අනුන් වෙනුවෙන්
අකුසල් කරනවාද ?
විඳවිය යුතු තමන් තනිවමයි
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයාට ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබා ගන්නට යම්
භූමියක් අවශ්‍ය වේ. ඒ භූමිය පිහිට පිළිසරණ කරගෙනයි ජීවිතයේ ඉතිරි කටයුතු සාර්ථක
කරගත යුතු වන්නේ. ධර්මය අවබෝධ කර ගැනීමට කැමැති ශ්‍රාවකයා ඒ සඳහා අවශ්‍ය භූමිය සකසා
ගත යුතුයි .
ඒ තමා සීලය. සීලයේ පිහිටා තෙරුවන් සරණ ගොස් කටයුතු කිරීම තුළින් ශ්‍රාවකත්වයට
පැමිණිය හැකි ය. මුසාවාදයෙන් වැළකීම සිල්පදය භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාට සමාදන්
විය යුතුයි කියා පැන වූ සිල් පදයකි. නමුත් අද සමාජයේ කුඩා දරුවාගේ පටන් මහල්ලා
දක්වා ම හිතුමනාපේ මේ සිල්පදය කඩා ගනිමින් බොහෝ සේ අකුසල් කර ගනිති. පවට කිසිදු
ලජ්ජාවක් බයක් නැතිව පුංචි පුංචි හේතුවලට විශාල මුසා කියන්නට පෙළෙඹේ. ඒ ඔවුනට බොරු
කීමේ විපාක අසන්නට ලැබී නොමැති නිසා ද විය හැකි ය.
ඉලක්ක වෙත යන හැටි
තමන්ගේ ජීවිතයේ නොයෙක් ඉලක්ක වෙත යාම ස්වභාවය යි. ඒ සඳහා ද මුසා කියන්නෝ අප අතර
නැතිවා නොවේ. කටට එන බොරුව කියන්නේ “අනේ බොරු කීමේ විපාකයක් තිබෙනවා” කියා නොහිතාම
යි.
අද සමාජයේ බොහෝ දෙනා රැකියාවක් සඳහාත්, රැකියාවේ උසස්වීමක් ලබා ගැනීම සඳහාත් බොරු
කියති. කෙනෙක් සාර්ථකව ජීවිතයට මුහුණ දී රැකියා වේවා, ව්‍යාපාරය වේවා, ඉගෙනීමෙන්
වේවා ඉහළට යාමේදී ද තව අයෙක් එයට ඊර්ෂ්‍යා කරමින් බොරු කියති. පින පව නොදන්නා නිසාම
බොරුවෙන් නතර නොවී කේළම පවා කියන්නේ විපාකය නො දන්නා නිසා ය. බොහෝ අය සිතන්නේ බොරු
කියා ලබා ගන්නා දේ ස්ථිර බවයි. එයින් තම ජීවිතය සාර්ථක කරගත හැකි බවයි.
කුඩා දරුවා මුසාවට පෙළඹවීම
අද තම දරුවා පාසලට දමා ගන්නට මව්පියෝ නොයෙක් මුසා කියති. බොරු සහතික හදා දරුවා ළඟට
ගෙන දරුවාට මුලින්ම බොරු කියන්නට කියා දෙන්නේ අම්මා සහ තාත්තා ය. විදුහල්පතිතුමා හෝ
ගුරුතුමිය මෙසේ ඇසුවොත් පුතා මෙහෙම කියන්න කියා මුලින්ම දරුවාට බොරුව කියා දෙන්නේ
මව්පියන් ය. එදා සිට අර දරුවා කිසිදු බියක් ලජ්ජාවක් නැතිව බොරු කියයි.
එවිට ඔහු හෝ ඇය සමාජගතවන විට නො දැනීම බොරුව පාලනය කරගත නොහැකි වනු ඇත. බොරුවෙන්
ජනප්‍රිය පාසලකට දරුවා ඇතුළත් කළත්, ඒ දරුවා සහ මව්පියන් කුසලය ඉදිරියේ පරාද ය. මොන
සැප සම්පත් තිබුණත් ඒ ජීවිතවලට නිරන්තරයෙන් අකුසල් ගලා ඒම ස්වභාවය යි. එනිසා බොරු
කීමට පෙර හිතන්න පුළුවන් නම් මේ බොරුව මට කියන්න පුළුවන්නම් ඕනෑම වරදක් මගේ අතින්
විය හැකියි පවට ලජ්ජා බය ඇති මම සුළු සුළු ලාභසත්කාර නිසා මුසා කියා අකුසල් කර නොගත
යුතුයි කියා තමා ගැන තමාම අනුකම්පාවක් ඇතිකර ගත යුතු ය. ඒ කුඩා බොරුව නිරයේ විඳවීමට
තරම් විශාල අකුසලයක් විය හැකි නිසාවෙනි.
තමාට ආදරය කරන්න
අද සමාජයේ බොහෝ දෙනා සිතන්නේ පොඩි බොරුවක් කීවාට එහි විපාක නැත කියායි. දෙතිස් කතා
නිසා බොහෝ මුසා කියන්නෝ සුලභ ය. “එක බොරුවක් වසා ගන්න තව බොරු දාහක් කියන්න වෙනවා”
කියා අපේ සමාජයේ පැරැණි කියමනක් තිබේ. පවට බය නම් දුකට අකමැති නම්, බොරු නොකියා
සිටීම තමා තමාට යහපතක් කර ගැනීම යි. බොරුවක් කිව්වා කියා අකුසලයක් සිදු නොවේ කියා
සිත සනසා නොගෙන ඒ පවෙන් මිදීමටයි අප උත්සාහ කළ යුත්තේ. සමහර විට ඔබ යම් බොරුවක් කීම
හෝ කිරීම තුළින් රැකියාවක් ලැබීම හෝ උසස්වීමක් ලැබීමට පුළුවනි. දරුවෝ ද සුව සේ
ජීවත් වෙනවා මෙන්ම ලාභ සත්කාර ද ලැබේ. නමුත් ඒ සියල්ල ටික කාලයකට පමණක් සීමා වේ.
සියලු දෙනා වෙනුවෙන් බොරු කිව්ව ද විඳවිය යුත්තේ තමා තනිව ම ය.
මේ සිල්පදය දැන හෝ නොදැන කඩ කරයි ද මතු ජීවිතයේ සැපක් නොලබා දුගතිය හිමිවන බව බුද්ධ
දේශනාවේ සඳහන් ය.
ඔබත් බොරුවට දිවුරනවා ද?
ඒ වගේම බොහෝ දෙනා බොරුවට දිවුරීමට පෙළෙඹී සිටියි. බුදුන්පල්ලා, අම්මාපල්ලා,
දෙයියන්පා කියා වන්දනා කළයුතු උතුමෝ ඉදිරියෙන් තබා දිවුරීම කරති. බුදුන්පල්ලා කියා
දිවුරන තැනැත්තාට කිසිදා සසරේ බුදු කෙනකු මුණ නො ගැසෙන බව සඳහන් ය . දසමස කුස තබා
ලේ කිරි කර පොවා හැදූ වැඩූ අම්මා උගසට තබා අම්මපල්ලා කියා බොරුවට දිවුරීම දරුවන් නො
කළ යුත්තකි. දිවුරීමෙහි විපාක ගැන ප්‍රේත වත්ථුවේ මෙසේ සටහනක් තිබේ.
කාශ්‍යප බුද්ධ ශාසනයේ සිදු වූ සිදුවීමකි. කිම්බිල නම් නුවර එක්තරා සෝවාන් වූ
උපාසකයෙක් වාසය කළේ ය. ඔහුට තවත් යහලුවන් පන්සියයක් සිටියහ. මේ පිරිස නිතරම පුණ්‍ය
ක්‍රියාවන් කරමින් සමඟියෙන් සිටි අතර ඔවුන්ගේ බිරින්ඳෑවරු පන්සිය දෙනා ද පින්
කරමින් සමගියෙන් වාසය කළහ.
මේ කාන්තාවන් ගැන ගමේ විසූ එක්තරා සල්ලාල පිරිසකට අසන්නට ලැබුණි. ඉතා රූමත් මේ
කාන්තාවන් ඉතා සිල්වත් බව ද නගරයේ ප්‍රසිද්ධ වී තිබුණි. මේ සල්ලාල පුරුෂයන් කතිකා
කළේ “මේ ස්ත්‍රීන්ගේ සීලය බිඳ දැමීමට කළ යුත්තේ කුමක් ද?” කියායි. එවිට එක්
පුරුෂයෙක් ඉදිරිපත් වී “මම මේ එක් ස්ත්‍රීයකගේ සීලය බිඳමි” යි පැවසී ය. අනෙක්
පුරුෂයෝ ඔහු හා ඔට්ටුවක් අල්ලා “නුඹ මේ ස්ත්‍රියකගේ සිල් බිඳ දැමුවොත් අප නුඹට
රන්මසු දහසක් දෙමු. නුඹට එසේ කිරීමට නොහැකි වුවොත් අපට නුඹ විසින් මසු දහසක් ගෙවිය
යුතුයි” ප්‍රකාශ විණි.
එදා සිට ඒ පුරුෂයා උපාසිකාවන් යන යන තැනට ගියේ ය. ඔහු වීනා වයමින් පංචකාමය උද්දීපනය
වන අයුරෙන් ගී ගයන්නට විය. එහි සිටි එක් ස්ත්‍රියකගේ සිත ගීතයට බැඳුණි. ඇය ඒ
පුරුෂයා සමඟ වැරැදිකාම සේවනයේ යෙදුණා ය. ඒ පුවත කන වැටුණු ඒ කාන්තාවගේ සැමියා ඇගෙන්
ඒ පිළිබඳ විමසීය.
“අසවල් පුරුෂයා සමඟ නුඹ අයුතු සබඳතවක් තිබෙනවා කියන්නේ සැබෑවක් ද?”
“ස්වාමිනි, මම එසේ නො කළෙමි. මම එවැනි තැනැත්තියක් නොවෙමි.” කී ඇය එය ඒත්තු ගැන්වීම
පිණිස අසල සිටි සුනඛයකු පෙන්වා බොරු දිවුරීමක් කළා ය.
“මා විසින් එබඳු පාප කර්මයක් කරන ලද්දේ නම් මේ කන් කැඩුණු සුනඛයා ඒ ඒ භවයන් හි මා
කා දමත්වා!” යි දිවුරීය.
ඇය සමඟ සිටි යෙහෙළියන් පන්සියය ද ඇය අනාචාරයේ හැසිරෙන බව දන්නා නමුත් “අප එවැන්නක්
නො දන්නෙමු” යි බොරු කීහ. “ඉතින් අප එවැන්නක් දන්නේ නම් භවයක් භවයක් පාසා මැයට
දාසියෝ වෙමු යි” දිවුරූහ.
කාලයක දී ඒ ස්ත්‍රීහු මරණයට පත්ව හිමාලයට සමීප පිහිටා ඇති විල් සතකින් යුත් එක්
විලක් වූ කර්ණමුණ්ඩ නම් විල්තෙර සමීපයෙහි විමාන ප්‍රේතියන්ව උපන් හ. පරිවාර
යෙහෙළියන් අකුසලයේ විපාක වශයෙන් ඇයට දාසියන්ව උපන්නාහු ය.
රාත්‍රියේ පාපය බලවත් බැවින් ඇය නින්දෙන් නැඟිට පොකුණට යයි. එම ස්ථානයේ ඇත් පැටවෙක්
තරම් වූ කන් කැඩුණු සුනඛයෙන් ඇය දුටු සැණින් පැන ඇයගේ ඇටසැකිල්ල දක්වා ම කා දමයි.
මහත් වූ වේදනාවෙන් කෑ ගැසුව ද ඇය බේරා ගැනීමට කවුරුන් හෝ නොමැත. පසුව සුනඛයා විසින්
ඇගේ ඇටසැකිල්ල ගෙන පොකුණට දමා අතුරුදන් වෙයි. ඇගේ ඇටසැකිල්ල පොකුණට පතිත වූ සැණින්
පෙර සිටි සාමාන්‍ය ස්වභාවයට පත්වේ. ඔවුන් එසේ බොහෝ දුක් විඳී බව ප්‍රේතවත්ථු
අටුවාවේ සඳහන් ය.
එනිසා බෙරුකීමත්, බොරුවට දිවුරීමත් බලවත් අකුසල් ය. මනා ලෙස සමාදන් වූ සිල්පදයන් හි
පිහිටා දුක්ඛිත සසර කතරින් එතෙර වෙමු.
නයනා නිල්මිණී |