ඇසළ පුර පසළොස්වක 2021.07.23
නිදහස හා සතුට
ගමනක පහසුව ගත සැහැල්ලු වූ තරමට ය. ගෙන යා නොහැකි තරමට බර කරට ගත් කල්හි ගමන අසීරු
ය. ඒ අතින් මේ අතට, ඒ කරින් මේ කරට මාරු කළ ද බර එලෙසම ය. සැහැල්ලු වන්නට නම්
අත්හැරිය යුතුම ය. දීර්ඝ සසර ගමන පුරාවට ම ඇත්තේ ද මේ ප්‍රායෝගික බවම ය. ඇත්තේ
උසුලන ‘බර’ පිළිබඳ වෙනස පමණකි. ඒ ගතට නොව සිතට ගන්නා බර ය. ධර්මානුකූල ව කියනවා නම්
කෙලෙස් බර ය.
දේවල් තමන් සතු කර ගැනීමේ, ගොඩගසා ගැනීමේ ආශාව නිසා අපි තණ්හා බර දරමින් සසර
සැරිසරමු. මම ය, මගේ ය, මට ය, මගේ ඥාතීන් ය ආදී ලෙස මගේ කර ගන්නට දරන වෑයම සසරට
බරකි. ඒ බර සැහැල්ලු කර ගන්නට අපගේ සිතට බල කළ යුතු, අධිෂ්ඨානශීලී විය යුතු පින්බර
දිනයකි ඇසළ පුර පසළොස්වක පොහොය එළඹුණු අද දිනය.
අප මහා බෝසතාණන් වහන්සේ සියලු ලෝ සත දුකින් මුදවාලනු පිණිස මහාභිනිෂ්ක්‍රමණය කළේ
අදවන් පින්බර දිනයක ය. උන්වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් අත්හළේ ආත්මාර්ථකාමී බවෙහි බර
ය.
අසීමිත රාජ සම්පත්, සසර පුරාවට ළඟින් සිටි යශෝධරා දේවිය, එදින ම මෙලොව එළිය දුටු
දයාබර රාහුල පුතණුවන්, මව්පියන්, නෑදෑ හිතමිතුරන් ආදී සියලු බර හැර දමා උන්වහන්සේ
සැහැල්ලු සිතින් අනෝමා නදී තෙරෙන් එතෙර වූයේ උතුම් සම්බුදු පදවිය වෙනුවෙනි.
ඉපදෙමින් මිය යමින් ජාති ජරා ව්‍යාධි මරණාදී වූ අනේකවිධ දුක්ඛදෝමනස්සයන්ට හසු වී
පීඩා විඳින ලෝ සතුන් ඉන් මුදවා ගැනීමේ මාර්ගය සොයා යනු පිණිස ය.
සැබෑ බෞද්ධයා නම්, අංශු මාත්‍රයක තරම්වත් මේ බෝසත් ගුණ ජීවිතය තුළ වඩා වර්ධනය කර
ගන්නට උත්සාහ දරන්නෙකි.
පැහැදිලිව ම කියනවා නම්, ජීවිතය අවබෝධ කරගන්නට උතුම් බෝසත් චරිතයේ මේ මහා අසිරිමත්
සිදුවීම ම ප්‍රමාණවත් ය. එහෙත් සාමාන්‍ය සමාජයේ ස්වභාවය භෞතික සම්පත් හඹා යෑම ය.
අත් හැරීම පසෙක තබා ලද දෙයින් සතුටු වන්නට, සෑහීමට පත්වන්නට හැකි ඉතාමත් සීමිත
පිරිසකට ය.
සම්පත් පසුපස හඹා යෑමේ ප්‍රමාණය කවර තරම් ද යත් ජන වහරින් ම කියනවා නම් අද
මිනිසුන්ට හුස්ම ගන්නටවත් ඉඩක් නැත. ඒ තරමට අධිකතර වැඩ ය. මේ හඹා යෑම තුළ තමන්ට ද,
අනුන්ට ද වන අනර්ථය ප්‍රමාණය කළ නොහැකි ය. එවන් පරිසරයක සැහැල්ලුවෙන් ජීවත්වීම
පිළිබඳ කවර කතා ද?
බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී අවධාරණය කොට වදාළ ධර්ම කරුණු ගිහි
ජීවිතය වඩාත් සැහැල්ලුවෙන් ගත කිරීමට මා හැඟි සදූපදේශයන් ය. පහසුවෙන් පෝෂණය කළ හැකි
බව, ලද දෙයින් සතුටු වීම, වැඩ අඩු බව, සැහැල්ලු ඉඳුරන් ඇති බව ජීවන බර සැහැල්ලු කරන
ධර්මතාවන් අතර සුවිශේෂී ය.
බොහෝ දෙනකුගේ සැහැල්ලු බව නැති වන්නේ අනුන්ට පෙනෙන්නට හා අනුන්ට වඩා වැඩියෙන් භෞතික
සම්පත් ගොඩගසා ගන්නට වෑයම් කිරීම නිසාය. ඒ තුළ තමනුත් නොදැනීම සිත තුළ වර්ධනය කර
ගන්නා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම ආදී සිතිවිලි සිත දවාලන ගින්නක් හා සම ය.
එහිදී ටිකෙන් ටික දැවෙමින් විනාශ වන්නේ තමන් ම ය.
සමාජයේ කුඩාම ඒකකය වූ පවුල තුළ ඇතිවන ගැටුම්වල සිට ලොව පුරා පැතිර යන්නේ එසේ
චිත්තාභ්‍යන්තරය තුළ ගොඩගැසුණු ගිනි අඟුරු වැනි කෙලෙස් සිතිවිලිවලින් ඇවිල යන යුද
ගිනි දැල් ය.
තණ්හා බර නිසා මිනිසා මිනිසාට, ගහට කොළට ඇළට, දොළට මුළු පරිසරයට අකාරුණික වීමේ
ප්‍රතිඵලයට අද මුළු ලෝකයක් වන්දි ගෙවමින් සිටී. ඒ නොපෙනෙන වෛරසයක් හමුවේ පණ නල රැක
ගන්නට ය. සොබා දහම ලෝකයට යම් ධර්මතාවක් පිළිබඳ ඉඟි කර තිබේ. ඒ ලෝකයට කාරුණික වන්නට
ය.
අප මහා බෝසතාණන් වහන්සේ සියලු සැප සම්පත් අත් හැරියේ ලෝ සත වෙත පතළ අපමණ කරුණාවෙනි.
අපි ද ඒ කරුණා ගුණය පුරුදු පුහුණු කොට ජීවිතයේ බර සැහැල්ලු කර ගන්නට, කෙලෙස් බර
නිදහස් කර ගන්නට මේ උතුම් පෝ දිනයේ අදිටන් කර ගනිමු. |