පොසොන් පුර අටවක 2021.06.18
රැකවරණය
ජීවිතාරක්ෂාව මෙකල බෙහෙවින් අවධානයට ලක්ව ඇති මාතෘකාවකි. ලොව පුරා පැතිර පවත්නා
වසංගත රෝග බිය ඊට ප්‍රධානතම හේතුව ය. රෝග පීඩාදී අනතුරු හැරුණු කොට තවත් අනේකවිධ
අනතුරුවලින් රැකෙන්නට අපි විවිධ උපක්‍රම භාවිත කරමු. එහෙත් බොහෝ දෙනකුගේ අවධානය
යොමු නොවූ ජීවිතාරක්ෂක ක්‍රමවේදයක් ඇත. එහි සුවිශේෂත්වයක් ඇත. එය මවගෙන් හෝ
පියාගෙන් හෝ ලබාගත නොහැකි රැකවරණයකි. සහෝදර සහෝදරියන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන් හෝ
බාහිර සමාජයෙන් ලබාගත නොහැකි රැකවරණයකි. ඒ ධර්මයේ රැකවරණයයි. ධර්මයෙහි හැසිරෙන
පුද්ගලයා ධර්මය විසින්ම ආරක්ෂා කරන බවයි දහමෙහි සඳහන් වන්නේ.
ධර්මය තුළ අවධාරණය කරන ප්‍රධානතම අංගය සිල්වත් බවයි. සීලය නම් අප තුළ ගොඩනඟා ගත
යුතු යහපත් චරිත ශක්තියයි. එවැනි පුද්ගලයාගෙන් තමන්ට ආරක්ෂාව සැලසෙනවා සේ ම සමාජය ද
සුරක්ෂිත වන්නේ ය. ඒ, එවැන්නකු අතින් අන්‍යයන්ගේ ජීවිත හා දේපළවලට හානියක් නොවන
නිසා ය. බොරුවෙන් සමාජය රවටන්නේ නැති නිසා ය. කාමය වරදවා හැසිරීම, සුරා පානය සිදු
නොවන නිසා ය. බුදුරජාණන් වහන්සේ ගිහියාට හඳුන්වා දුන් නිත්‍ය ශීලය තුළ වන සුරක්ෂිත
බව මතය සමාජයක දියුණුව, රැකවරණය ගොඩනැඟෙනුයේ.
බෞද්ධයන් ලෙස අපි දිනකට අවම වශයෙන් දෙවතාවක් හෝ පන්සිල් සමාදන් වෙමු. කට පාඩමෙන්
පන්සිල් පද කියවූ පමණින් ඒ රැකවරණය ලද නොහැකි ය. එය ජීවිතයට ප්‍රායෝගික විය යුතු
ය.ඒ පිරිස් අතරට වැටෙනුයේ කීයෙන් කී දෙනාද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මන්ද
පංචශීලය තුළ සුරැකෙන සමාජයක් අප ඉදිරියේ නොවන බැවිනි.
මිනිස්කම ඉක්මවා ගිය තිරශ්චීනකම් නිසා මිනිසා විසින් ම තවත් මිනිසකුගේ ප්‍රාණය
උදුරාගනු ලැබීම, සාමාන්‍ය වී ඇත. කිසිදු හිරිකිතයකින් තොරව අනුන්ගේ දේපළ සොරා කෑම,
උදුරා ගැනීම අරුමයක් නොවන තැනට පත්ව ඇත. ආත්මාර්ථකාමීත්වයන් සපුරා ගනු පිණිස
මුසාවාදය පෙරට පැමිණ ඇත. කාමය වරදවා හැසිරීම, සුරාව තුළ මොන තරම් ආධ්‍යාත්මික
පරිහානියකට ලක්ව සිටිනවා ද? ඉදින් තමන් විසින් ම තමන්ගේ ගෙල සිර කරගනිමින් අනුන්ගේ
ද ගෙල සිර කරනු ලබන තත්ත්වයකට පැමිණීම තුළ අපට කවර නම් රැකවරණයක් සැලසේ ද?
සොබාදහමෙන් ලද මේ සා භයානක දඬුවම ඒ අධර්මචාරී බව නිසාම නොවේ ද? කොරෝනා වයිරසය අපට
මෙතෙක් වැරදුණ තැන් පිළිබඳව ප්‍රායෝගික ව ම පෙන්වා දී තිබේ. ඒ දැක දැකත් මිනිසාට
තවමත් අනුන් ගැන සිතන්නට ඉස්පාසුවක් නැති තරම් ය. සරලම උදාහරණයක් විමසමු. රෝග
ව්‍යාප්තිය පාලනයට නිර්දේශ කර ඇති මුඛ ආවරණය නිසි ලෙස පැළඳගෙන පාර තොටේ යන්නට
තරම්වත් සීලාචාරකමක් නැති මිනිසුන් මොන තරම් සිටිනවාද? ධනයට, නිලයට, බලයට,
කීර්තියට, රූපයට යට නොවුණු රෝගය මහා ගං වතුරකින් සියල්ල යටකර දමන්නා සේ භේද නොතකා
මිනිසුන් බිලිගනිමින් සිටී. අසල්වැසි ඉන්දියාවේ කනගාටු දායක ස්වභාවය ම ඊට නිදසුන්
ය. ජීවිතයේ අස්ථිර බව දැක දැකත් තවමත් ආත්මාර්ථකාමී මිනිසුන් මොන තරම් දීන
කාර්යයන්හි නිරත වනවාද? බලවත් වූ ලෝභ, ද්වේශ, මෝහා දී අකුසල සිතිවිලිවලින් පව් රැස්
කර ගන්නවා ද?, එහි අවසානය නම් ඛේදජනක ම ය. අප ධර්මානුකූල නොවන තාක් ඒ බිය ජනක අත්
දැකීමෙන් බේරී සිටිය නොහැකි ය. ඒ ගැන සිතන්නට, සිතිවිලි ක්‍රියාවට නඟන්නට මේ හොඳම
කාලයයි. ධර්මය හැර අන් රැකවරණයක් නැත.එය ළඟා කරගත හැක්කේ ද තමන් ට ම ය. ඇවැසි ඒ ගැන
අවදිමත් වීම ය. |