මහා වීරයාණනි
මව් කුසෙහි පිළිසිඳ ගනු මැනව
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
එකල්හී මහා බ්‍රහ්මයා ප්‍රධාන සකල දෙවි බඹහු කෘතපුණ්‍ය ලක්ෂණයෙන් හෙබි බුද්ධාංකුර
වූ සන්තුසිත දෙව්රජාණන් බැහැදක්නට තුසිත භවනයට වැඩියහ. ඔවුහු සාදර ගෞරවයෙන්
සන්තුසිත දෙව් රජුහු හට ඇරයුම් කළහ.
“කාලො යං තේ මහාවීර
උප්පජ්ජ මාතුකුච්ඡියං,
සදේවකං තාරයන්තෝ
බුජ්ඣස්සු අමතං පදං”
“මහා වීරයාණෙනි, ශ්‍රී සම්බුද්ධත්වය පිණිස මේ ඔබට කාලයයි. මිනිස් ලොව මව්කුසෙහි
පිළිසිඳ ගත මැනැව. සදේවක ලෝකයා භව සයුරෙන් එතෙර කරවීම පිණිස අමෘත පදය නම් වූ ශ්‍රී
සම්බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා!”
සන්තුසිත දෙව්රජාණෝ
පස්මහ බැලුම් බලති
ඇරයුම පිළිගත් අප මහා බෝසතාණන් වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය සහ මව් යන පස් මහා
බැලුම් බැලූ සේක. මෙහි කාලය යනු ධර්මය අවබෝධ කිරීමට හැකි කාලයයි.
මිනිස් ආයුෂ සිය වසරට අඩු වූ කල්හී එය සුදුසු කාලය නොවේ. මිනිස් ආයුෂ ලක්ෂයට වැඩි
වූ කල්හි එය ද සුදුසු කාලය නොවේ. එකල මිනිස් ආයුෂ එකසිය විස්සක් ව තිබුණු හෙයින්
සුදුසු කාලය බව අප මහා බෝසතාණෝ දුටහ. බුදුවරු පහළ වන ද්වීපය කුමක්දැයි විමසූ කල්හි
එය වනාහී ජම්බුද්වීපය යැයි මැනැවින් දුටු සේක.
සම්මාසම්බුදු, පසේබුදු, මහා ශ්‍රාවක, සක්විති ආදී මහා පුණ්‍යවන්තයින් පහළ වන්නේ කවර
දේශයකදැයි බැලූ කල්හී මධ්‍ය දේශය වශයෙන් දුටු සේක. මෙම මධ්‍ය දේශය වනාහී දිගින්
තුන්සීයක් යොදුන් ඇති, පළලින් දෙසිය පනසක් යොදුන් ඇති වටින් නවසියයක් යොදුන් ඇති
ප්‍රදේශයකි. කපිලවස්තු පුරය ද මෙම මධ්‍ය දේශයේ පිහිටියේ ය.
සම්බුද්ධත්වයට පත්වන ආත්මභාවයෙහි බෝසතාණන් වහන්සේලා උපදින්නේ රාජ වංශයෙහි හෝ
බ්‍රාහ්මණ වංශයෙහි පමණි. මෙසේ කුලය පිළිබඳව විමසද්දී සුද්ධෝදන රජ පරපුරෙහි ඔක්කාක
රාජවංශය දුටු සේක.
පිළිසිඳ ගැනීම පිණිස සුදුසු බෝසත් මාතාව සොයන කල්හි පූරිත පාරමිතාවන්ගෙන් හෙබි
පාරිශුද්ධ සිල් ඇති උතුම් ගුණයන්ගෙන් අනූන වූ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ
මහාමායා නම් දේවිය දුටු සේක.
පින් ඇති මව්කුස පිළිසිඳ ගන්නේ
ඒ ඇසළ මැදි පොහොය දවස යි. කිඹුල්වත්පුර වාසීහු නැකැත් කෙළියෙහි යෙදෙමින්
ප්‍රීතියෙන් සතියක් ම ගත කළහ. මහාමායා බිසොවුන් වහන්සේ සුවඳ පැන් නහා පිවිතුරු වත්
හැඳ දන් පැන් පුදා ශ්‍රී යහන් ගබඩායෙහි සුව සේ නිදා සිටියහ. එකල්හි ඕතොමෝ එක්තරා
සිහිනයක් දුටුවා ය. සතරවරම් දෙව්මහ රජදරුවෝ නිදා සිටි බිසොවුන් වෙත පැමිණියහ.
ඇය සැතපී සිටි යහන සමඟින් හිමවතට ඔසොවා ගෙන ගියහ. එහි සුවිශාල හිරියල් ගල්තලායෙක
සුපිපි මලින් හෙබි සල් රුකක් විය.
දෙවිවරු බිසොවුන් නිදා සිටි යහන ඒ සෙවණෙහි තැබූහ. එකල්හී එම දෙව් රජ දරුවන්ගේ
අග්‍රමහේෂිකාවෝ සිව් දෙන එහි පැමිණියහ. මහාමායා බිසොවුන්ගේ මනුලොව හැඳී සළුපිළි
හරවූහ. අනවතප්ත විලෙන් සිහිල් දිය නැහැවූහ.
දෙව්සළුපිළිහැන්දවූහ. දිවමල් පැළඳවූහ. දිව සුවඳවිලවුන් ගැල්වූහ. මැනැවින් සැරසූහ.
ඉක්බිති අනවතප්ත විල් තෙර පිහිටි රිදී පර්වතයෙහි ඇති රන් යහනෙක බටහිරට සිරසලා
සැතැප්පවූහ. එකල්හී වලා අතරින් නිල් අහස් කුසින් සුදෝ සුදු පැහැයෙන් යුතු මනස්කාන්ත
සෝභා ඇති කුඩා ඇත් පැටවෙක් පැමිණියේ ය. සුදු නෙළුම් මලක් සොඬෙහි රඳවාගෙන තිබුණි. හේ
බිසවුන් වහන්සේ වටා තුන් වරක් පැදකුණු කළේ ය. බිසොවුන්ගේ දකුණු ඇලයෙන් කුසට ඇතුළු
වූයේ ය.
එකෙණෙහි මහාමායා බිසව මහත් සතුටකින් යුතුව සිනහ සෙමින් අවදි වූවා ය. ඕ තොමෝ තමා
දුටු ස්වප්නය සුදොවුන් මහරජාණන් හට දැන්වූවා ය. අනාවැකි පළකරන ස්වප්න ශාස්ත්‍රය දත්
බ්‍රාහ්මණවරු පැමිණ කරුණු හෙළි කළහ. “පින්වත් රජ්ජුරුවන් වහන්ස, සතුටු වන සේක්වා.
ඔබ වහන්සේගේ දේවීන් කුස පින්වත් දරු ගැබෙක් පිහිටියේ ය. හේ වනාහී මහා පුරුෂෝත්තම
කෙනෙකි. ලෝ සතුන් හට සෙත සලසන කෙනෙකි.”
අප මහා බෝසතාණන් වහන්සේ මනුලොව පිළිසිඳගත් මොහොතේ දස දහසක් සක්වල පුරා ආලෝකයක්
පැතිරී ගියේ ය. ලොවෙහි මංගල සිරියක් ගත්තේ ය. ලෝකාන්තරික නරකය පවා ආලෝකවත් වූයේ ය.
උන්වහන්සේ උපන්දා යශෝධරා දේවීන් වහන්සේ ද පිළිසිඳ ගත්හ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද
පැනනැංගාහු ය. ඡන්න තෙමේ ද පිළිසිඳ ගත්තේ ය. කාළුදායී තෙමේ ද පිළිසිඳ ගත්තේ ය.
රාජමාලිගයෙහි ඉතා වංශවත් සෛන්ධව කුලයට අයත් කන්ථක අස් පොව්වා ද පිළිසිඳ ගත්තේ ය.
මනුලොව වඩිනා සේක
මහා බෝසතාණන් වහන්සේ මව් කුසෙහි සුව සේ වැඩෙනා සේක. සිය මෑණියන් සමඟ පිළිසඳර බස්
දොඩනා සේක. මහාමායා බිසවුන් වහන්සේ ද රත් පළසෙක තැබූ දෑරඟ මිණක් දක්නා සෙයින්
කුසෙහි වැඩෙනා සිඟිති දරු දකිමින් සතුටු වන්නාහු ය.
පිරුණු දසමසින් යුතු දරු ගැබ ඇති මහාමායා බිසව් තොමෝ දෙව්දහ නුවරට යනු කැමති වූවා
ය. මහාමායා බිසව් තොමෝ සරසන ලද යහනාවෙන් යුතු වූ පෙරහරකින් වඩිමින් සිටියා ය.
සිනිඳු ඡායාවෙන් හෙබි සුපිපි සල් මලින් හෙබි ලුම්බිණි සාල වනෝද්‍යානය අතරමගදී
මුණගැසුණි. දේවි තොමෝ සල් උයනයට පිවිසෙනු කැමති වූවා ය. පිරිවර සමඟ මහත්
ප්‍රීතියෙන් යුතුව සාල වනෝද්‍යානයට පිවිසි මහාමායා බිසොවුන් වහන්සේ එක්තරා සුපිපි
සල් රුකක් අසලට පැමිණියා ය. අත ඔසොවා එහි සල් අත්තක් අල්ලන්නට සූදානම් වූවාය.
එකල්හී එම සල් අත්ත තෙමේම පාත් වී ඇයගේ අතෙහි රැඳුණි.
එකෙණෙහි ම අපගේ බෝසත් කුමරු බිහිවන ලකුණු පහළ විය. මහාමායා දේවී තොමෝ මල් පිපී ගිය
සල් අත්තෙහි අත රඳවා සිටිවන ම සිටියා ය. එකල්හී දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස පූරිත
පාරමී ගුණයෙන් ශෝභමාන වූ අප මහා බෝසතාණන් වහන්සේ ධර්මාසනයකින් බස්නා ධර්මකථිකයකු
සෙයින් මවට දුක් නූපදවා මනුලොව වැඩිසේක.
එදා වෙසක් පොහෝ දවසකි. ඒ මින් වසර දෙදෙහස් හයසිය හතළිස් පහකට පෙර ය. මහා
බ්‍රහ්මරාජවරු සිව්දෙනෙක් පැමිණ රන් සළුවෙකින් සිඟිති බෝසත් දරුවාණන් පිළිගත්හ.
එකල්හි සිසිලෙන් යුතු හා උණුසුමෙන් යුතු දිය දහරා දෙකකින් මේ උතුම් මව් පුතු දෙදෙනා
නැහැවී ගියේ ය. ඉක්බිති සතරවරම් දෙව් මහරජ දරුවෝ බෝසත් පුතු පිළිගත්හ. මෑණියන් අතට
දුන්හ. සිය මෑණියන්ගේ අතින් බිමට බට අප මහා බෝසතාණන් වහන්සේ මැනැවින් පොළොවෙහි
සිටගත් සේක. දස දිශාව මැනැවින් බලා උතුරු දෙසට සත් පියවරක් පෙරට වැඩි සේක. එකල්හී
පියවරක් පාසා මහ පොළොවෙන් පිපී ගිය නෙළුම් මතුවී සිඟති සිරිපා යුග පිළිගත්තේ ය.
උන්වහන්සේ දකුණත උඩට ඔසොවා දබරැඟිල්ල අහසට දිගු කොට මිහිරි බඹසර
විහිදුවමින් මෙසේ පැවසූ සේක.
“අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි
පුනබ්භවෝ’ති”
ලොවෙහි අගපත් කෙනා වෙමි මම්. ලොවෙහි වැඩිමල් කෙනා වෙමි මම්. ලොවෙහි
උත්තම කෙනා වෙමි මම්. මෙයයි අන්තිම උපත මාගේ. නොමැත මට දැන් පුනර්භවයෙක්.
එකල්හී දස දහසක් ලෝ දා ප්‍රීති සොම්නසින් ප්‍රකම්පිත විය. මහත් වූ ආලෝකයක් ලොවෙහි
පැතිර ගියේ ය. පිනිබර සිහින් වැසි පොදක් ලොව පුරා වැස්සේ ය. අවීචි නිරයෙහි පවා
මොහොතකට ගිනිදැල් නිවී ගියේ ය. සකල ලෝකවාසීන් තුළ මහත් සතුටක් පැනනැංගේ ය. |