දුටුගැමුණු මහ රජතුමා -
40:
උපාසක උපාසිකාවන්ගෙන්
වෙහෙර බිම පිරී යයි
“පොරොන්දු වෙන්නට දෙයක් නැහැ දරුවෝ. මෙහි පැමිණෙන බොහෝ අයට මා නොයෙක් අනාවැකි
පවසනවා. නමුත් ඒ කිසිවක් තවත් අයෙක් සමග නොපැවසීම මගේ ප්‍රතිපත්තියයි. “
කුමාරයා ගුරු ගෙදරින් පැමිණියේ දහසක් සිතිවිලි සිතට නඟා ගනිමිනි. රන් මැණිකා මඟ බලා
සිටියේ සිය සැමියාගේ හීනයේ ඵලාපල දැන ගන්නට ය.
“ඒක විකාර හීනයක්ලු. දවල් කෑම කාලා නිදාගන්න අයට එහෙම විකාර හීන පේනවලු. රන් මැණිකා
එය අසා හඬ නගා සිනාසුණා ය. හීනය ගැන සිතීම අමතක කළා ය.
දින හතක් ගෙවී ගියේ ය. ඒ ඇසළ පුන් පොහෝ දිනයයි. කොටගේපිටියේ ගමේ තරුණ ගොවි නායකයා
වූ හිද්දලයාගේ මෙහෙයවීමෙන් පින්කම ආරම්භ කෙරිණි. තරුණ පිරිස කඩිසරව තම කටයුතුවල
යෙදිනි.
සුදෝ සුදු වතින් සැරසුණු උපාසක උපාසිකාවන්ගෙන් වෙහෙර භුමිය පිරී ගොස් තිබිණි.
පුසුල්පිටිය විහාරාධිපති වහන්සේගේ ආරාධනය පරිදි අවට විහාරස්ථානවලින් වැඩම කරන ලද
රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා, භාවනා ආදිය මෙහෙයවීමෙහි යෙදුණහ. දහසකට වැඩි මහරහතන්
වහන්සේලාට හීල් දානය, දවල් දානය හා ගිලන්පස පිරිනැමුණේ ගම ගෙදරිනි. සිල් සමාදන් වූ
පිරිස සඳහා සියල්ල සැපයුණේ ගම්වාසින් විසිනි.
දහවල් දානයෙන් පසු පැයක පමණ කාලයක් තමන් කැමති පරිදි කාලය ගත කිරීමට අවස්ථාව
ලැබිණි. චෛත්‍ය මලුවේත්, විහාර මලුවේත් කොටස් වශයෙන් රැස්වූ පිරිස් ධර්ම
සාකච්ඡාවෙහි යෙදුනහ. තවත් පිරිසක් තනි තනිව භාවනාවේ යෙදෙන්නට වුහ.
විහාරයෙහි රුක් සෙවණෙහි හුදෙකලා තැනක හිඳගත් හිද්දලයා භාවනා කරන්නට විය. ඔහු අතීත
ආවර්ජනයක යෙදුණේය. මේ වන තෙක් පිය රජතුමාගේ ආශිර්වාදය ලබාගනු වෙනුවට වරින් වර කරන
ලද අකීකරුකම් ගැන කනගාටුවට පත්විය. පිය රජතුමාගෙන් සමාව ගැනීමේ හදිසි වුවමනාවක්
ඔහුට ඇතිවිය. ගුරුගෙදර ආචාර්යතුමා කී සිහින අනාවැකිය නිවැරදි නම් මේ මොහොතේ කුමක්
හෝ සිදුවිය යුතු ය.
හදිසියේ ඈතින් ඇසුණු රණබෙර හඬකින් කල්පනාවෙන් මිදුණු හිද්දලයා ඒ දෙසට කන් දුන්නේ ය.
බෙර හඬ කෙමෙන් ළඟාවෙයි. නිසැකවම මේ නම් මාගම දෙසින් එන දූත පිරිසකි සිතූ හිද්දලයා
නැවත භාවනාවට සම වැදුණේ ය.
විහාරය දෙසට එන පෙරහර නිසා කුතුහලයට පත් සැදැහැවත් පිරිස දොරටුව දෙසට සමීප වන්නට
වුහ. විහාරය දෙසට ආ පෙරහරේ හඬ නතර විය. රැස්ව සිටි පිරිස පුදුමයට පත් කරමින් පෙරහරේ
පැමිණි මංගල හස්ති රාජයා පඩිපෙළ නැඟ විහාර මලුවට ගොඩ වී හිද්දලයා ඉදිරියට පැමිණ දණ
ඔබා සිටියේ ය.
වහා හිද්දලයා වෙත සමීප වූ අමාත්‍ය පිරිස දුටුගැමුණු කුමාරයා බව හැඳීන සතුටට පත්වුහ.
කුමාරයාට නමස්කාර කර මාගම රාජ්‍ය අරාජික ව ඇති බැවින් එම රාජ්‍ය භාරගන්න ලෙසට
ආරාධනා කළේ ය. තම පියාගේ අභාවය ගැන අසා කුමාරයා වැළපෙන්නට විය.
තම සිත හදා ගන්නාතුරු මව් බිසවට රාජ්‍ය කරගෙන යාමට ආරාධනා කරන ලෙස පැවසු විට
ඇමතිවරු නිශ්ශබ්ද වූහ. කඩොල් ඇතා වෙනුවට මංගල හස්තියකු ගෙන ඒම ගැන කුමාරයා
අප්‍රසාදය පළ කළේ ය. ඇමතිවරු නිහඬව සිටියහ. ඇමතිවරු කුමාරයා අස් වසා රාජ්‍ය
භාරගැනීමට ප්‍රමාද වුවහොත් රාජධානිය තුළ අවුල් වියවුල් ඇති විය හැකි බව පෙන්වා
දුන්හ. මේ අතර තවත් පෙරහරක හඬ ඇසෙන්නට විය. එම පෙරහරින් පැමිණ සිටියේ දාව
ආචාර්යතුමා ය. ගැමුණු කුමරු වෙත පැමිණ සුබ පැතුවේ ය.
“ජය ශ්‍රී මහරජතුමනි, මාගම රාජ්‍ය බලා යාමට ප්‍රමාද නොවනු මැනවි.”
මාගම කිසියම් පෙරළියක් සිදුවී ඇති බව තේරුම් ගත කුමාරයා නැගී සිටියේ ය. සියලු සංඝයා
වහන්සේලාට වැඳ නමස්කාර කර සියලු දෙනාගෙන් සමු ගත්තේ ය. එතැන හදිසියේ පිළියෙළ කළ
කුටියක් තුළට කුමරා කැඳවාගෙන එනු ලැබීය. කුටියෙන් එළියට පැමිණියේ සිවුසැට ආභාරණින්
සැරසුණු ඔටුනු පැළඳී මහා රජ කෙනෙකි. මංගල හස්ති රාජයා දිගු කරන ලද දකුණු පා මතට
නැඟගත් කුමාරයා ඇතු පිට හිඳ ගත්තේ ය.
මහත් විමතියට පත් ජනතාව වැඳ වැටෙන්නට වූහ. තමන් හා තරඟයට ගොවි තැන් කළ හිද්දලයා
දුටුගැමුණු කුමාරයා බව දැනගත් තරුණයෝ ජය ඝෝෂා නැඟුහ.
විහාර දොරටුවෙන් පිටතට පා තබත්ම දක්නට ලැබුණේ සංඝයා වහන්සේලාට ගිලන්පස රැගෙන යන රන්
මැණිකා ප්‍රමුඛ දායිකාවන් ය. දාව ආචාර්යතුමාගේ නියමයෙන් සෙනෙවියන් දෙදෙනකු විසින්
රන් මැණිකා මඟුල් ඇතු පිට නංවනු ලැබුවා ය.
තිස්සමහාරාම සෑ මලුවෙහි සක්මනෙහි යෙදෙමින් තිස්ස මහා විහාරාධීපතින් වහන්සේත්
සිලාපස්ස පරිවේනාධිපති වහන්සේත් ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළහ.
අපේ දස මහා යෝධයන් අතුරින් වේළුසුමනත්, නන්දිමිත්‍රත් මුල් කාලයේම කාවන්තිස්ස
රජතුමාගේ සේනාවට බැඳුණු දෙදෙනෙක්. “ඒ සෙනෙවිවරුන් මේ පසුගිය කාලයේ කොයි තරම් දක්ෂ
ලෙස සේනා සංවිධානය කළා ද?”
“දුටුගැමුණු කුමාරයාට මාගම සිට හිතුමතේ පලා යන්නට නොදී විශේෂ රථයකින් ගිරිනුවරට
රැගෙන යන ලෙසට උපදෙස් ලැබුණේ වේළුසුමනට. ඔහු සතුව පවතින ස්ථානෝචිත ප්‍රඥාව,
විචාරශීලිව කටයුතු කිරීමේ හැකියාව නිසයි විහාරමහා දේවිය වේළුසුමන තෝරාගත්තේ. “
“ඇතැම් අවස්ථාවලදී කාවන්තිස්ස රජතුමාගේ අප්‍රසාදයට භාජනය වන බව දැන දැනම ඔහු අද
දක්වාම ගැමුණු කුමාරයා වෙනුවෙන් කරන පරිත්‍යාගය පුදුම සහගතයි.
“ මට නම් හිතෙන්නේ රජ මාළිගයේ ඉදිරි කටයුතු පිළිබඳ ලොකු සැලැස්මක් තියෙනවා. මේ
සියල්ල සැලසුම් කරන්නේ දාව ආචාර්යතුමායි. අමාත්‍ය මණ්ඩලය තමන් සොයාගෙන එන තුරු
කුමාරයා කොතැනක හෝ ආරක්ෂිත ව සැඟවිලා සිටීවි. “
“දාව ආචාර්යතුමා හෙට උදැසන අපට හමුවෙනවා. ඔහු මේ ගැන කැමැත්තෙන් යමක් පවසනවාදැයි
බලමු. “
පියරජතුමාගේ අභාවය ගැමුණු කුමාරයාට නොදැන්වීම වරදක්. ඒ නිසා ඇතිවන ගැටලුවලට මුහුණ
දෙන්නට වෙන්නේ අපිටයි.ඇතැම් කරුණු අපට පාලනය කරන්නට බැහැ. එක් එක් අයගේ දෛවය වෙනස්
කරන්නට අපට බැහැ. නමුත් බරපතළ කාරණයක දී හානියක් සිදුවන බව දැක දැක එය වළක්වා
ගැනීමට වෑයම් නොකිරීම වරදක්.”
අයන්ති විතාන |