දුටුගැමුණු මහ රජතුමා -
33:
මවගේ මරණය ගැන සිරිනාගට සැකයක්
දීඝජන්තු සිටුතුමාත් සිරිනාගත් අඩ හෝරාවකින් පමණ ජයනාථ සිටු මැදුර වෙත පැමිණියහ.
එහි පෙනුම මහේශාක්‍යය විය. මාලිගයේ දොරටුව වෙත පැමිණි වහාම අසුන් දෙදෙනා රැකවලුන්ට
භාර දෙන්නට යෙදිනි. භටයකු පැමිණ මේ දෙදෙනා සිටු මැදුර වෙත කැඳවාගෙන ගියේ ය.
ආලින්දයේ සිටි සිටුතුමාත් සිටුදේවියත් විසින් ඔවුහු පිළිගත්හ.
“එන්න සේනාධිපතිතුමනි, මේ අලුත් සෙන්පතිතුමා මිට පෙර දැක ඇති බවක් මතකයට නැඟෙන්නේ
නැහැ. අපි විවේකාගාරයට ගොස් හිඳගෙන කතා බස් කරමු. “
“සිටුතුමනි, මේ සෙනෙවිතුමාට ඔබතුමා හමුවීම ඉතා වැදගත් බව පැවසුවා. එම නිසා මගේ
අනෙක් සියලු වැඩකටයුතු පසෙකලා ඔබතුමා හමුවීමට කැඳවාගෙන පැමිණියා.”
එය ඇසූ සිටු යුවළගේ කුතුහලය වැඩි විය. පුදුමයෙන් සිරිනාග දෙස බලා සිටියහ.
“සිටුතුමනි, මොහු ඔබට අමුත්තෙක් නොවෙයි. ඔබලාට ඉතා හිතවත්ව සේවය කළ බෝධිනාගගේත්
විමලීගෙත් පුත් සිරිනාග “
සිරිනාග සෙනෙවි වහා නැඟිිට ගොස් සිටු යුවළට වැඳ ආචාර කළේ ය.
“මහ සෙනෙවිතුමනි, මෙය පුදුම හමුවීමක්. බෝධිනාගගේ වියෝවීම අපට මහත් පාඩුවක්. ඔහු
අතුරුදහන් වූ දා සිට අපි තවමත් ඔහු ගැන සොයනවා.බෝධිනාග දක්ෂයෙක්. ඒ වගේම ශුරයෙක්.
කැලණිය, මාගම ආදී සෑම රාජධානියකම අගනගරයකම අපි ඔහුව සොයා බැලුවා. ඒත් කිසිම
ආරංචියක් ලැබුණේ නැහැ. ඉන්පසුව සිරිනාග අපට ඔබ සොයා ගන්නට අවශ්‍ය වුණා. ඔහු විශේෂ
ධුත මෙහෙවරක් සඳහා සොළී රටට යැවූ බව මිත්‍ර මහා සෙනෙවිගෙන් දැනගත්තා. ඒ අතරතුර ඔබගේ
මව වන විමලීගේ මරණය අසා අප බොහෝ දුකට පත් වුණා”
සිරිනාගගේ මුහුණේ වූ ශෝකය සැමටම දැකිය හැකි විය. ඔහු මහත් වේදනාවෙන් මෙන් හිස පහතට
නැඹුරු කර ගත්තේ ය. ඒ දුටු සිටුතුමාට ද සිටු දේවියට ද මහත් දුකක් ඇතිවිය.
“ඔබ පැමිණි විගස මෙවැනි දුක්බර පුවතක් කියන්නට සිදුවීම ගැන සිරිනාග මට සමාවෙන්න.”
සිරිනාග ඔබ මේ තොරතුරු දන්න බවක් මිත්‍ර සෙනෙවිට පවසන්න එපා. ඔබගේ මව්පියන්ගේ මරණය
ගැන තොරතුරු ඔබ දැනගත් විට එය ඔබට ඉවසිය නොහැකි වේදනාවක් වන නිසා ඒ ගැන තොරතුරු
දැන්ම ඔබට පවසන්නට එපා යයි මිත්‍ර සෙනෙවි මා සමඟ කිවා. ඒ නිසා ඔහු ඒ ගැන කියන තුරු
ඔබ ඉවසා සිටින්න. “
“සිටුතුමනි, අප මෙහි පැමිණියේ සිරිනාග සෙනෙවිතුමාට හොඳ නවාතැනක් සොයා දෙන ලෙසට
ඉල්ලා සිටින්නයි. මිත්‍ර මහා සෙනෙවිතුමා ඔහුගේ මන්දිරයේ නවාතැන් ගන්නා ලෙසට කියා
තිබෙනවා. නමුත් සිරිනාග කාටවත් කරදරයක් වෙන්නට කැමති නැහැ. “
“මහා සෙනෙවිතුමනි, සිරිනාගට වෙනත් නවාතැනක් කුමට ද ? බෝධිනාග සහ විමලී සිටි නිවස
අලුත්වැඩියා කරමින් පිරිසිදුවට තබා ගත්තා. අප වෙනත් කිසිවකුට ඒ නිවස දුන්නෙත් නැහැ.
විමලී මියගිය පසු බෝධිනාගට කුමක් වුණාදැයි දැනගන්නට නැතිවුණා. ඒ වුණත් කෙදිනක හෝ
ඔහු ආ දවසක භාර දෙන්නට නිවස හොඳ තත්වයෙන් තබා ගත්තා. දැන් අපි ඒ නිවස සිරිනාග
සෙනෙවිතුමාට සතුටින් භාර දෙනවා.”
“සිරිනාග ඔබ කුඩා කල සිටි නිවසේ ඉන්නට අකමැති නම් හෙට සෙනෙවි තනතුර ලැබුණු පසුව නිල
නිවසක් ලබා දෙන්නට පුළුවන්. “
“සේනාධිපතිතුමනි ඔබට පින් සිදු වේවා, මා කුඩා කල සිටි නිවසට ඉතාමත් කැමතියි. හැකි
නම් මට සේවකයන් දෙනනෙකු ලබා දෙන්න.”
“හොඳයි මම එය අද ම ඉටුකරන්නම්. නිවසට අවශ්‍යය සියලු දේ සමග ඔවුන් අද හවස ඒවි. මට
තවත් රාජකාරි රැසක් තිබෙනවා. අද දවස ඉතා කාර්යබහුලයි. මම යන්නම්. “
“හොඳමයි සේනාධිපතිතුමනි”, ඔහු සිටු මැදුරෙන් පිටවී ගියේ ය.
“සෙනෙවිතුමනි, අපට තවත් බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. ඒ සඳහා මගේ ලේඛන කුටිය වඩාත්
සුදුසුයි. අපි එතනට යමු.” සිටුතුමා ආලින්දයෙහි වම් පස වූ කුටියට ඇතුල් විය.
එය සුවපහසු සිසිල් සුළං හමන කුටියක් විය. කුඩා පුස්තකාලයක් බඳු වූ එහි මේසයක් තබා ඒ
වටා ආසන කිහිපයක් තබා තිබිණි.
“සිරිනාග ඔබේ මව්පියන්ගේ විස්තර මම අලුතින් කියන්න දෙයක් නැහැ. ඔබගේ මවගේ මරණයේ
සියලු අවසාන කටයුතු මා විසින් සිදුකළා. මවගේ මරණයෙන් පසු ඔබගේ පියා බෝධිනාග
අතුරුදහන් වුවා. ඔහු නැවත ඒවි යැයි අප විශ්වාස කරනවා. නමුත් ඔහු සතුරකු විසින්
මරාදමනු ලැබුවාද ? නැතිනම් පණ බේරාගෙන පැන ගියාදැයි අපට තීරණය කරන්න බැහැ . “
නිහඬව ශෝකයෙන් බලාසිටි සිරිනාග මව්පියන්ට සිදුවූ දෙය තවදුරටත් දැනගැනීමේ කැමැත්ත පළ
කළේ ය.
“සිටුතුමනි, මගේ අම්මා කිසිවකු විසින් මරාදමනු ලැබුවා ද ? නැතිනම් ලෙඩදුක් සෑදී
මැරුණා ද ?”
“නැහැ, සිරිනාග ඇයට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. ඉතා කඩිසරව ගෙදර, වතුපිටිවල වැඩ කර
ගත්තා. අපටත් උදව් කළා. ඔබේ මව්පියන් හරිම සමඟියෙන් ජිවත් වුණා. එකිනෙකාට උදව් කළා.
“
“ලෙඩක් දුකක් නැතිව සිටි අම්මා හදිසියේ ම මියගියේ කෙසේද ?”
“අපටත් එය හරිම ගැටලුවක්. “
“ඔබේ මවගේ එකම සහෝදරිය, විමලී බිසව මියගිය දින ඈ ඉතා ශෝකයෙන් පසුවූවා. ආදාහන කටයුතු
අවසන් වනතුරු දින දෙකක් රජගෙදර නැවතුණා. ගෙදර එන විටත් ඇයට උණ සැදී තිබුණා. මළගෙදරට
බොහෝ වෙහෙස මහන්සි වීම නිසා අසනීප වුවා යයි සිතු බෝධිනාග ගමේ වෙදමහතාගෙන් බෙහෙත්
අරන් දුන්නා. නමුත් රෝගය උත්සන්න වුණා. පසුදා වෙදමහතා ගෙදරට පැමිණ ලෙඩාව පරික්ෂා
කළා. “සොයා ගන්නට බැරි ලෙඩක් “ බව ඔහු කිවා. විමලී මළා.
බෝධිනාග දුක දරාගන්න බැරුව හඬා වැලපුණා. “
අයන්ති විතාන |