කතරගම පෙරහර මංගල්‍යයේ
අවසන් මහ පෙරහර ඇසළ පුර පසළොස්වක පෝදා
මුද්‍රිත මාධ්‍ය
අනුග්‍රහය
ලේක්හවුස් ආයතනයෙනි
රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා 6 වන
පෙරහරේ වාසනා හස්ති රාජයාට පෙර ගමන් කළ අවස්ථාව |
පෙරහරට ප්‍රථම සෙත් පිරිත් සජ්ඣායනය ඇරැඹූ අවස්ථාව |
පෙරහර අලංකාර කළ නැටුම් |
රුහුණු රටේ ප්‍රධාන ආගමික පින්කම් මංගල්‍යය ලෙසින් සැලකෙන ඓතිහාසික රුහුණු මහා
කතරගම දේවාල පෙරහරේ අවසන් මහ පෙරහර අද දිනට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දින වීදි
සංචාරය කෙරේ.
ආරම්භක පෙරහර වන මඟුල් පෙරහර වීදි සංචාරය ආරම්භයට පෙර පුරාණ චාරිත්‍රානුකූල ව
ආශිර්වාද පිරිත් සජ්ඣායනය ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ
ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන්ගේ
අනුශාසනා පරිදි ජූලි 09 දින රාත්‍රියේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කරන ලදී.
රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සහ හිටපු
බස්නායක නිලමේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇතුළු විශේෂ
ආරාධිත සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මේ ආරම්භක කටයුතු සිදු කෙරිණි.
දේවාලයේ පෙරහර මංගල්‍යයේ ආරම්භක පෙරහර 10 වැනිදා පස්වරුවේ යෙදුණු සුබ මොහොතින්
ආරම්භ වූ අතර එතැන් සිට අද රාත්‍රිය දක්වා පෙරහර සංචාරය කෙරේ.
පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට පෙර වත බැදීම හෙවත් දේව ප්‍රතිමාව වැඩම කරවන
හස්තිරාජයා පිට වස්ත්‍ර පෙරවීම, විශේෂ අසුන වැඩම කරවීම සහ මුතුකුඩය තැන්පත් කිරීම
සිදු කරන ලදී. දුටුගැමුණු රජු කල සිට පැවතෙන මේ පෙරහරේ රජතුමා විසින් දේවාලයට ලබා
දුන් මාල 9න් 5ක් දෙවියන් උදෙසා වීදි සංචාරයට යොදා ගනී. එයද චාරිත්‍රානුකූල ව සිදු
කරන ලදී.
විශේෂයෙන්ම මේ පෙරහර ඇතුළු දේවාල කටයුතු සිදු කිරීම පිණිස දුටුගැමුණු රජ විසින්
අතීතයේ සිට පත් කරන ලද කපු මහත්වරුන්ගේ පරපුර මේ දිනවල ඉතාම කාර්ය බහුල ය. එහිදී
තේවා කපු මහත්වරුන් 6 දෙනකු සහ පෙරහර කපුමහත්මයෙක් ලෙස කපු මහත්වරුන් 7 දෙනකු සේවයේ
යෙදී සිටී. ඔවුන් වෙනුවෙන් කටගමුවේ අක්කර 12,000ක භූමි භාගයක් නින්දගම් ලෙස රජතුමා
විසින් වෙන් කර ඇත.
මෙවර පෙරහරේ විශේෂත්වය වන්නේ වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රථම වරට
පෙරහරේ ගමන් කිරීමයි.
ඉපැරැණි චාරිත්‍රවලට අනුව පසුගිය 15 වැනිදා 6 වන පෙරහර පවත්වන ලද්දේ දහවල් මහා
සංඝරත්නය වෙත දානය පිළි ගැන්වීමෙනි. ඒ කටයුතුවල මුල් තැන ගත්තේ බස්නායක නිලමේ වරයා
ය. එය සාම්ප්‍රදායික ව පෙරහරට පෙර සිදු කරන්නකි. ඊට පෙර සිදු කළ යුතු ඉපැරැණි
චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ද එතුමන් විසින් ඉටු කරන ලදී.
පෙර දින දෙවිනුවර පුදබිමට පැමිණ තෙරුවන් නැමද, දෙවිනුවර නායක හාමුදුරුවන් බැහැ දැක
විෂ්ණු දේවාශිර්වාදය ලබා ගැනීමට බස්නායක නිලමේ වරයා විසින් කටයුතු කරන ලදී. වත්මන්
බස්නායක නිලමේවරයා ප්‍රථමයෙන්ම පෙරහරේ බස්නායක නිලමේවරයකු ලෙස ගමන් කළේ ද දෙවිනුවර
ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වන නිසා එතුමන් රාජකාරි බහුල වුව ද දෙවිනුවරට පැමිණීමට
කටයුතු කර තිබුණි.
6 වැනි පෙරහර බස්නායක නිලමේවරයා පූර්ණ ඇඳුම් ආයිත්තමින් සැරසී ගමන් කිරීමේ
සම්ප්‍රදායය එලෙසින්ම ඉටු කරන ලදී. වාසනා හස්තිරාජයාට ඉදිරියෙන් එතුමන් ගමන් කෙළේ
එලෙසිනි.
එසේම බස්නායක නිලමේවරයාගේ ආරාධනයෙන් දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරාධිපති
කල්‍යාණවංශ මහා නිකායේ අනු නායක දෙවිනුවර සිරි සුනන්ද නාහිමිපාණන් වහන්සේ සහ භාරකාර
බෙංගමුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ රුහුණු මහා කතරගම දේවාලයට වැඩම කිරීම ද මෙහිලා
අගය කළ යුතු ය. සිරි සුනන්ද හිමියෝ මේ වන විට 99 වන වියෙහි පසුවෙති.
දුටුගැමුණු රජතුමාගේ අඩි 15ක පමණ උසින් යුක්ත රූපය පෙරහර ඉදිරියේ ගමන් කිරීමද දැකිය
හැකි විය. ඒ දුටුගැමුණු රජුට කරන උපහාරයකි.
පෙරහරේ ඉදිරියෙන් ම ඉරහඳ නිරූපණය කරන සේසත් දරන්නෝ ගමන් කළහ. දිසා කොඩි දරන්නෝ ද
එහි සිටියහ. උඩරට, පහතරට, සබරගමු ආදි සියලු සාම්ප්‍රදායික නැටුම් මෙන්ම මොණර නැටුම්
ආදීය මෙන්ම කාවාඩි නැටුමින් අලි ඇතුන්ගෙන් ද ඇසළ පෙරහර අලංකාර විය.
වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ පී‍්‍රතිය නිමිත්තෙන් මෙම පෙරහර පවත්වනු
ලබන බවට මුඛ පරම්පරාගත පිළිගැනීම ය.
පෙරහරේ ගිනි පෑගීමට පසුගිය 20 වැනිදා වන විට සියලු කටයුතු සූදානම් කර තිබුණි.
මහජන සහභාගිත්වයෙන් තොරව නමුත් සියලු චාරිත්‍ර වාරිත්‍ර හා නැටුම් කණ්ඩායම්වලින්
අලංකෘත වූ කතරගම ඇසළ පෙරහර මංගල්‍යය හෙට (24) වල්ලිඅම්මා තොටුපොළින් දියට බැස දිය
කපන තොටුපොළ දක්වා ගොස් සිදු කෙරන දිය කැපීමෙන් අවසන් වනු ඇත. එහිදී සියලු වස් දොස්
දුරු වී රටට සාමය සතුට උදාවනු පිණිසත් එමෙන්ම කතරගම දෙවියන්ට පින්දීමත් සිදු කෙරේ.
පෙර සේ ම මෙවර ද කතරගම පෙරහරේ ප්‍රධාන අරමුණු අතර අපල උපද්‍රව දුරු කිරීම,
දේවාශිර්වාදය ලැබීම හා රටට සෙත් පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම හා
ස්වභාවික විපත්වලින් රට බේරා ගැනීම තිබුණු බවත් ඊට අමතරව වර්තමානයේ ලෝකයම වෙළාගත්
කොවිඩ් 19 වසංගතයෙන් රට බේරා ගැනීමේ අරමුණ ද වූ බවත් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර
මහතා බුදුසරණට කී ය.
තාරක වික්‍රමසේකර |