ධර්මරාජයාණන් වහන්සේ
සිත් ඇසින් දැක ගන්න
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි
ඉතිහාසය පුරා සෑම දිනක ම නොවරදවා ම හිරුමඬල උදා වූ දහවල එකලු විය. සඳමඬල උදා වී
රාත්‍රිය පහන් විය. එහෙත් දන මන නම් වූ අඳුරු ගුහාව ගන බහල අවිඳු අඳුරින් නම්
අඩුවක් නො වී ය.
යුග ගණනක් පුරාවට සංසාර රඟමඬලේ නිෂ්ඵල රංගනයක යෙදී හතිවැටුණ දෙවි මිනිස් ප්‍රජාවට
සදාකාලික විශ්‍රාමයක අවශ්‍යතාව බලවත් ලෙස දැනුණත් ඒ සඳහා සැබෑ මඟ පෙන්වන්නෙක් නො වී
ය. මිසදිටු මායාකරුවන්ගේ කුදිටු වරපොටින් බඳින ලදුව අඳුරු මාවතක නිනව්වක් නොමැති
ගමනක යෙදී සිටි අසරණ ලෝ සතුන්ගේ ඇස්බැන්දුම් ගලවන්නට හැකි කිසිවෙක් හමු නො වී ය.
මෙලෙසින් මානව වංශයේ අති දීර්ඝ කාලයක් ගෙවී ගොස් මිසදිටු අඳුරු යුගයේ අවසානය උදා
විය. සත්‍යාලෝකයෙන් පැහැබර වූ දෙවි මිනිසුන්ගේ හද මැදුරු තුළින් පැන නැඟුන සාධුකාර
නාදයෙන් අහස පොළොව නින්නාද විය.
කඳුළැලි වෙනුවට හසරැල්ලත්, වෛරය වෙනුවට ආදරයත් අන්ධකාරය වෙනුවට ආලෝකයත් මිථ්‍යා
මාර්ගය වෙනුවට සම්‍යග් මාර්ගයත් පහළ විය. රැවටිලිකරුවන්ගේ මායා දැලින් අතමිදුන දෙවි
මිනිසුන්ගේ තුඩඟ තුඩඟ රාව දුන් “නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යන උදාන
ගීතය අතරක් නැතිව ඇසෙන්නට විය. ඉතිහාසයේ පුණ්‍යවන්ත වූ පළමු දිනය උදා විය.
එය වෙසක් පුන් පොහෝ දිනයකි. උතුරුසලු නැකත එළැඹි උදෑසන කාලයේ උතුරු දඹදිව හිමව්කුළු
වන අරණට යාබද ව පිහිටි රමණීය කපිලවස්තු රාජධානිය පෙර කිසිදා නොවූ අසිරි සිරියකින්
සෝභාමත් විය. වෙනදාට වඩා පහන් දොරින් අවදි වූ සුදොවුන් මහා නිරිඳුන්ගේ අගබිසව වූ,
දසමස් පිරුණ මව්කුස දරන දෙවඟනුන් පරයන රූ සෝභා ඇති පින්බර මහාමායා දේවීන් වහන්සේට
තම මාපියන් දැකීම සඳහා කිඹුල්වත් පුරයට යාම පිණිස සිතිවිල්ලක් පහළ විය.
එය දත් සුදොවුන් රජතුමා ආරක්ෂක රැකවල් යොදා රන් සිවිකාවක හිඳුවා රාජකීය පෙරහරින්
පිටත්කර යැවූහ.
මඟ දෙපස සිරි නරඹමින් වඩිනා මායා දේවියට තම නෙතු වසඟ කළ ලුම්බිණි සල් වන පියසේ සිරි
විඳ ගැනීමේ ආශාවක් පහළ විය. එය දත් රාජ භටයෝ හාත්පස රැකවල් යෙදූහ. සිවිකාවෙන් බිමට
බැස සල් ගස් අතරින් ඉදිරියට වඩිනා දේවියගේ රන්වන් ශරීරය සල් මල් රේණුවලින් හා ලාලිත
පවන් රොදින් සිප ගත්තේ ය. අහස්කුසින් ඇදහැලෙන දිවමල් මදාරා පරසතු සුගන්ධය මායාව
ඇතුලු රාජකීයයන්ගේ මන රන්ජනය කළේ ය. අහස්කුස රැස් වූ දෙවිවරුන්ගේ සාධු නාද හා
පසඟතුරු නදින් දිගන්තයම නින්නාද විය.
මුල පටන් අග දක්වා මලින් පිරී ගිය භද්‍රසාල වෘක්ෂ මූලයක් වෙත වැඩම කළ රන්වන් මායා
දේවියට තම කුස හොත් මහ බෝසත් පුත් කුමරු මිහිමඬලේ සිරිපා තබන්නට සැරසෙන බව දැනී
ගියේ ය. ශාක්‍ය කුමරියන් විසින් මායා දේවිය පිටතට නො පෙනෙනා සේ වටතිර අදින ලදී.
මායා දේවිය සල් අත්තක් අල්ලා ගැනීම පිණිස දකුණු අත දිගුª කරද්දී ඉහළ තිබූ සල්
අත්තක් පාත් වී ඇගේ අත ගත්තේ ය. කාමරාගය ප්‍රහීන නොකළ කිසිවකුටත් මායා දේවියගේ
සොඳුරු ශරීරය දැකිය නො හැකි බැවින් අරහත්ත බ්‍රහ්මරාජවරු සතර දෙනෙක් ආකාසයෙන් බිමට
බැස තිරයෙන් ඇතුළට පිවිස රන් දැලක් අල්ලා සිටියහ.
අහස්කුස සඳ - හිරු එකවර ම පෙනී ගියහ. දෙවි බඹුන්ගේ සාධු නාදය බලවත් විය. සිහිල්ව
හමන පවන් පොදින් දිව්‍යමය සුගන්ධයක් පැතිර ගියේ ය. ගලන ගංගාවෝ නතර වූහ. දිය ගොඩ
මලින් පිරී යද්දී සියලු සත්ත්වයන්ගේ සා පිපාසා දුරු විය. අපා ගිනිදැල් නිවී යද්දී
ලෝකාන්තරික නිරයට පවා ඒකඝණ වූ ආලෝක ධාරාවක් පැතිර ගියේ ය. අහසේ හා පොළොවේ ඉඳිකටු
අගක් පමණ වූ ද අවකාශයක් හිස් නොවී දෙවි බඹුන්ගෙන් පිරී ගියේ ය. දස දහසක් සක්වල එකම
සැණකෙළියක සිරි ඉසිලී ය. අරහත්ත බ්‍රහ්මරාජවරු රන්දැල අල්ලා සිටි මොහොතේ සාරා
සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස්, ඉස්, මස්, ලේ, රට, රාජ්‍ය, අඹු, දරුවන් දන් දී පාරමී පිරූ
අප මහසත් සිරි සිද්ධාර්ථ කුමරුන් රන් පිළිමයක් සේ බබළ බබළා රන්දැල මත සිරිපතුල්
පිහිටවූහ.
ඉන්පසුව සතරවරම් දෙව් රජවරු අඳුන් දිවි සමින් ද, රාජකීයයන් කසී සලුවෙන් ද පිළිගත්
පසු සුකෝමල සිරිපා පොඩි මිහිමඬල දෙසට දිගු කළ මොහොතේ රන් පියුම් මතුවී සිරිපා සිප
ගත්හ.
අහසින් වැටෙන මල් වරුසා මැද දස දිසා විලෝකනය කළ බෝසත් කුමරුවාණෝ උතුරු දිශාව බලා
සත් පියවරක් වැඩම කොට
“මම ලොවටම අග්‍ර වෙමි” යි සීහනාද කළහ.
එය ඇසූ දෙවියෝ නොහිම් තුති ගී කියා සාධුකාර නැංවූහ. අදවන් දිනෙක දෙවියන් සහිත ලෝකයා
විසින් ඓතිහාසික වූ ඒ පූජනීය මංගල්‍යය බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සිහිකරනු ලබයි.
ඒ අසිරිමත් බෝසත් උපතින් තිස්පස් වර්ෂයක් ගෙවුන දා නැවත ද පින්බර වෙසක් පුන් සඳ උදා
වී සිසිල් කිරණින් බුද්ධගයා පින්බිම ඒකාලෝක විය. සය වසරක දුෂ්කර ක්‍රියාව අතහැර
දැමූ මහා සත්ත්වයන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටා අස්සත්ථ බෝධිදෘම මුලයෙහි පහළ
වූ වජ්‍රාසනය මත අකම්පිත ව අසුන් ගත්හ.
ඒ මොහොතේ එහි පැමිණි මාර සේනාව පරාජය කිරීම පිණිස දකුණු ශ්‍රී හස්තය මිහිමඬලට දිගු
කර පාරමී ධර්ම සම්මර්ශනය කළහ. මර සෙනඟ හිස් ලූ ලු අත දිව ගියහ. ආනාපානසති සමාධියට
සමවැදුන මහා සත්ත්වයන් වහන්සේ රාත්‍රියේ පූර්ව යාමයේ දී පෙර විසූ කඳපිළිවෙල දක්නා
ඤාණ බලය ද, මධ්‍යම යාමයේ දී සත්ත්වයන් උපදින මියැදෙන ආකාරය දක්නා ඤාණ බලය ද අවසන්
යාමයේ දී අරහත්ඵල ඤාණ බලය සමඟ අනන්ත ඤාණ, ගුණ බලයන්ගෙන් සමලංකෘත වූ ලොව්තුරා බුද්ධ
රාජ්‍යයට පත් වූහ.
දෙතිසක් මංගල පෙරනිමිතිවලින් දසදහසක් සක්වා තල ඇලලී ගියේ ය. මහා භද්‍ර කල්පයේ සතරවන
වතාවට උදා වූ ඒ සම්බුදු හිරුමඬල අප මහා ගෞතම දම්රජාණෝ ය. නිම් හිම් නැති විමුක්ති
සුවයෙන් පිරි ඒ බුදු හදවතින් ‘අනෙක ජාති සංසාරං’ යන අමා ගීතය බ්‍රහ්මස්වර මිහිරෙන්
ගුවන්තලයට මුසු විය. අද දින ඒ ඓතිහාසික සම්බුද්ධත්ව මංගල්‍ය කෝටි ලක්ෂයක් සක්වල
පුරා දෙවි බඹුන් විසින් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව සිහිකරනු ලබයි.
බුද්ධ රාජ්‍යය ලබා සත්සති ගෙවූ භාග්‍යවතුන් වහන්සේ පස්වග තවුසන් සොයා ඉසිපතන මුව
වනයට වැඩම කොට ඇසළ පුන් සඳ උදා වී එන රාත්‍රී මුවදොර අනුත්තර ධර්මචක්‍රය ප්‍රවර්තනය
කළහ. දහ අට කෝටියක් බ්‍රහ්මයන් සමඟින් කොණ්ඩඤ්ඤ තාපසතුමා අමා නිවන් සුව අවබෝධ කළහ.
එතැන් පටන් පුරා පන්සාළිස් වසරක් සදහම් අමා වැසි ධාරාවෙන් අපමණ සත්ත්වයන්ගේ ගිනි
ගත් හදවත් සුවපත් කළ අපගේ ගෞතම දම්රජාණන් වහන්සේට දෙවි මිනිසුන්ගේ අපමණ ගෞරවාදරයක්
හිමි විය.
රජ මැඳුරට හා දුගී පැලටත් කුලීනයන් හා කුලහීනයන් වෙතටත්, පෝසතුන් හා දුප්පතුන්
වෙතටත් සමසිතින් වැඩම කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අපමණ සත්වග අජරාමර සුවය වෙත යොමු
කළහ.
ලෝ සතුන්ගේ නෙතින් නෙත ගැලූ කඳුලු ධාරා වියළී ගොස් විමුක්ති සුවයෙන් සුවපත් විය.
බිහිසුණු වනාන්තර රමණීය තපෝ භූමීන් බවට පත් විය. රජතුමාගේ පටන් දුගියා දක්වා වූ
මහජන මුලුව සිල්වත් ව ගුණවත් ව සම්බුදු පෙරහරට එකතු විය. චතුරාර්ය සත්‍යාවබෝධයෙන්
යුතුව ජාති, ජරා, ව්‍යාධි මරණ සෝ ගිනිදැල් නිවී ගියේ ය.
ධර්මරාජයන් වහන්සේගේ උප්පත්ති මංගල්‍යයෙන් පුරා වර්ෂ අසූවක් පිරෙන දා නැවත ද වෙසක්
සඳ උදා විය. කල්ප ගණනක් නො නැවතී ගැලූ මහා කරුණා අම ධාරා උල්පත නො පෙනී යන්නට ආසන්න
ව ඇත. උපවත්තන සාල වන උද්‍යානයේ අකලට පිපුණ සල් මල් එකිනෙක බිම පතිත විය. මල්ල
රජදරුවන්ගේ හා කුසිනාරා වාසීන්ගේ හැඬීමි වැළපීම් මැද ධර්මරාජයන් වහන්සේ යළි නො
නැඟිටිනා සෙය්‍යාවෙන් වැතිර ගත්හ.
සම්බුදු මෙහෙවර නිමවූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඬල අවසාන වතාවට විවර විය.
“මහණෙනි, අවසන් වතාවට නුඹ අමතමි. හටගත් සියල්ලම නැසෙත්ම ය. අප්‍රමාදී ව ධර්මයේ
හැසිරෙන්න.
“මේ අවසන් බුදු වදන අනුරාව දී නිහඬ විය. පහන්සිලක් නිවෙන සේ ධර්මරාජයන් වහන්සේ
පිරිනිවී සැනසුණහ.
ඒ අසිරිමත් තෙමඟුල පසක් කොට දක්නා ලද වෙසක් සඳමඬල උදාවන අද දින පින්වත් ඔබ සම්බුදු
ගුණ මහිමය සිහි කරන්න.ඒ අමා ධර්මයෙන් පේ වන්න. සඟරුවනගේ ආශිර්වාදයෙන් සුවපත් වන්න.
නවඅරහාදී බුදුගුණ මෙනෙහි කරමින් ඔබගේ සිත් ඇසින් ඒ ධර්මරාජයන් වහන්සේ දැක ගන්න. |