මේ උතුම් වස්සාන සමයේ ඇරඹුමයි
කොළඹ 06 හැව්ලොක් සිටි
සාම විහාරාධිපති
දක්ෂිණ ලංකාවේ
සමථ බලසම්පන්න ප්‍රධාන
අධිකරණ සංඝනායක
අතපත්තුකන්දේ ආනන්ද නාහිමි
බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වු භාරතයෙහි තත්කාලීන ව ආගමික ඉගැන්විම් දෙසැටක්
පමණ වු බව ශාසන ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ. මෙම ආගම් හා ඉගැන්වීම් අතර
සුවිශේෂී ඉගැන්වීමක් වු බුදු දහම මුලික වශයෙන්ම තරුණ පිරිසක් ඒකරාශි කොට ගෙන
ව්‍යාප්ත වුවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මඟක් ගත් දහමක්
විය.
ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල
දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළහ. “පරිනිබ්බුතෝ සෝ භගවා
පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය
ළඟා කර ගැනීම සඳහා ධර්මය දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේගේ මෙම අනුශාසනාවට අනුව කි‍්‍රයාකළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තම
පැවිද්දෙහි උපරිම පරමාර්ථ සාධනය සඳහා ඉතා දිරිමත් ව කි‍්‍රයා කළහ. එහිදී
උන්වහන්සේලා අව්, වැසි, සීතෝෂ්ණ නොසලකමින් කි‍්‍රයාළහ. කිසිදු දේශගුණික බලපෑමක් ද
මායිම් නොකොට චාරිකාවෙහි හැසුරුණහ.
බුදු දහම පහළ වීමෙන් එළැඹි මුල් කාලපරිඡේදය වන මෙම වකවානුවෙහි පැවතී විචිධ ආගමික
මතවාද ඉගැන්වීම් බහුල වශයෙන්ම නිර්මාණවාදී ඉගැන්වීම් වු අතර ඇතැම් ඉගැන්වීම්
කර්මවාදී මෙන් ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලින භාරතීය ජනතාව මෙම විවිධ
ආගමික මත වාද නිසා දැඩි පීඩනයකට ලක්ව සිටියේ ය. එමෙන් ම ඔවුහු ගිම්හාන සෘතුවේ ඇතිවන
දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පිඩාවට ලක් වු හ.වර්තමාන
ඉන්දීය සමාජය තුළද මේ තත්වයන් අඩුවැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි.
වස්සාන සමය එළැඹෙත්ම දැඩි නියඟය ආදී පීඩාවන්ගේ මිදී ගස් වැල් තුරුලතාදිය, සතා
සීපාවන් ද කිසියම් ප්‍රබෝධයකට පත් වීම ආරම්භ කෙරෙති. කෙසේ නමුත් භාරතයෙහි මෙම වර්ෂා
සමය ද එක්තරා ප්‍රමාණයකට පිඩාකාරී කාලයක් විය. තම වාසස්ථාන තුළම රැඳී සිටීම හැර මෙම
කාලවකවානුවෙහි වෙනත් කළ හැක්කක් නොමැත. එහෙත් බුද්ධශ්‍රාවකයන් වහන්සේලා තථාගතයන්
වහන්සේගේ අනුශාසනය අනුව වර්ෂා සමයෙහි ද කි‍්‍රයාත්මක සංචරණ සීමාවන් ද නොතකන ලදහ.
චාරිකාවේ හැසිරෙමින් තම පරමාර්ථ සාධනයෙහි නියැළුණහ. තත්කාලීනව මහත් පිළිගැනීමකට
ලක්ව තිබූ නිගන්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීම් බුදු දහමට ද කිසියම්
ප්‍රමාණයකින් බලපා ඇති බව ප්‍රකට ය. මේ අනුව එතුමාගේ පරම අවිහිංසාවාදී ඉගැන්වීම්
අනුව තෘණලතාදියෙහි පවා ඒකීන්ද්‍රිය ප්‍රාණයක් ඇති බව පිළිගැනිණි. ඒ අනුව ඒවා කැඩීම,
කැපීම, පෑගීම, විනාශ කිරීම් ආදියෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව ප්‍රකාශිතව තිබුණි.
ජෛන ශ්‍රාවකයන්ගේ මෙම ආගමික පිළිගැනීම බුද්ධ ශ්‍රාවකයන්ගේ වස්සාන චාරිකාවන් සඳහා
බලවත් බාධාවක් විය. උන්වහන්සේලා මහජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ද ලක්වුහ. බුද්ධ
ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පවරමින්, විවේචනය කරමින්, විරෝධය පළ කරමින් ඔවුන්
ප්‍රකාශ කරන ලද්දේ වැසි කාලයෙහි කුරුල්ලන් පවා කූඩු තනා ඒවායේ වාසය කරන අතර ශාක්‍ය
පුතී‍්‍රය ශ්‍රමණයන් ලා තණපත් පාගමින් ඒවා විනාශ කරමින් චාරිකාවේ හැසිරීම විනය
විරෝධී කි‍්‍රයාවක් බවයි.
පරිසරයට හානි කර වූ සමාජ විරෝධී කි‍්‍රයාවක නිරතවන බවට තම ශ්‍රාවකයන් වහන්සේලාට
එරෙහිව සමාජය මතින් පැන නැඟුණ තත් කාලීන ජන මතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තම දැඩි
අවධානය යොමු කළහ. භික්ෂූන් වහන්සේලා වහා කැඳවා “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං
උපගන්තුං”“මහණෙනි වස්සාන සෘතුවෙහි වස් එළැඹ එක් තැනක රැ¼දී සිටීම අනු දනිමි”යි
වස්සූපනායික ශික්ෂාඋපදය නම් වූ විනය නීතිය පැනවූ බව මහාවග්ග පාලියෙහි වස්සූප නායික
ඛන්ධකයෙහි සඳහන් වේ.
මෙම විනය ප්‍රඥප්තියට අනුව උපසම්පදා භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම මෙම වස්
ශික්ෂා පදය සමාදන් විය යුතු ය. මෙය ඉක්මවීම කිසියම් ආපත්තියක් සඳහාද හේතුවේ.
දායක දායිකාවන්ගේ ආරාධනයක් ඇතත් නැතත් භික්ෂුවක විසින් කිසියම් ස්ථානයක වස්විසිමේ
මෙම උතුම් චාරිත්‍රය ආරම්භ වී වසර 2600 ද ඉක්මවා ගොස් ඇත. තත්කාලීන භාරතයෙහි
කාලගුණික සහ සමාජමය අවශ්‍යතා මත ආරම්භ වන මෙම උතුම් චාරිත්‍ර ධර්මය භික්ෂූන්
වහන්සේලා තම අධිගමයන් සඳහා වඩාත් උත්සුක වූ කාල සීමාවක් ලෙස ද සඳහන් කළ හැකිය.
වස්විසීම් පිළිබඳ අවස්ථා දෙකක් පිළිබඳ අපේ ති‍්‍රපිටක ධර්මයෙහි සඳහන්ව ඇත.පෙර වස්
විසීම, පසු වස් විසීම යනුවෙන් එය නම් කර තිබේ. ඇසළ පොහෝ දිනයට පසු දින වස් එළැඹීම
පෙරවස් සමාදන් වීම ලෙසත් නිකිණි පුර පොහෝ දිනයට පසු දින වස් විසීම පසු වස් විසීම
ලෙසත් සඳහන් වේ. මෙසේ මේ සඳහා අවස්ථා දෙකක් ලබා දී තිබීම තුළින්ම මෙම උතුම්
කාර්යයෙහි අනිවාර්ය බව මෙන්ම අවශ්‍යතාවය ද මැනවින් වටහා ගත හැකිව ඇත.
මේ අනුව උපසපන් භික්ෂුන් වහන්සේලාගේ වස් එළඹීමේ චාරිත්‍රය බුද්ධ නියමයක් ඉටු
කිරීමකි. එමෙන්ම විනය ශික්ෂා පදයක් ආරක්ෂා කිරීමක් ද වන්නේ ය. නියමිත දිනයෙහි පොහෝ
පැවරුණු කටයුතු සම්පුර්ණ කරන භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා තීරණය කර ගත්
ස්ථානයෙහි අදාළ දිනයේ දී “ඉමස්මිංආරාමේ ඉමං තේමාසං වස්සංඋපේමි ඉධවස්සං උපේමි ”
යනුවෙන් තෙවරක් වාචික ව ප්‍රකාශ කොට වස් අධිෂ්ඨාන කිරීම සිදු කරනු ලැබේ.
වස් විසු භික්ෂුව එම ස්ථානයෙන් බැහැරව යාමේදී සතිකරණයෙන් යුතුව බැහැර විය යුතු අතර,
ඉන් අදහස් කරනුයේ අනිවාර්යයෙන් ම නැවත එම ස්ථානයට පැමිණෙන්නෙමි’යි යන අදහස ය. එදින
පැමිණීමේ නොහැකියාවක් වේ නම් සතියක් අතුළත පැමිණෙමියි අධිෂ්ඨානශීලි ව පිටත්වීම
සත්තාහකරණය යනුවෙන් දක්වා ඇත.
වස් ශික්ෂා පදය ආරක්ෂා කර ගැනීම සඳහා භික්ෂු න් වහන්සේලා කෙතරම් උත්සුක වන්නේ ද
යන්න පමණක් නොව මෙම උතුම් ආගමික චාරිත්‍රයෙහි ඇති වගකීම් සහගත බව අද සිට අපේ බොහෝ
විහාරස්ථාන වල ප්‍රධාන දොරටුව ආසන්නයෙහි දක්නට ලැබෙන “අයංවස්සාන කාලෝ” යන වැකිය
ඉදිරි තෙමසපුරා ප්‍රදර්ශනය කිරීමෙන් පෙනී යයි.
තථාගතයන් වහන්සේ ජීවමාන කාලයෙහි එනම් මීට වසර 2565කට පෙර ඇරඹුණ මෙම වස්විසිමේ උතුම්
පින්කම ලාංකික සමාජයට ආරෝපණය වී මේ වනවිට වසර 2330 ඉක්මවා ගොස් ඇත. දේවානම්පියතිස්ස
රාජ්‍ය සමය දක්වා විහිදී යන ඉතිහාසකට උරුමකම් කියන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මිහිදු
මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ ආරම්භ වූවකි. මහින්දාගමනය පොසොන් පොහොය දිනයේ සිදු
වු බව ප්‍රකට කරුණකි. ඉන් පසුව එළැඹුණ ඇසළ පුර පොහෝ දිනයෙහි වස්විසීම නම් වූ උතුම්
බුද්ධ නියමය ඉටු කළ යුතු බව මිහිදු මා හිමියන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස
රජතුමාට දැනුම් දුන්නහ.
ඒ අනුව මිහින්තලයෙහි අටසැටලෙන්හි භික්ෂු න් වහන්සේලා වස් වසා වැඩසිටි බව අපේ වංශකථා
මගින් අනාවරණය කරනු ලැබේ. එදා නවමු දහමක් ලෙස බුදුසමය පිළිගෙන වැළඳ ගත් අපේ ශ්‍රී
ලාංකික බෞද්ධ ජනතාව ප්‍රබෝධමත් මනසකින් යුතුව අද දක්වාම ඇසළ පුන් පොහෝ දිනයෙහි
දැහැත් ගොටු සහ වැසි සළු පිළිගන්වා වස් ආරාධනා කිරීම සිදු කරනු ලැබේ.
අප රටෙහි භික්ෂූන් වහන්සේලා අතර අරිට්ඨ මහරහතන් වහන්සේගෙන් ඇරඹෙන මෙම උතුම් පින්කම
සඳහා නතු වූ වෝ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. රාජ රාජ මහාමාත්‍යාදීන් ද මහත් ගෞරවයෙන්
යුතුව මෙම පින්කමෙහි නියැළුණු අයුරු අපේ ශාසන ඉතිහාසය මඟින් මනාව වාර්තා කොට ඇත.
ඇතැම්විට විහාරස්ථාන වලින් පරිබාහිරව තම පෞද්ගලික නිවාසයන්හි ද භික්ෂු්න් වහන්සේලා
වස් වසවා ගැනීම සඳහා අපේ බෞද්ධ ජනතාව ඉතා කැමැත්තෙන් කි‍්‍රයා කොට ඇති බව ද ප්‍රකට
කරුණකි. |