අටලෝදහම් හි නොසැලී සිටින්නට උපේක්ෂා සහගත සිතක් ඇති කර ගන්න
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක
ආචාර්ය
වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද
ඤාණරතන මහා නාහිමි
ලාභො අලාභො අයසො යසොච - නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා - අසස්සතා විපරිනාමධම්මා
පින්වත්නි,
අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල
සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය ලංකාවාසී සිංහල බෞද්ධ ජනතාවගේ ජාතික දිනය ලෙස ද
සිහිපත් කිරීම වැදගත් ය.
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ලෝකධම්ම සූත්‍රයේ සඳහන් වන මෙම ගාථා පාඨයට අනුව
ලාභය, අලාභය, යසස, අයස, නින්දාව, ප්‍රශංසාව, සුඛය, දුක්ඛය යනාදී අනිත්‍ය වූ අශාස්වත
වූ මෙම අෂ්ට ලෝක ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරළෙන ස්වභාව ඇත්තාහ.
අෂ්ට ලෝක ධර්ම ලෝකය අනුව පෙරළෙයි. ලෝකය ද අෂ්ට ලෝක ධර්මයන් අනුව පෙරළෙයි.
පෘතග්ජනයාට මෙන්ම ආර්ය ශ්‍රාවකයාට ද එක සේ උපදී. එහෙත් පෘතග්ජනයාට වඩා ආර්ය
ශ්‍රාවකයා කෙරෙහි වෙනස්ව පවතී.
අශ්‍රැතවත් පුහුදුන් මිනිසා කෙරෙහි ලාභයක් උපන් විට ඔහු එය නුවණින් නොදකී. මට
ලාභයක් උපන්නේ ය, එය අනිත්‍යය, දුකය, පෙරළෙන ස්වභාව ඇත්තේ යැයි ඇති සැටියෙන් නොදකී.
ඔහු දුකක් උපන්නත් එය අනිත්‍යය, දුකය, පෙරළෙන ස්වභාය ඇත්තේය යනුවෙන් ඇති සැටියෙන්
නොදකී. ලාභයක් උපන් විට සිත සතුටින් පිරී යයි. අලාභයක් උපන් විට සිත මැඩගෙන සිටියි.
යසස, අයස කෙරෙහි ද එසේ ම ය. නින්දාව, ප්‍රශංසාව කෙරෙහි ද සිත මැඩ ගනී. සුඛ දුක්ඛයන්
කෙරෙහි ද එසේ ම ය. ලාභයක් උපන් විට ඇලෙයි. අලාභයක් උපන් විට විරෝධයට පත් වෙයි. අටලෝ
දහම කෙරෙහි ම එසේ පවතී. එසේ ඇලීම හා විරෝධයට පත් වූ ඔහු ජාති, ජරා, මරණ, ශෝක,
පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසාදියෙන් ද නොමිදෙයි. දුකෙන් නොමිදෙයි.
එහෙත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ලාභයක් උපන් විට එය අනිත්‍ය බව, දුක බව, පෙරළෙන
සුළු බව යථාභූත ව දැන ගනී.
අයසක් උපන් විට ද යසසක් උපන් විට ද, ප්‍රශංසාවක්, නින්දාවක්, සුඛයක් දුක්ඛයක් උපන්
විට ද එසේම සලකයි.
මට උපන්නා වූ දුක්ඛය අනිත්‍යය. එය පෙරළෙන සුළු ය යනුවෙන් දැන ගන්නා ඔහු ලාභයෙන් හෝ
අලාභයෙන් සිත මැඩ නොගනී. අවශේෂ ලෝක ධර්මයන් කෙරෙහි ද එසේම පවතී. ඔහු තුළ ඇලීම හෝ
විරෝධය නැති නිසා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසාදියෙන් සිත
මිදෙයි. සියලු දුකෙන් මිදෙයි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත්, අශ්‍රැතවත් පෘතග්ජනයාත්
අතර විශේෂත්වය මෙයයි.
ආර්ය ශ්‍රාවකයන් ඇතුළු ප්‍රඥාවන්තයන් මෙම අෂ්ට ලෝක ධර්ම ස්වභාවය නුවණින් දැන සිත
ඉෂ්ටාරම්මණ තුළින් කැළඹීමට පත් නොකර ගනී. අනිටු අරමුණුවලින් ගැටීමක් ද ඇති කර
නොගනී.
ඉෂ්ටාරම්මණ කෙරෙහි ඇලීමෙන් හෝ ගැටීමෙන් සිත මුදවාගෙන ක්ලේශයන් ප්‍රහීණ කළ සිත ඇති
ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් නිවන් මඟ හෙළි කර ගනී. මෙම අටලෝ දහම සනාතන දහමකි. ලෝකය
ඇති වූ දා සිට ඇතිවෙමින් පෙරළෙමින් පවත්නා ස්වභාවයකි.
ලොව උපන් සෑම මනුෂ්‍යයෙක් ම මෙම අටලෝ දහමට මුහුණ දිය යුතුය. අශ්‍රැතවත් පුහුදුන්
මිනිසා මෙන් අටලෝ දහමෙහි නොඇලී, කම්පා නොවී, නොසෙල්වී සිටිය හැකි නම් එය ඉතාමත් ම
අගනේ ය. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා මෙම ලෝක ධර්මයෙහිලා කම්පා වූයේ නැත.
අකම්පිත ව නොසැලී සිටියහ. එහි අනිත්‍යතාවය මැනවින් දත්හ.
තමන් කෙරෙහි ප්‍රශංසා කරන, ගෞරව බුහුමන් කරන. ලාභ ප්‍රයෝජන ගෙන දෙන අය කෙරෙහි සතුටට
පත් වී ඔවුන් කෙරේ ඇල්ම ඇතිකර ගැනීම හා අවමන් කිරීමක් හෝ කිපීමක් හෝ වෛර කිරීමක් හෝ
හමුවේ ගැටීම, විරෝධය ඇතිකර ගැනීම ද, ඒ ඉෂ්ට වස්තූන් කෙරෙහි ඇල්මක් හෝ අනිෂ්ට
වස්තූන් කෙරෙහි පිළිකුල් බවක් හෝ බැහැර කිරීමක් ඇති කර ගැනීම ද යන ගතිය ලෝකයේ
පවත්නා සාමාන්‍ය ස්වභාවයයි.
මෙම ලාමක ස්වභාවය පවත්නා තාක් සසර දුකින් මිදීමට නොහැකි බව ආර්ය ශ්‍රාවකයන් දැන
ගනී. එබැවින් ම උන්වහන්සේලා ලාභ, අලාභ, යස, අයස යන මේ අටලෝ දහම්හි සම සිත් ඇතිව
උපේක්ෂා සහගතව කටයුතු කරති. කොටසකට ඇලුම් කරන, කොටසකට වෛර කරන තැනැත්තාට කිසිදු
යහපත් ක්‍රියාවක යෙදෙන්නට නොහැකි වනවා ඇත.
උපේක්ෂා සහගත සිතක් ඇති කෙනෙකුට අටලෝ දහම්හි නොසැලී සිටීමට හැකිය. මේ අටලෝ දහම්හි
මධ්‍යස්ථ ව සිටින තැනැත්තාට එහි අනිත්‍යබව ගැන අවබෝධ කරගත් තැනැත්තාට ලෝක ස්වභාවය
මැනවින් දැන අටලෝ දහම්හි කම්පා නොවී මධ්‍යස්ථ ව කටයුතු කළ හැකි වේ. අටලෝ දහම පෙරළෙන
සුළු බැවින් ලාභය සමඟ අලාභයට ද ළං ළංව මුහුණ දීමට සිදු වෙයි. අතීතයේ මෙන්ම
වර්තමානයේ දී ද ධනය හමුවේ සොම්නස් වන ධනවතුන් ප්‍රකෝටිපතියන් බවට පත් වී උන් හිටි
ගමන් බලාපොරොත්තු නොවූ ආකාරයට අඥානවන්ත ව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධන හානියට
පත්ව, අන්ත අසරණ ව දිළින්දන් බවට පත් වූ අවස්ථා කොතෙකුත් වර්තමාන සමාජයෙහි ද දක්නා
ලැබෙන ධර්ම ස්වභාවයකි. අධර්මයෙන් ලබන ලාභයට වඩා ධර්මයෙන් ලබන ලාභය උතුම් ය.
බුද්ධාදී උත්තමයෝ ලාභ අලාභ දෙකෙහි දී ම අකම්පිත ව කණස්සලු නොවී ලැබෙන ආකාරයට
ඉවසීමෙන් කටයුතු කළහ. කෙනෙකුට යස අයස ද සැමදා එක සේ නොලැබේ. ඒවා ද පෙරළෙන සුළු ය.
කීර්ති ප්‍රශංසා ද හැමදා ම ලද නොහැකිය. නින්දාව ද එසේ ම ය. ඒවා විටින් විට මිනිසාට
උරුම වන ධර්ම ස්වභාවයන් ය.
බුද්ධාදී උතුමන්ට ද කීර්ති ප්‍රශංසා මෙන් ම නින්දාව ද, අයස ද ලැබුණු වාර බොහෝය.
බුදු හිමියන්ගේ අනන්ත අප්‍රමාණ ගුණයන්ට අද දක්වාත් ලෝක සත්වයාගෙන් යසස, කීර්තිය,
ගුණ ඝෝෂාව පිදෙයි. බුද්ධ කාලයේ දී ම දෙව්දත් තෙරගෙන්, අන්‍ය තීර්ථකයන්ගෙන් උන්
වහන්සේට එල්ල කරන ලද අපකීර්තිමත් නින්දා අපහාස දෝෂාරෝපණ අපමණ ය. එබඳු අවස්ථාවලදී
උන්වහන්සේ කිසිවකින් නොසැලී නිර්දෝෂී බැවින්, මුලාවට පත් නොවී මෛත්‍රී සිතින් ඒවා
ජයගත් හැටි බුද්ධ චරිතයෙන් දක්නා ලැබේ.
නින්දාව මෙන්ම ප්‍රශංසා ද ලෝක ස්වභාව බැවින් එකසේ දරා ගැනීමට හුරු විය යුතු ය.
බුද්ධි හීනයන්ගෙන් ලබන කීර්තියට වඩා නුවණැතියන්ගෙන් ලබන අපකීර්තිය උතුම් ය. ආර්ය
ශ්‍රාවකයන් වහන්සේ මේ දෙකෙහි ම සමව පවතී. අකම්පිත ව සම සේ පවතී.
සියලු සත්වයන් කෙරෙහි, සියලු වස්තූන් කෙරෙහි උපේක්ෂා සහගත ව, අටලෝ දහම් කෙරෙහි සම
සිත පතුරවමින් ඇලීම්, විරුද්ධවීම් දෙක දුරු කරමින් ඉෂ්ටා අනිෂ්ට සත්ව සංස්කාරයන්හි
උපේක්ෂා සහගත ව පැවතීමෙන් අටලෝ දහම කෙරෙහි මධ්‍යස්ථ ව විසීමට මෙම උතුම් වෙසඟේ
අදිටන් කර ගනිමු. |