල් දොළහක පැට වූ
පැරැණි පොත් පත් ශෛලබිම්බාරාමයේ සිට කුමාරකන්දට රැගෙන එන ලදි.
කුමාරසම්භව ග්‍රන්ථය ඇතුළු මූලාශ්‍රයන්ට අනුව කතරගමට වැඩමවීමට පෙර ස්කන්ධ කුමාර
දෙවිඳුන් වැඩසිටි නිසා කුමාරකන්ද නමින් හැඳීන්වූ කඳු මුදුනෙහි තනවන ලද කුමාර
මහාවිහාරය ගාලු කෝරළයේ වැල්ලබඩ පත්තුවේ ඉපැරැණි දොඩන්දූව වරායට නුදුරින් කොළඹ ගාල්ල
මහා මාර්ගය පේන මානයේ ගොඩබිම දෙසින් පිහිටා ඇත.
ධීවර කර්මාන්තය හා රුවල් ඔරු ආශ්‍රිත නාවික කටයුතුවලට යොමු වූ ජනතාව වාසය කළ,
කෝට්ටේ යුගයේ උඩුගල්පිටිය වරාය ලෙස හඳුන්වා ඇති මෙම ප්‍රදේශය වාරකන් කාලයේදී කලපුවේ
හා ඔයේ පිහිටීම සමඟ අර්ධ දූපතක් බවට පත්වීම නිසා දොඩන්දූව නම් ලදැයි සම්මතයයි.
දොඩන්දූවේ පැවති මෙම රුවල් නැව් තාක්ෂණයෙන් ශේෂ වූ අවසාන රුවල් නැව මින් සියවසකටත්
එහා අතීතයේදී හම්බන්තොටින් ලුණු පටවාගෙන මහ සයුරේ යාත්‍රා කරද්දී කුණාටුවකට හසු වී
මාලදිවයින කරා ගසාගෙන ගොස් විනාශයට පත් වූ පුවතක් ජනප්‍රවාදයේ සඳහන් ය.
කුමාරසම්භව සංස්කෘත කාව්‍යයට අනුව ඉන්ද්‍ර දිව්‍යරාජයා යුද්ධයට අධිපති කඳ සුරිඳුන්
වෙත පැමිණ ලංකාපුරයේ අධිපති තාරක අසුරේන්ද්‍රයන් පරදවන ලෙස දැන්වූ කල සිවුරඟ සේනා
පිරිවරා ලක්දිවට පැමිණ රජ්ගමට නුදුරු කුමාරකන්දෙහි කඳවුරු බැඳගෙන සත් අවුරුද්දක්
දරුණු යුද්ධයක් සිදු කොට ජය ලැබීය. කුමාරකන්දෙහි බලකොටුව පිහිටවූ තැන මඤ්ජු රජු
විසින් කාශ්‍යප බුදුරදුනට ආරාමයක් කරවන ලදින් පසුකලෙක ජුතින්ධර නම් පසේ බුදුන්
වහන්සේ එහි වැඩ විසූ බව කියැවේ.
කුමාර මහාවිහාරයේ ආරම්භය 1765 වර්ෂයේදී සිදු වී යැයි සැලකෙයි. වඩුමෙස්ත්‍රිගෙයි
සීලධර සාමණේර සිල්වතුන් විසින් විහාර කර්මාන්ත ආරම්භ කොට තිබුණු මෙහි එම විහාර
කර්මාන්ත විධිමත් කරවන ලද්දේ තොටගමු රන්පත් රජමහා විහාරයෙන් පැමිණි තෙලිකඩ සෝණුත්තර
මාහිමිපාණන් වහන්සේ විසිනි. සෝණුත්තර හිමියන් බුරුමරට කල්‍යාණි සීමාවේදී උපසම්පදාව
ලබා ලක්දිව අමරපුර කල්‍යාණිවංශ මහා නිකාය පිහිටුවා වදාළ කතලුවේ ගුණරතනතිස්ස
මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යභාවයට පත් වී ඇත.
විහාර බිම එළි පෙහෙළි කිරීමේදී ඵල දෙකක් පමණක් පිහිටි කුඩා අඹ ගසක් පිහිටි තැන වර්ෂ
1781 දී තනවන ලද වෙහෙර වහන්සේ අවස්ථා දෙකකදී විශාල කොට තිබේ. පෞරාණික බෝධීන්
වහන්සේගේ ශාඛා තවමත් පොදුජන වන්දනාවට පත්වන අතර නව බෝධීන් වහන්සේ නමක් 2010 වසරේදී
රෝපණය කරවන ලදි. ලන්දේසි යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණයන්ගෙන් සමන්විත කුටි තුනකින්
සමන්විත මනරම් විහාර මන්දිරය විහාරස්ථානය වරින් වර නවීකරණය කිරීම් කරවා විචිත්‍රවත්
කොට ඇති අතර 1853 වසරේ තනවා ඇති දෙමහල් ධර්ම ශාලාව ද සුවිශේෂී නිර්මාණයකි.
තෙලිකඩ සෝණුත්තර හිමියන්ගෙන් පසු තෙවසරක් දොඩන්දූවේ ජෝතිරතන හිමියන්
විහාරාධිපතීත්වය හෙබවූ පසු හික්කඩුවේ රතනපාල හිමියන් විහාරාධිපතිත්වයට පත් වූහ.
හික්කඩුවේ රතනපාල හිමියන්ගේ මූලිකත්වයෙන් 1869 වර්ෂයේදී කුමාර විද්‍යාලය නමින්
පිරුවනක් ආරම්භ කරවා ඇති අතර එය අක්‍රීය වීමෙන් පසු 1949 වර්ෂයේදී රාජගිරි පිරුවන
ලෙසින් ද නැවත අක්‍රිය වීමෙන් පසු 1983 දී සීලක්ඛන්ධ පිරුවන වශයෙන් ද ආරම්භ කර
පවත්වා ගෙන එනු ලබයි.
වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ පැවිදිබිමට පත් වන්නේ ද කුමාර
මහා විහාරස්ථානයේදී ය. මසක් පුරා විහාරස්ථානයේ ත්‍රිපිටක පොත් පිටපත් කිරීමේ
පින්කම් මාලාවක අවසාන දිනයේ ධර්මදේශනා පින්කමක දායකත්වය භාර ගත් පුස්කොළ පොත්
පිටපත් කිරීමේ නිරත වූ තරුණයන් අතර සිටි ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් නම් තරුණයා
නියමිත දිනයේ සන්ධ්‍යාවේ හික්කඩුවේ රතනපාල හිමියන් සෙවණේ මොහොට්ටිවත්තේ ගුණානන්ද
නමින් පැවිදි බව ලබා තුන්යම් රාත්‍රී මුළුල්ලේ ධර්ම දේශනාවක් පැවැත් වූ බව සඳහන්
වෙයි.
කොස්වත්තේ අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේගෙන් පසු තැන්නේකුඹුරේ සෝණුත්තර මාහිමිපාණන්
වහන්සේ විහාරාධිපති ධුරය හෙබවූහ. කුමාර මහාවිහාරය ශාස්ත්‍රාභිලාෂීන්ගේ තෝතැන්නක්
වන්නේ විහාරස්ථ ශ්‍රී ශීලක්ඛන්ධ පුස්තකාලය නිසාවෙනි. දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙහි
වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනක වූ අලුත්ගම සීලක්ඛන්ධ කල්‍යාණිවංශ නිකායේ මහානායක
හිමිපාණන් වහන්සේ ස්වකීය පොත්පත් කුමාරකන්දේ වැඩ සිටි තම උපස්ථායක තැන්නේකුඹුරේ
සෝණුත්තර හිමියන් වෙත පිරිනමන ලදින් ගැල් දොළහක පැට වූ පැරණි පොත් පත්
ශෛලබිම්බාරාමයේ සිට කුමාරකන්දට රැගෙන එන ලදි. හික්කඩුවේ සුමංගල නාහිමි, රත්මලානේ
ධර්මාරාම නාහිමි, බුලත්ගම ධම්මාලංකාර නාහිමි, වස්කඩුවේ සුභූති නාහිමි, රන්දොඹේ
ධම්මාලංකාර නාහිමි, බෝපාගොඩ සිරිසුමන මහානාහිමි, යාත්‍රාමුල්ලේ ධම්මාරාම නාහිමි,
අඹගහවත්තේ ඉන්දාසභ වරඤාණසාමි මහානාහිමි, සෙන්පති ඕල්කට්තුමා, අනගාරික ධර්මපාලතුමා,
වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා වැනි සම්භාවනීය පුද්ගලයන් රාශියක් සීලක්ඛන්ධ
මාහිමියන් වෙත එවූ ලිපිවල අත් පිටපත් මෙහි තැන්පත් කොට තිබේ. දන්තධාතු වංශය, ලලාට
ධාතුවංශය යන කෘතීන් තැන්නේකුඹුරේ සෝණුත්තර මාහිමියන් රචිත ග්‍රන්ථ වෙයි.
දොඩන්දූවේ ධම්මාරාම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පසු සුවිශේෂී පඬිවරයෙකු වූ
දොඩන්දූවේ ධම්මසේන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කුමාර මහා වෙහෙරපති පදවිය දැරූහ.
අඳුරු යුගයකින් පසු ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක ගන්තලාවේ ගුණානන්ද නාහිමිපාණන්
වහන්සේ විහාරාධිපති පදවියට පත්ව මහත් මෙහෙවරක් සිදු කරති.
ශ්‍රී ශීලක්ඛන්ධ පුස්තකාලය විමර්ශිත පුස්තකාලයක් ලෙස සංවර්ධනය කිරීම ඇතුළු සෑම
කටයුත්තක් සඳහාම අමරපුර කල්‍යාණිවංශ මහානිකායේ වැඩබලන ලේඛකාධිකාරී, විද්‍යානිධි,
පණ්ඩිත අම්බලන්ගොඩ සුමේධානන්ද නාහිමිපාණන් වහන්සේ සමුපකාරීව ක්‍රියා කරති.
රටෙහි බොහෝ ප්‍රදේශවලට අනන්‍ය වූ කෘෂිකර්මාන්තය පදනම් කොටගත් අර්ථ ක්‍රමයක් වෙනුවට
නාවික කටයුතුවල නියැළුණු අර්ථක්‍රමයක් සහිත දායක පිරිසක් සහිත, සුප්‍රකට දොඩන්දූව
ගුරුකුලය ඔස්සේ ශික්ෂණය ලද පඬිවරුනගේ පහස ලද දොඩන්දූවේ කුමාර මහාවිහාරය ලක්දිව
විහාරස්ථාන අතර සුවිශේෂී මංසලකුණු විදහාපාන විහාරස්ථානයකි.
දිමුතු පුන්සර කොළඹගේ |