සසරෙහි භයානක බව
නුවණින් දකින්න
“බුද්ධ නම් වූ වචනය ම ශ්‍රේෂ්ඨ ය. බුද්ධ නම් වූ පදය ම උතුම් ය. දෙසවනට රසඳුනක් වන්
අනෙක් වචනයක් ලොව නැත්තේ ය.” බුදුරජාණන් වහන්සේ නම් වූ වචනය ම ශ්‍රේෂ්ඨ වන්නට නම්
බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුතු ය.
ඒ භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගැනීමට නම් උන්වහන්සේ කෙරේ ගුණ දැන පැහැදීමෙන් යුතු
ශ්‍රද්ධාව ඇති කරගත යුතු ය.
ඒ භාග්‍යවතුන් වහන්සේ “අරහං වන සේක”.
භාග්‍යවතුන් වහන්සේ සියලු දෙව්, බඹ මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන
සේක. ඝෝර වූ බලවත් දුක් ඇති භවයෙන් නිදහස්වීම පිණිස රාග, දෝස, මෝහ නම් වූ කෙලෙස්
මුළුමනින් ම බැහැර කළ සේක. සම්මා සම්බුද්ධෝ ආදී බුදු ගුණ කෙරේ දැන අවබෝධයෙන් යුතු ව
සිත පහදවා ගත යුතු ය.
විදර්ශනා ඥානාදී අෂ්ට විද්‍යාවන්ගෙන් හා ශීලාදි පඤ්ච දශ චරණයන්ගෙන් ද යුක්ත වන සේක.
එනම්, “විජ්ජාචරණ සම්පන්න වන සේක”.
ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මාර්ගයෙහි පරම සුන්දර නිර්වාණයට පැමිණි සේක. “ එහෙයින්
සුගත නම් වන සේක.
කාම රූප අරූප සංඛ්‍යා ත ලෝකත්‍රයෙහි කිසිත් ඉතිරි නොකර සියල්ල දැන වදාළ ඒ භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ “ලෝකවිදූ” නම් වන සේක.
තථාගත බුදුරජාණන් වහන්සේ ජාතිමාන, බලමාන, ධනමානාදියෙන් මත්ව මුළාව නොමඟ යන ජනයා
දමනය කිරීමට අන් සැමට ම වඩා සමත් හෙයින් “අනුත්තර පුරිසදම්ම සාරථි” නම් වන සේක.
දෙවි මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ අනුශාසකයාණන් වහන්සේ වන සේක. එනම් “සත්ථා දේවමනුස්සා,
නම් වන සේක”.
පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය ලෝකයාට අවබෝධ කරවන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
“බුද්ධ නම් වන සේක”. තථාගත බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍද්ධි, අනන්ත බලයෙන්
යුක්ත වන බැවින් “භගවා වන සේක.”
මේ බුදු ගුණයන් කෙරේ තම සිත ඔසවා තැබීම අවශ්‍ය ය. එයින් අදහස් කරන්නේ සසරෙහි ඇති
භයානක බව නුවණින් දකිමින් රාග, ද්වේෂ, මෝහ දුරු කිරිමට තම සිත ද පුරුදු පුහුණු වීම
ය. කැමැත්තක් ඇති කර ගැනීම ය. ධර්මයෙහි විස්තර කරන ආකාරයෙන්, බුදු ගුණ කෙරෙහි
අවබෝධයෙන් සිත පිහිටුවා ගැනීම සහ බුදු ගුණය සිතෙහි වැඩෙන්නට පටන් ගැනීම ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිනා ලෙස දැනෙන්නට පටන් ගැනීම ය. ඉන්පසු
සිත මුල් කොට ඇස, කන ආදී ඉන්ද්‍රියන්ගෙන් උපාදානය කර ගන්නා වූ රූප ශබ්ද මුල්කොට ගත්
කාමාදී කෙලෙස් ධර්ම බලවත් ලෙස යටපත් වෙන්නට වෙයි. එනම් “හිරු පායා නැඟ එන විට
ජලාසයක මතුපිට ඇති මඩ පත්ලට කිදා බැස උඩින් බැලූවිට පත්ල පෙනෙන්නා සේ සිත
ප්‍රභාස්වර වෙයි.” මේ ආකාරයෙන් බුදු ගුණ අවබෝධයෙන් සිතෙහි වැඩීම බුදුරජාණන් වහන්සේ
කෙරෙහි අත්‍යන්ත ප්‍රසාදයෙන් යුතුවීමක් ලෙස දැක්වේ.
අභිජ්ඣා (තමන් සතු වස්තුවලට ඇති දැඩි ආශාව) විෂම ලෝභය (අන් අය සතු වස්තුවලයට ඇති
දැඩි ආශාව) තරහව, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, ගුණ සමකර ගැනීම, ඊර්ෂ්‍යාව,
මසුරුබව, මායාව,කපටි බව, අකුසලයට තද බව, එකට එක කිරීම, මානය, අභිමානය, මදය,
ප්‍රමාදය නම් වූ මෙම කෙලෙස් සිතෙන් දුරුවන විට ද කෙලෙස්වලින් බැහැර වන විට ද සිතෙහි
පහළ වන්නා වූ ස්වභාවය මෙසේ විස්තර වේ.
බුදුගුණ කෙරෙහි සිත පිහිටුවාගෙන එම කෙලෙස් දුරු කරන ලද්දේ ද, ප්‍රහාණය කරන ලද්දේ ද
මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි සොම්නස ලබයි.
සොම්නසින් උපදින ඤාණය ලබයි. සොම්නසින් සහ ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමෝදයෙන්
නිරාමිස පී‍්‍රතිය හටගනී. පී‍්‍රතියෙන් යුත් සිත් ඇති අයගේ කය සන්සිඳෙයි.
සන්සිඳුණු කයක් ඇත්තා සුව විඳීයි. සුව ඇත්තාගේ සිත සමාධිගත වෙයි.
මේ ආකාරයෙන් සිත සමාධිගත වූ විට, පෙර කරන ලද පුණ්‍ය ධර්මයන්ගේ විපාක ලැබෙන විට එම
විපාක මුල්කොටගෙන සද්ධර්ම මාර්ගයට බාධා කර නො ගනී. ඒවගේ ම යම් වූ ද සැප විපාක
මාර්ගඵල අන්තරාවක් බවට ද පත් නොවේ.
බුදුරජාණන් වහන්සේ නම් වූ වචනය, පදය දෙසවනට සුවයක් වූවා පමණක් නොව මෙලොව ජීවිතය සුව
සේ ගත කරන උතුම් මනුෂ්‍යත්වයක් වන ආකාරයත්, ලෝකෝත්තර මාර්ගය සම්පූර්ණ වන ආකාරයත්
වටහා ගත හැකි ය.
බුදුරජාණන් වහන්සේ දැහැමි කතාවකින් ශ්‍රාවක සිත් සනසන සේක. එම දැහැමි කතාවෙන්
පෙන්වා දෙන මඟෙහි සමාදන් කරවන සේක. එම මඟෙහි ගමන් කරවීම පිණිස උනන්දු කරවන සේක.
ධර්ම මාර්ගයෙහි ගමන් කරවා නිරාමිස පී‍්‍රතියෙන් හටගත් සොම්නස සලසන්නේ ය.
මෙසේ බුදුරජාණන් වහන්සේ කෙරේ අත්‍යන්ත ප්‍රසාදයෙන් සිත සමාධියට යොමුවීම නිසා සිත
නිරෝගී වන්නේ ය. මෘදු සිතක් ඇතිවන්නේ ය. කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම බැහැර වූ සිතක්
වන්නේ ය. දහමින් ඔද වැඩුණු සිතක් වන්නේ ය. පහන් සිතක් වන්නේ ය.
මෙවැනි වූ ස්වභාවයට පත්වන සිත් ඇති අයකුට දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය
සත්‍යය දේශනාව අවබෝධය පිණිස හිමිකරුවෙක් වන්නේ ය.
ඔබ ද බුද්ධ නම් වූ වචනය, පදය අසන පමණකින් සැනසෙන අයෙක් බවට පත්වීමට නම් මේ මඟ ඔස්සේ
ගමන් කළ යුතු වන්නේ ය.
“මාර්ග විවෘත කොට ඇත්තේ ය. ජාති, ජරා, ව්‍යාධි මරණාදියෙන් නිදහස් වූ නිර්භය වූ
නිසැක වූ මේ මාර්ගයෙහි සුවසේ පී‍්‍රතියෙන් යා හැකි බවය. ඔබ ද සැදැහැති ව ආරද්ධ
වීර්යයෙන් යුතු ව දියුණු කරගත් ප්‍රඥාවෙන් යුතුව මෙම දහම් මඟට එකතු විය යුත්තේ යැයි
බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
දීපා පෙරේරා |