බුදු හාමුදුරුවෝ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
මෙම ලිපියෙන් අපේක්ෂා කරනුයේ අපගේ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේ
පිළිබඳවත්, උන්වහන්සේගේ උත්තරීතර බුදුගුණ පිළිබඳවත් කෙටියෙන් කරුණුූ කිහිපයක්
පැහැදිලි කිරීමට ය.
අප වැනි පුද්ගලයන්ට අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ගුණ සමුදාය නිසි ආකාරව නොවැටහෙන
ස්වභාවයක් ඇති බවත්, බුදු කෙනකුන්ගේ ගුණ වර්ණනා කොට නිම කළ නොහැකි බවත්, සත්‍යයකි.
උන්වහන්සේ මනුෂ්‍යයකු ලෙස ඉපදී, මනුෂ්‍යයකු ලෙස ජීවත් වී, මනුෂයකු විසින් දියුණු කළ
යුතු මානුෂීය ගුණධර්ම සංවර්ධනය තුළින් උතුම් බුද්ධත්වයට පත් වූ බැව් බුද්ධ චරිතය හා
බුදුදහම තුළින් අර්ථ ගැන් වේ. ඒ හෙයින් කාගේ හෝ ශිෂ්‍යයකු ලෙස හෝ පණිවිඩකරුවකු ලෙස
නොව මනුෂ්‍යත්වය තුළ සංවර්ධනය කරගත යුතු උතුම් බුද්ධිමය ශක්තිය දියුණු කර ගත්
උත්තමයකු ලෙස බුදුපියාණන් වහන්සේ හඳුන්වාදීම සුදුසු වේ.
උන්වහන්සේ පිළිබඳව හඳුනා ගැනීමට අපට ලැබෙන කදිම අවස්ථාවක් නම්, බුද්ධත්වය ලබා, සත්
සති ගත කොට, බෝ මැඩ සිට බරණැස ඉසිපතනයට පස්වග මහණුන් හමුවීම පිණිස වැඩම කරන අතරමග
දී හමු වූ උපක ආජීවක සමඟ සිදු වූ සංවාදය වැදගත් වේ.
“ඔබ වහන්සේ ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ඉන්ද්‍රියයන් පි‍්‍රයජනකයි. ඔබ වහන්සේ කිනම්
ගුරුවරයකුගේ පා සෙවණේ හැදෙන කෙනෙක්ද? කිනම් දහමක් අනුගමනය කරන්නෙක් ද? යනුවෙන් උපක
ආජීවක බුදුරදුන්ගෙන් විචාරා ඇත. එම ප්‍රශ්නවලට බුදුන් වහන්සේ ලබාදුන් පිළිතුර මෙසේ
ය.
න මෙ ආචරියො අත්ථි - මට ආචාර්යවරයෙක් නැත.
සදිසො මෙ න විජ්ජති - මා හා සමාන වූවෙක් නැත
සදෙවකස්මිං ලෝකස්මිං - දෙවියන් සහිත ලෝකයේ
නත්ථි මෙ පටිපුග්ගලො - මා හා සදිසි මා ඉක්මවා යා හැකි පුද්ගලයෙක් නොමැත යනුයි.
බුදුන් වහන්සේ “අප්පටිපුග්ගල” හෙවත් අසමාන පුද්ගලයෙකි. උන්වහන්සේ ගුණ සමුදායකින්
යුක්ත වන අතර, ඉන් සමහර ගුණාංග බුද්ධියට හා මනසට සම්බන්ධ වේ. සමහර ගුණාංග හදවත හා
බැඳේ. හදවත හා සම්බන්ධ කාරණා ලෙස කරුණාව පදනම් වූ ගුණාංග සැලකේ. උන්වහන්සේගේ මහා
කරුණාව උත්තරීතර ය. උන්වහන්සේ මනා ලෙස පුහුණු කළ බුද්ධිමය ශක්තිය හෙවත් ප්‍රඥාව
සෙස්සන් අතර, සුවිශේෂී වන හෙයින් අපි එයට මහා ප්‍රඥාව යැයි කියමු.
උන්වහන්සේගේ ගුණ පරිශීලනය කිරීමේ දී පැහැදිලි වන ගුණ ශාරීරික හා ආධ්‍යාත්මික වශයෙන්
දෙයාකාරයකින් පෙන්වා දිය හැකි ය. කායික ලක්ෂණ වශයෙන් උන්වහන්සේ තුළ පැවැති දෙතිස්
මහා පුරුෂ ලක්ෂණ, අසීති අනුව්‍යඤ්ජන, මංගල ලක්ෂණ, භ්‍යාමප්‍රභා මණ්ඩලය ආදිය හැඳින්
වේ. මෙම අධි මානුෂීය ලක්ෂණ උන්වහන්සේ තුළ සැබැවින් ම පැවතියේ ද යන සාකච්ඡාව සමහරුන්
විසින් බුදුන් ජීවමාන අවදියේ දී ද සිදුකර ඇත.
දීඝ නිකායේ හමුවන අම්බට්ඨ සූත්‍රය වැනි සූත්‍රවල මෙම ලක්ෂණ පිළිබඳව කරුණු දැක්වෙන
අතර, එම කරුණු ප්‍රතික්ෂේප කිරීමට කිසිවකුට හැකියාවක් නොමැත. එදා විසූ පොක්ඛරසාතී
බ්‍රාහ්මණයා බුදුන් වහන්සේගේ කීර්ති නාමය අසා සිය දක්ෂතම ශිෂ්‍යයා වූ අම්බට්ඨ
උන්වහන්සේ වෙත පිටත් කළේ ය. අම්බට්ඨ බුදුන් පසුපස යමින් උන්වහන්සේගේ දෙතිස් මහා
පුරුෂ ලක්ෂණ පිරික්සුවේ ය. අතීතයේ වේද ග්‍රන්ථවල මහා පුරිස
ලක්ෂණ ලියැවී තිබීම මෙම පරීක්ෂාවට හේතු විය.
සියල්ල දත් බුදුන් වහන්සේ අම්බට්ඨගේ සිත හඳුනාගෙන ඔහුට පෙනෙන ලෙස එම අභ්‍යන්තර
ලක්ෂණද්වය පිළිබඳ ඉද්ධාභිසංඛාරයක් පැවැත් වූ බව අම්බට්ඨ සූත්‍රයේ සඳහන් වේ.
උන්වහන්සේ බෝසතාණන් වහන්සේ කෙනෙක් ලෙස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ
කොට, කාලය, දීපය, දේශය, කුලය, මව යන පංච විලෝපනයන්ගෙන් අනතුරුව, මිනිස් ලොව
සුවිශේෂී පුද්ගලයකු ලෙස උපත ලබා ගත්හ. ඒ හෙයින් උන්වහන්සේ අප හා සමාන මනුෂ්‍යයෙක් ය
යන්න නොසිතිය යුතු කල්පනාවකි. එකිනෙකට වෙනස් අයුරින් මෙලොව උපත ලබන මිනිසුන් අතර,
බෝධිසම්භාර ධර්මයන් පිරූ උත්තමයෙක් අතිශයින් ම අපට වඩා වෙනස් සුදුසුකම්වලින් හා
ශාරීරික, බුද්ධිමය ශක්තීන්ගෙන් යුක්ත වීම විය යුත්තකි.
අද අප අතර උන්වහන්සේගේ දේශනා ඇත. පුද්ගලයකු විසින් සිය ජීවිත කාලය තුළ අවබෝධ කළ
නොහැකි, දේශනා කළ නොහැකි බොහෝ කරුණු එම ධර්ම දේශනා තුළ ගැබ් වී ඇත.
ඒ පිළිබඳව මැනැවින් පරීක්ෂා කිරීමේ දී බුදුන් වහන්සේ යනු මනුෂ්‍යයකු සේ ඉපිද,
මිනිසා සතු ක්ලේශයන් සුන් කොට, සුවිශේෂී අධිමානුෂීය පුද්ගලයකු ලෙස සකස් වූ
උත්තමයෙක් බැව් පැහැදිලි ය. එහෙත් මෙහිදී බුදුන් වහන්සේ මනුෂ්‍යයකු නොවේය යනුවෙන්
වරදවා වටහා නොගත යුතු ය. සැබැවින් ම උන්වහන්සේ මනුෂ්‍යයෙකි.
උන්වහන්සේ සුදොවුන් රජුට දාව, මහාමායා දේවියගේ කුසින් බිහි වූ බෝසත් කුමාරයකු ලෙස
හැදී වැඩී, කෙළි සෙල්ලම් කොට, සූසැට කලාවන් ඉගෙන, සිය තුරුණු වියේ දී විඳිය යුතු,
ලැබිය යුතු සියලු අත්දැකීම් සියල්ල නිසි ලෙස ලබා, යශෝධරා කුමරිය හා විවාහ වී, පිය
පදවිය ලැබූ මිනිසෙකි. මේ කාරණා දෙස බලන කල්හි ගිහියකු ලෙස උන්වහන්සේ තුළ මහා
පෞරුෂීය ලක්ෂණ තිබූ බැව් පෙනේ. සුත්ත නිපාතයේ පබ්බජ්ජා සූත්‍රයේ උන්වහන්සේ
පැවිදිවීමට හේතු පැහැදිලිව දේශනා කර ඇත.
“සම්බාධොයං ඝරාවාසො - රජස්සායතනං ඉති
අබෙහාකාසොව පබ්බජ්ජා - ඉති දිසවාන පබ්බජි”
මේ ගිහිගෙයි වාසය අතිශයින් බාධක සහිත ය. කෙලෙස් වැඩීමට ආකරයකි. පැවිද්ද ආකාශය වැනි
ය. මම පැවිද්දෙහි නිදහස දැක පැවිදි වීමී, පැවිද්ද සඳහා ගිහිගෙය හැර යාමට උන්වහන්සේ
පෙළඹුණේ මේ ලොව පවතින දුක නැමති යතාර්ථය අවබෝධ කර ගනිමින්, ඉන් මිදීමට විසඳුමක්
සෙවීමට බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මිනිසකු ලෙස ඉපිද, මිනිසෙක් විසින් විඳිය යුතු සැප සම්පත් විඳ, ළඟාකර ගත
යුතු සුව පහසුකම් ලබා, එහෙත් ඒ ආස්වාදය තුළ ඇති ආදීනවයන් දැක, එහි නිස්සරණය තේරුම්
ගෙන ඉදිරියට ගිය උත්තමයකු ලෙස බුදුන් වහන්සේ හැඳින්වීම නිවැරැදි ය.
උන්වහන්සේගේ වචනය පිළිබඳව පරීක්ෂා කිරීමේ දී ඒ තුළ සුවිශේෂී ලක්ෂණ ගණනාවක්
පැහැදිලිව පෙනේ. උන්වහන්සේගේ අෂ්ටාංග සමූපෙත ස්වරයන්හි බින්දු සුසරතා හා සුසණ්ඨාන
ආදී ලක්ෂණ අඩංගු වේ.
බින්දු යනු වචනයේ වටකුරු බවයි. උන්වහන්සේ දේශනා කරන විලාසය ඉතා මිහිරි ය.
ඉතිරි කොටස වෙසක් අව අටවක
ජූනි 2 බදාදා පුවත්පතේ පළවේ. |