කවරයේ කතාව
මිසදිටු බමුණෙක් අචිරවතී ගඟ අද්දර කුඹුරක් සකස් කළා. පිඬු පිණිස වඩිනා බුදුරජාණන්
වහන්සේ, යම් දිනක මේ බමුණාගේ මේ ගොයම් නැසෙන බව ද, එයින් බමුණා ශෝකයට පත්වන බව ද,
අනතුරුව බණ අසා සෝවාන් වන බව ද නුවණින් දුටු සේක.
මිසදිටුවකු වූ මේ බමුණා ගේ සිත ක්‍රමයෙන් මෘදු කරනු පිණිස බමුණා බිම් නඟන කෙතට
බුදුරජාණන් වහන්සේ වැඩි සේක. බමුණා බුදුරජාණන් වහන්සේ දැක තුෂ්ණිම්භූත විය.
බුදුරජාණන් වහන්සේ ඔහු අමතා බ්‍රාහ්මණය, කුමක් කෙරෙහි දැ?යි ඇසූ සේක. එවිට පින්වත්
ගෞතමය කෙතක් ඉදි කරමියි කීය.
වපුරන නෙළන කාලයන්හි ද ගොයම් රක්නා කල්හි ද බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට කුමක්
කරන්නේ දැ?යි අසන සේක. බමුණා ද තමා කරන කටයුත්ත මේ මේ යැයි පවසයි. යළි යළි වැඩමවා
තොරතුරු විමසති. එසේ විමසන බුදුරජාණන් වහන්සේට දිනක් පින්වත් ගෞතමයිනි, බිම් ඉදි
කරන කාලයේ සිට ඔබ වහන්සේ මෙහි යළි යළි වැඩමකොට පිළිසඳර කතා කරති. එබැවින් මේ කුඹුර
පැසුණු විට ඔබ වහන්සේටත් කොටසක් පූජා කරමි. ඔබ වහන්සේට නොදී නො කමි. ඔබ වහන්සේ
මෙතැන් පටන් මගේ යහළුවකු යැයි බමුණා පැවසී ය.
කල් යෑමේ දී ගොයම් පැසුණේ ය. හෙට ගොයම් කපන්නෙමි“යි සිතා සැරැසී සිටි නමුත් රෑ මහ
වැසි වැස ගොයම් සියල්ල වැහි වතුරේ ඉදිරී ගසා ගෙන ගියේ ය. කුඹුර හිස් විය. පසුදා මෙය
දුටු බමුණාට බලවත් ශෝකයක් ඇති විය. “මම කුඹුර ඉදි කිරීමේ සිට ගෞතමයන් වහන්සේ මෙහි
වැඩි සේක. ගොයම් පැසුණ කල බුදුරජාණන් වහන්සේට කොටසක් පූජා කරන බව ද පැවසීය. අහෝ ඒ
මා තුළ වූ බලාපොරොත්තු සියල්ල සුන් වී ගියා යැයි සිතමින් කෑම ද නොකා තැවි තැවී යහන්
ගැබෙහි සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ බමුණාගේ ගෙදරට වැඩි සේක. ඒ බව දැන ගත් බමුණා උන් වහන්සේ කැඳවා
වාඩිවෙන්න සලස්වන්නැයි පිරිවර ජනයාට අණ කළේ ය. බුදුරජාණන් වහන්සේ ද වැඩහිඳ බමුණා
කැඳවා ‘කිමෙක් ද බ්‍රාහ්මණ යැ යි වදාළ සේක‘.
ඒ අවස්ථාවේ දී, කෙත ඉදිකිරීමේ සිට සියලු පුවත් පැවසුවා. ගොයම පැසුණි නම් මම ඔබ
වහන්සේට කොටසක් පූජා කරමියි කීය. එය ඉටු කළ හැකි නොවෙමි.ගොයම නැසුණාටත් වඩා මා ඒ
ගැන මහත් වූ ශෝකයට පත් ව හිඳීමි යි කී ය.
බමුණ, ශෝකයට හේතුව දන්නෙහිදැ‘යි බුදුරජාණන් වහන්සේ අසා වදාළ සේක. නො දනිමි, ඔබ
වහන්සේ දනිත් දැ‘යි බමුණා විමසීය. එසේ ය, මම දනිමි යි වදාරා බ්‍රාහ්මණය, ශෝකය හෝ භය
හෝ කුමක් වූවත් ඒ සියලු දුක තෘෂ්ණාව හේතුවෙන් උපදින්නාහ. යැ‘යි වදාරා දම් දෙසා
බමුණා සැනැසූ සේක. බුදුරජාණන් වහන්සේගේ දේශනාවසානයේ දී බමුණා සෝවාන් ඵල ලැබීය.
- දීපා |