පිරිස් බලය ලබන්න නම්
දන් දෙන්නේ මෙහෙමයි
ලොව උපන් හැම සත්වයකු ම දුක සහ සැප අඩු වැඩි වශයෙන් ලබයි. ඇතැම්හු අධික දුකත්, තවත්
අයෙක් අධික සැපත් මරණය දක්වා ම හිමි කර ගනිති. කෙනෙක් සැප නො ලැබුවත් පරිවාර සම්පත්
සහිත වෙති. කෙනෙක් පරිවාර සම්පත් නො ලැබුවත් අධික සැප සම්පත් ලබති. කෙනෙක් පරිවාර
සම්පත් සමඟ භෝග සම්පත් ද ලබති.
අයෙක් නායකත්වය හෝ සැප සම්පත් හෝ වෙනත් ඕනෑම භෞතික සම්පත්තියක් ලැබුවත් කිසිවකුත්
තමාට සහාය දැක්වීමට ඉදිරිපත් නො වෙති. හුදකලාව ජීවත් වෙති. එහෙත් සමාජයේ ඇතැම්
පුද්ගලයින් භෞතික සම්පත්වලින් දුප්පත් ය. පරිවාර සම්පත් හෙවත් සේනා සම්පත්තියෙන්
පොහොසත් ය. අයෙක් පිරිස් බලයෙන් සහ භෞතික බලයෙන් ශක්තිමත් ය.
මරණය දක්වා කිසිදු දුකක් නොමැති ව සැප සේ ජීවත් වෙති. සමාජයේ විවිධ ස්ථරවල සිට දුක
සහ සැප විඳින පුද්ගලයින් නිතර දක්නට ලැබෙයි. තමා කළ පෙර පින් ඇති බව සහ නැති බව ම
එයින් පෙනෙයි. කෙනෙකුගේ සේනාසම්පත්තිය හෝ භෞතික සම්පත් හෝ දැක ඔවුන්ට ඊර්ෂ්‍යා
කිරීමෙන් හෝ ක්‍රෝධ කිරීමෙන් හෝ සොරකම් කිරීමෙන් හෝ ඒවා විනාශ කිරීමට සිතීමෙන් හෝ
එසේ කිරීමෙන් ඵලක් නැත.
කොපමණ අහිමි වුවත් පෙර කළ පින් ඇති බැවින් ඒවා විපාක දෙන්නේ ය. එබැවින් කුමන දුකක්
හෝ සැපක් හෝ වින්දත් සසර සුගතිය වෙනුවෙන් හැකි අයුරින් පින් කර ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ මේ පිළිබද කරුණු පැහැදිලි කරමින් එක් උපාසකයකු අරබයා ධර්ම
දේශනාවක් පැවැත්වූහ. එම ධර්ම දේශනාව මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් පිණ්ඩපාත චාරිකාවේ යෙදෙමින් ආහාර
සපයා ගත්හ. තම ශ්‍රාවකයන් වහන්සේලාට ද උතුම් ගුණය පුරුදු කළහ.
සැවැත් නුවර වැසියෝ බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක සංඝයා වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ
යෙදෙන බැවින් සැම දිනකම පිණ්ඩපාතය පිළිගැන්වීමට පුරුදු වී සිටියහ. දිනක්
බුදුරජාණන් වහන්සේ එක් උපාසකයකුගේ නිවසකට වැඩම කර දන් පිළිගත්හ.
අනතුරුව උපාසකයා අමතා ‘‘පින්වත් උපාසකය, අද මේ ධර්මය ඔබට දේශනා කරමි. මෙ ලොව දන්
දෙන යම් කෙනෙක් වේ ද? ඔහු තමා සතු සම්පත් පමණක් වැය කරමින්, සෙසු අය සම්බන්ධ කර
ගැනීමකින් තොරව දන් දෙන්නේ ද? ඔහුට සසරෙහි දී භෝග සම්පත් පමණක් ලැබෙයි. එහෙත් යමෙක්
තමාගේ පින්කමට අන් අයත් සම්මාදම් කරවාගෙන දන් දෙයිද? ඔහුට භෝග සම්පත් සහ සේනා
සම්පත් දෙක ම හිමි වන්නේ යැයි දේශනා කළහ.
මෙය අසා සිටි නුවණැති එක් පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ දන් පිළිගෙන නිවසින් බැහැරව
වඩිනු දැක වහා පසුපසින් දිව ගියේ ය. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිට වන්දනා කර
‘‘ස්වාමිනි, හෙට දින මාගේ නිවසට දනට වඩිනු මැනවි” යි ආරාධනා කළේ ය.
බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ආරාධනාව පිළිගෙන කොපමණ භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක්
වැඩම කළ යුතු ද? යි විමසූහ. එවිට උපාසක පවසන්නේ ‘‘ස්වාමිනි, ආරාමයේ වැඩ සිටින සියලු
ම භික්ෂූන් වහන්සේලා වැඩම කරවා දෙන්නැ' යි ආරාධනා කළහ. ඉන් පසු බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් සමඟ ආරාමයට වැඩියහ. උපාසක තෙමේ වහා අවශ්‍ය කටයුතු සූදානම් කළේ ය.
තම නිවසේ ආසන පැනවීම්, සැරසිලි කිරීම් ආදිය පිරිසකට පැවරී ය. තවත් පිරිසක් අමතා
ගමෙහි විවිධ මාර්ග ඔස්සේ යවමින් සෙසු අයගේ උදව් ලබා ගැනීමට යොමු කරවීය. උපාසක තෙමේ
තවත් කිහිප දෙනෙකු සමග නගරයේ කඩ වීථියේ මුදලාලිලාගෙන් මුදල්, හාල්, පොල්, කිරි සහ
පැණි ආදිය එකතු කරමින් ගියේ ය.
ක්‍රමයෙන් වීථියේ සැරිසරන විට එම පුවත වහා නගරය පුරා පැතිර ගියේ ය. විවිධ අදහස්
ඔවුන්ගෙන් පිටවන්නට විය. ඇතැමෙක් ගුණ කිවූහ. අයෙක් විවේචනය කළහ. විශාල කඩහිමියෙක්
සේවකයින් අමතා ‘‘තමන්ට හැකි ප්‍රමාණයකට ආරාධනා නො කර ගම පුරා සම්මාදම් කරමින් දැන්
ඇවිදින්නේ ය., කරන්න පුළුවන් දේ සහ බැරි දේ තේරුම් ගන්නේ නැතිව මේ මෝඩ මිනිහා වැඩ
කරන්නේ, වැඩියෙන් බඩු උපයාගෙන ලාබ ලබන්නට තමයි ඔහොම කරන්නේ. අපි දන්නේ නැද්ද ඔය
මනුෂ්‍යයාගේ හැටි...”
යනාදි වශයෙන් දොස් කියමින් සිටින විට උපාසකයා එම කඩයට පැමිණ ‘‘මුදලාලි අපි හෙට
විශාල පින්කමක් කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ උදෙසා. ඔබතුමාට
පුළුවන් උදව්වක් කරන්න යි පැවසී ය.
මුදලාලිත් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නො හැකි ව තම දකුණු අතේ ඇඟිලිතුඩු
තුනින් හසුවන ප්‍රමාණයට ගෙන මුං, මෑ, තල, සහල් ආදිය ඔහුට දුන්නේ ය.
උපාසක තෙමේත් ඒ සියල්ල වෙනම මල්ලකට දැමී ය. ඉදිකටු තුඩක් පමණ සිහින් සිදුරක් හදා
පැණි බෝතලයෙන් සහ තෙල් බෝතලයෙන් පැණි සහ තෙල් ගැනීමට පටන් ගත්තේ ය. එයින් බින්දුවක්
වැටීමට බොහෝ වේලාවක් ගත වෙයි.
උපාසකයාට සහ පැමිණි පිරිසට තවත් වැඩ බොහෝ ඇති බැවින් එහි වැඩි වේලා ගත කිරීමට නො
හැකි විය. එබැවින් වැටුණු පැණි සහ තෙල් බිඳු කිහිපය වෙනත් භාජනයකට ගෙන යන්නට ගියේ
ය.
උපාසක තෙමේ මා දුන් මුං, මෑ ආදි ධාන්‍යයත්, පැණි සහ තෙල් ආදියත් වෙනම ගත්තේ ය. පොදු
මල්ලට දා නො ගත්තේ ය. කුමක් නිසා මේ මිනිහා එසේ කළේ දැයි දැන ගැනීමට සේවකයකු ඔහු
පසු පස යැවී ය.
උපාසක තෙමේ ආහාර පිසීමට පටන් ගත් කල්හි මුදලාලි දුන් ධාන්‍යවලින් ඇට දෙක බැගින් සහ
තෙල් සහ පැණිවලින් බිංදු දෙක බැගින් එකතු කර ‘‘මුදලාලිට යහපතක් වේවා”යි ප්‍රාර්ථනා
කළේ ය.
සේවකයා එය වහා දැන්වීය. අද පින්කමට එන පිරිස මැද මාගේ නම කියමින් මට නිගා කළහොත්
මොහුගේ ගෙල සිඳ දමමි යැයි තීරණය කර කිනිස්සක් ඉනෙහි සඟවාගෙන පින්කම වන ස්ථානයට ගියේ
ය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට දන් පිළිගන්වා අවසානයේ දී උපාසක තෙමේ
බුදුරජාණන් වහන්සේ අමතා ‘‘ස්වාමිනි, මම හැම කෙනෙකුගෙන් ම දානෝපකරණ ලබාගෙන මේ දානය
දුන්නෙමි., හැම කෙනෙක්ම තමන්ගේ වත් පොහොසත්කම් අනුව දානෝපකරණ ලබා දුන්නා. ඒ හැම
දෙනාටම මෙ පිනෙන් වැඩක්ම වේවා. මෙහි අනුසස් හැමදෙනාටම ලැබේවා, යි කීය.
බුදුරජාණන් වහන්සේ එය අනුමත කරමින් ප්‍රශංසා කළහ. මේ සියල්ල බලා සිටි මුදලාලි
‘‘අසවලා ඇඟිලිතුඩු තුනට අසුවන ප්‍රමාණයෙන් මට දානෝපකරණ දුන්නේ ය. යි, මාගේ නම නො
කියා මට වෙනසක් නො කළේ ය. සම සේ විපාක ලැබෙන ලෙසට පින් දුන්නේ ය. නැලිවලින්
දුන්නත්, ඇඟිලිතුඩුවලින් දුන්නත් එහි විපාකවල වෙනසක් නැත. ඒ බැවින් මෙබදු අදහස් ඇති
පුද්ගලයකු මරා දැමීමට මා සිතූ සිතුවිල්ල ද විපාක ගෙන දෙන්නේ ය. වහා ඔහු කමා කරවා ගත
යුතු යි සිතා උපාසකයා වෙත එළැඹ
‘‘උපාසකය, මට කමා කරන්න,යි කීය. උපාසක තෙමේ කිසිත් නො දැන අදහා ගත නො හැකි ව
‘‘මුදලාලි මම කුමකට ද ඔබට සමාව දෙන්නේ. ඔබ කවර වරදෙක් කළාට ද?යි විමසී ය. මුදලාලි
සියලු පුවත් දැන්වී ය. ඔවුන් දෙදෙනාගේ කතාව දුටු බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිටි
පිරිසගෙන් පුවත අසා දැනගෙන දෙදෙනාම සමීපයට කැඳවා ‘‘උපාසකයෙනි, පින ටිකක් යැයි නො
සිතන්න., පිනට අවමන් නො කරන්න., බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ටිකක් දන්
දුන්නත්, බොහෝ දුන්නත්, එහි විපාකවල අඩුවක් නො වන්නේ ය.,
දිය හිස් කළයකට ජලය බිඳුව බිඳුව වැටීමෙන් ක්‍රමයෙන් එය පිරී යන්නා සේ ටිකෙන් ටික
පින් කර ගැනීමෙන් පින් කළය පිරෙන්නේ ය., එබැවින් හැකි අයුරින් දන් දීම කරන්න., යැයි
‘‘මාප්පමඤ්ඤෙත පුඤ්ඤස්ස-න මන්තං ආගමිස්සති, උදබිංදු නිපාතේන-උදකුම්භෝ’පි පූරති,
පූරති ධීරෝ පුඤ්ඤස්ස-ථොකථොකම්’පි ආචිනන්ති” යන ගාථාව දේශනා කරමින් ධර්මාවවාද කළහ.
ඇඟිලිතුඩු තුනට හසුවන ප්‍රමාණයට මුං, මෑ, තල ආදි ධාන්‍ය පින්කමට දුන්නේ ය යන පුවත
ගම පුරා පැතිර ගියේ ය. එදින සිට ගම් වැසියෝ ‘‘බිලාල පාද මුදලාලි, බළල් පා ඇති
මුදලාලි, බළල් කකුල් මුදලාලි” යනාදි නම්වලින් ඔහු හැඳින්වීමට පුරුදු වූහ.
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි |