බෞද්ධ ජීවිතය කෙසේ විය යුතුද?
ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති
අග්ගමහා පණ්ඩිත
මකුලෑවේ විමල මහා නා හිමි
" සතර මහා දිවයිනට අධිපති සක්විති පදවිය ලබනවාට වඩා මම හොඳ බෞද්ධයෙක්මි’
යමකුට අවංක ව ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් ඇතොත් මනුලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ඔහු ලෙස
සැලකිය හැකි ය."
මනුෂ්‍යයකුට ආගමක් අවශ්‍ය වන්නේ තම තමාගේ විමුක්තිය සඳහා පින් රැස් කර ගැනීමටයි.
පින් අවශ්‍ය වන්නේ ඒ මිනිස් ජීවිතය සඵලවත් කර ගැනීමටත්, සසර දුකින් නිදහස් වීමටත්
ය.
මේ නිදහස් වීමේ මාර්ගය දේශනා කළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක
නිපාතයෙහි පුඤ්ඤාභිසන්ද සූත්‍රයෙහි පින් රැස් කර ගන්නා ආකාරය පැහැදිලි කළහ.
ස්වර්ග, මෝක්ෂ සියලු සැප සම්පත් ගෙන දෙන්නා වූ කුසලෝත්පත්ති තුනක් ප්‍රධාන වශයෙන්
එහි දැක්වෙයි. බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මය සරණයාම, සංඝයා සරණ යාම යන තෙරුවන්
සරණ යාම බුදු සසුනෙහි උසස් ම කුසල මාර්ගයක් ලෙසයි එහි ප්‍රකශ කොට ඇත්තේ.
එම තෙරුවන් ගුණ හැඳින සසරින් මිදීම සඳහා ඒ තෙරුවන සරණ කරගත්, පිහිට කරගත් තැනැත්තා
බෞද්ධයා යැයි අපි සලකමු. තෙරුවන් සරණ ගිය පමණින් ම ජීවිතයක් සකස් නොවේ. එසේ ම
සසරින් මිදීමට ද හැකියාවක් නැත. බුද්ධ ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේට වුවද සැප ලබන ක්‍රමයත්, සසරින් මිදීමේ ක්‍රමයත් පෙන්වනවා මිස,
එය ලබා දීමට නොහැකි බව.
“තුම්මේහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතෝ”
යන දේශනාවෙන් තමාගේ දියුණුව තමා විසින් ම සලසා ගත යුතු බව පෙන්වා දුන්හ. බුදුරජාණන්
වහන්සේලාට කළ හැක්කේ නිවැරදි මාර්ගය ලෝකයාට පෙන්වා දී ම පමණ යි. බුදුවරු
මැවුම්කරුවෝ හෝ ගැලවුම්කරුවෝ නොවෙති. මාර්ගෝපදේශකයෝ පමණි.
කෙනකුගේ ජීවිතය තවත් කෙනකුට සකස් කර දිය නොහැකි ය.
“අත්තාහි අත්තනො නාථො”
තම තමන්ගේ ජීවිතවලට වගකිය යුතු එක ම තැනැත්තා තම තමා ම ය.
“සුද්ධි අසුද්ධි පච්චත්තං - නාඤ්ඤ මඤෙඤා විසොධයෙ”
තමා හොඳ කෙනකු කරන්නේත්, නරක කෙනකු කරන්නේත් තමා විසින්ම ය. අර එක්කෙනා මේ එක්කෙනා
නිසා මට මේ ඉරණම සිදුවුණා යැයි වැරදුණ තැන අනුන් පිට වරද පැටවීමට බොහෝ අය කල්පනා
කරති. එහෙත් එය සාධාරණ ප්‍රකාශයක් නම් නොවෙයි.
බෞද්ධකම හෙවත් බුද්ධ ශ්‍රාවක බව ලබා ගැනීම ද පරම දුර්ලභ කාරණයකි. ඒ සඳහා මිනිසත්
බවත්, සම්බුදු සසුනත් විශේෂයෙන් අවශ්‍ය වේ. එබැවින් කරන ලද බොහෝ කුසල් ඇති කෙනකුට
විනා අනෙකකුට නියම බෞද්ධයෙක් විය නොහැකි ය. සතර මහා දිවයිනට අධිපති සක්විති පදවිය
ලබනවාට වඩා මම හොඳ බෞද්ධයෙක්මි’ යමකුට අවංක ව ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් ඇතොත්
මනුලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ඔහු ලෙස සැලකිය හැකි ය. ඒ නිසා තම බෞද්ධකමේ අගය හොඳින්
වටහාගෙන, මොන හේතුවක් නිසා වත් එය කෙලෙසා නො ගෙන ධර්මානුකූල ව තම ජීවිතය සකස් කර
ගැනීමට අප මහන්සි ගත යුතු ය.
“බෞද්ධ ජීවිතයක් සකස් කර ගත යුත්තේ කෙසේද යන්න”
“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානුසාසනං”
යන මේ බුද්ධානුශාසනාවෙන් ම අපට වටහා ගත හැකි ය. මේ ගාථා ධර්මයෙන් කියැවෙන පරිදි
සියලු පවුවලින් වැළකී දස කුසල ධර්මයන් රැස් කරමින් සිත පිරිසුදු කරගත්තේ නම් එය
බුදු කෙනෙකුන්ගේ පරම අනුශාසනය බව ප්‍රකාශ වෙයි. යමෙක් නියම බෞද්ධයෙක් නම් ඔහු මෙහි
උගන්වන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂා පූරණය තුළින් තම ජීවිතය සකස් කර ගැනීමට
වෑයම් කළ යුතු වෙයි. ඒ සඳහා තම ජීවිතය සිල්වත් කර ගත යුතු ය.
මෙහිදී අඩුම වශයෙන් පන්සිල්වත් ආරක්ෂා කර ගත යුතු ය. කයින් වචනයෙන් සිදුවන
වැරදිවලින් වැළකී සංවර වන විට භාවනා මඟින් සිත පිරිසුදු කරගෙන සිතේ දියුණුවක් ලබා
ගත හැකි වෙයි. හිත හදා ගත් බෞද්ධයාට තමාගේ පරමාර්ථය වූ නිවන කරා යොමු විය හැකි ය.
බෞද්ධ ජීවිතයක් සකස් කර ගත යුත්තේ මේ ආකාරයෙන් වුව ද මෙකල බෞද්ධයන් යැයි කියාගන්නා
සියයට අනූවක් පමණ අය බෞද්ධ ජීවිතයේ හරය නැතහොත් පරමාර්ථය කුමක් දැයි තේරුම් ගෙන ඇති
බවක් නො පෙනේ. ඇත්තෙන් ම අප බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ චරිතය ඉගෙන ගෙන ඒ
තුළින් කෙසේ ජීවිතය සකස් කර ගත යුතු ද යන්න නුවණින් අවබෝධ කර ගත යුතු ය.
පළමුකොට තමාගේ ආත්මාර්ථය සිදු කොට ගෙන දෙවනු ව පරාර්ථය සඳහා යොමුවීම වැදගත් බව
පෙන්වා දෙයි.
නියත විවරණ ලැබූ බෝධිසත්වයන් වහන්සේගේ පැතුම මෙහි දී අපගේ සිහියට නැගෙයි.
“බුද්ධොහං බෝධයිස්සාමි - මුත්තෝ හං මොචයෙ පරෙ
තිණෙණාහං තාරයිස්සාමි - සංසාරොගා මහබ්භයා”
මම පළමුකොට සසර සයුරෙන් එතෙර වෙමි. දෙවනුව සසර දුක් විඳින ජනතාව එතෙර කරන්නෙමි. මේ
බෞද්ධ සිද්ධාන්ත සෑම බෞද්ධයකුට ම පරමාදර්ශයකි. අපේ සමාජයෙහි බොහෝ දෙනෙක් පුරුදු වී
සිටින්නේ අනුන්ට උපදෙස් දීමට මිස තමන් හැදෙන්නට නො වෙයි. විශේෂයෙන් ම මේ සිරිත්
බහුල ව දක්නට ලැබෙන්නේ අපේ සිංහල බෞද්ධයන් තුළ යි. තමන්ට පන්සිල් ආරක්ෂා කරගත
නොහැකි ව, විවිධ දුසිරිත්වල යෙදී බැඳී ක්‍රියා කරමින්, භික්ෂූන් වහන්සේලාත්, බුද්ධ
ශාසනයත් උපහාසයටත් අපහාසයටත් ලක් කරති.
“නපරෙසං විලොමානි - නපරෙසං කතාකතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානි ච”
යන දේශනාව අනුව බලන විට බෞද්ධකම නම් අනුන් කරන හොඳ නරක විවේචනය කරමින් සිටින එක
නොවෙයි කළ යුත්තේ.
තමන්ගේ ළඟ ඇති අඩුපාඩු මොනවාදැයි නුවණින් සොයා බලා ජීවිතය සකස් කර ගැනීම යි.
එසේම බුද්ධ චරිතයේ හා බෝසත් චරිතවල ඉතා හොඳින් පෙන්වා දී තිබෙන කරුණාව, දයාව,
ඉවසීම, අල්පේච්ඡතාව ආදී ගුණ ධර්ම තුළින් තම ජීවිතය සකස් කර ගැනීමයි.
එහෙත් අද බොහෝ බෞද්ධයන් බෞද්ධකම අමතක කර දමා ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ යමක් හරි
හම්බ කරගෙන කා බී පී‍්‍රතියෙන් ජීවත් වීම වටිනා ජීවිතයක් ලෙසිනුයි සිතා සිටින්නේ.
ඇතැමෙක් සිතා සිටින්නේ ආලවකයන්, අංගුලිමාලයන් මෙන් සිය අඹු දරුවන්ටත්
අසල්වැසියන්ටත් බිය ගෙන දෙන ජීවිත ගත කිරීම වීරකමක් ලෙසටයි.
දේශපාලනයට ඈඳුණු තවත් පිරිසක් මොන ක්‍රමයකින් හෝ තමන්ට බලය ලබාගෙන කටයුතු කිරීම
ජීවිතයේ පරමාර්ථය ලෙස සලකාගෙන ක්‍රියා කරන බව පෙනේ. මේ අතර ඉතා ස්වල්ප දෙනෙක් පමණක්
තම ජීවිතයේ තමන්ටත් අනුනටත් යහපතක් වන ලෙස ජීවිතය සකස් කරගෙන, බෞද්ධකම තේරුම්ගෙන
ක්‍රියා කරති.
අද අප ශ්‍රී ලංකාව දෙස බැලීමෙන් කොතරම් දුරට බෞද්ධයා තම ජීවිත පරමාර්ථය තේරුම්
නොගෙන ක්‍රියා කරනවා ද යන්න අපට සිතා ගත හැකි ය. බොහෝ දෙනකු තමන් පරම්පරාවෙන්
බෞද්ධයන් වුවා මිස බුදු දහමේ උගන්වන කරුණු තේරුම් ගෙන බෞද්ධ ජීවිතය සකස් කර ගත්
බවක් පෙනෙන්නට නැත.
ඉතිරි කොටස වෙසක් අව අටවක
ජූනි 2 බදාදා පුවත්පතේ පළවේ. |