[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එයින් හිමි හුරු කළා වූ ශාන්තිය මට ලැබේවා

එයින් හිමි හුරු කළා වූ ශාන්තිය මට ලැබේවා

මානවයාගේ ආරම්භය කවදා සිදු වුණාදැයි කිසිවකුටත් නිශ්චිත ව කිව නොහැකි ය. මානව විද්‍යාඥයින් මේ පිළිබඳ විවිධ වූ පර්යේෂණ සිදු කොට ඇත. දැනට වසර කෝටි පන්දහසක් හය දහසක් පමණ අතීතයෙහි මානවයාගේ සම්භවය සිදු වන්නට ඇතැයි ඔවුහු මත පළ කරති. එහෙත් එය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් බැසගත් නිගමන නොව අනුමාන පදනම් කොට බැසගත් නිගමනයි.

කෙසේ වෙතත් මානවයාගේ සම්භවයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව නම් සත්‍යයකි. අති දීර්ඝ මානව ඉතිහාස ගමන් මඟෙහි සුවිශේෂ හැරවුම් ලක්ෂය ක්‍රි. පූ. හයවන සියවසෙහි භාරතයේ පිහිටි ගයාවෙහි සිදු වූ බව අවිවාදිතව ලෝකවාසී සියල්ලන්ම පිළිගන්නා මතයකි.

එනම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ අසිරිමත් බුද්ධත්වයයි. කුලය, ධනය, බලය හා නිලය පසෙක ලා ආධ්‍යාත්මික ගුණයට ගෞරව දක්වන මානව සමාජයක් බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දීම මානවයින්ගේ හැරවුම් ලක්ෂයේ සුවිශේෂිතම ලක්ෂණයයි. මිනිසුන්ගේ ආධ්‍යාත්මික උත්තරීතර මිනිස් ගුණධර්මවලට ගෞරව සම්මාන දක්වමින් එය පෙරටු කොටගත් සමාජයකට ලෝකවාසී ජනතාව හුරුපුරුදු වීමට පටන්ගත් උතුම් දවස වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි.

සැදැහැති බොදුනුවන් බුදු බණ පදයක් ඇසීමට දක්වන කැමැත්ත ද අසීමිත ය. ඒ බුදු බණ පද අසන්නේ බුද්ධශ්‍රාවක මුවිනි. බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බුදු බණ පද ඇසීමට ඇති නම් එය මොන තරම් භාග්‍යයක් ද? ප්‍රවීණ ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් සුලවතාණන්ගේ පන්හිඳීන් ගිලිහුණ ප්‍රශස්ත ගායක වික්ටර් රත්නායකයන්ගේ මුවින් ගැයෙන මෙම පදවැල අද වැනි දිනක යථෝක්ත අදහස් අපට සිහි ගන්වයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහළ මැනවි බුදු බණ
මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්...

වර්තමානය වන විට නිවන් මඟට පිළිපන් බුදුන්ව හන්සේ ජීවමාන ව දැක ගන්නට නැත. ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිමාව පමණයි. කවියා මෙම නිර්මාණය ඉදිරිපත් කරන්නේ ගැමි පරිසරයක ජීවත් වන අව්‍යාජ සැදැහැවතකුගේ හද පත්ළෙහි ජනිත වූ සිතුවිලි ධාරාවක් ලෙසට ය.

සත්‍ය වශයෙන් ම ජීවමාන බුදුන් වහන්සේ අදටත් දැක ගත හැකි ය. ඒ පිළිම මඟිින් නොව උන්වහන්සේගේ ධර්මය දැකීමෙනි. ‘යො ධම්මං පස්සති සො මං පස්සති’ යන්න උන්වහන්සේගේම ශ්‍රී මුඛ දේශනාවයි. එය එසේම ය. එහෙත් සැදැහැවත් බුදු ශ්‍රාවකයෙකු ජීවමාන බුදුන් දැකීමටත් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බණ පද ඇසීමටත් දක්වන ආශාව අචින්ත්‍යයි. සිතා නිම කළ නොහැකි ය.

කියා නිම කළ නොහැකි ය.

එහෙයින් මේ ගීතයෙන් කවියා අනේපිඬුු සිටු පුතුට මෙන් ඔබ වහන්සේගේම ශ්‍රී මුඛයෙන් බුදු බණ පදයක් දේශනා කරන්න යැයි කළ ආයාචනය සත්සර සමඟ මුසු වී ඇසෙන විට සැදැහැවත් උපාසකයෙකු බුදුරුව පාමුල වැඳ වැටී බුදුරුව දෙස බලගෙන සිටින චිත්ත රූපයක් සහෘද මනසෙහි සිතුවම් වන්නේ ය.

ඒ නිවුණ සැනහුණ සුන්දර සිතුවිලි ගොන්නක් ද වටකරගෙන ය. එම පදවැල ඇසෙන විට ඒ වටා ශාන්ත නිසසල පරිසරයක් නිර්මාණය කරමින් සසර කතරෙහි විමුක්තිය සොයා යන අසරණ වූ චරිතයකට සරණ වන්නයැයි කළ ඉල්ලීමේ දෝංකාරයක් බව සිහිවෙයි.

ශ්‍රවණ මාර්ගයෙන් ඇතුළු වී ශ්‍රාවකයාගේ මනස අවදි කිරීමට කවියා සමත් වී ඇත්තේ ගොතන ලද පදවැල හා භාවිත විරිත මගිනි.

මෙම ගීතයේ සැදැහැවත් බොදුනුවකුගේ සිතෙහි උපන්ශද්ධාවේ අමිල බව ශ්‍රාවකයෙකුට වැටහෙන්නේ කවියා අනතුරුව පවසන පද පේළි මඟිිනි.

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්...

අප අද බුදුන් වහන්සේ දකින්නේ හෙළ කලාකරුවන් මහ කළුගල් තුළින් දැඩි ඉවසීමෙන් මතු කළ බුදුරුව මඟිනි.

එසේ බුදුරුවක් වීමට යම් කිසි ගල් පර්වතයක් යමෙක් තෝරා ගන්නේ ද එම ගල් පර්වතය අජීවි වුව ද ලෝකයේ මොන තරම් නම් භාග්‍යයක් ලද සොබාදහමේ නිර්මාණයක් ද? සෑම ගලකට ම බුදුරුවක් විය නොහැකි ය. සැදැහැවතුන් වන්දනා කරන්නේ ගලට නොව ඒ ගල මත නිර්මාණය වී ඇති බුදුරු මගින් ජීවත්වයට ගෙන එන අසීමිත බුදුගුණවලට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙම කථකයා බුදුරුවක්

නෙළීමට අවශ්‍ය ගලක් වීමට තමාට හැකියාවක් ඇත්තේ නම් ඕනෑම යකුළු පහරක් බුදුන් වහන්සේ පුරුදු කළ ඉවසීමෙන් කරුණාවෙන් ශාන්තියෙන් විඳ දරා ගනිමි යි යන ප්‍රතිඥාව දෙයි. එම ප්‍රකාශය තුළ ඇත්තේ ද අසීමිත වූ ශ්‍රද්ධා භක්තියයි.

වෙසක් පොහෝ දිනක සසර කතරෙහි එතෙර සොයන අව්‍යාජ වූ සැදැහැවත් අහිංසක ගැමි උවැසිය බුදුරුව දෙස දෙනෙත් දල්වා බලාගෙන ඔහුගේ මුවින් මෙම වදන් වැල පිටවන විට කාගේ නම් සිත්වල අසීමිත ශ්‍රද්ධාවක් නූපදින්නේ ද?

මෙසේ ගලක් මෙන් ම මලක් වීමට හැකියාවක් ලැබුණේ නම් එයත් මොන තරම් වාසනාවක් දැයි කවියා නැවතත් විමසයි. ලොව ඇති නොයෙක් වර්ණවත් සුවඳවත් හැඩ ඇති පුෂ්පයෝ බුදු පාමුල බුදු කරුණාවෙන් සැනසෙමින් බැබළෙමින් මලසුනේ වැතිරී සිටිති. අජීවි වස්තු වුව ද ඒ පුෂ්පයෝ කෙතරම් වාසනාවන්ත වන්නාහු ද?

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳීණ සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ
මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්...

මිනිස් ජීවිතය සසර කළ කුසල ශක්තියේ බල මහිමයෙන් තමන්ම දායාද කර ගත්තකි. එය එසේ ම ය. එහෙත් කවියා පවසන්නේ මලක් වී ඉපදුණේ නම් බුදුහිමි පාමුල බුදුන් වහන්සේගේ මහා කරුණාවෙන් අවට පරිසරය ද සුන්දර කරමින් වර්ණවත්, කරමින් සුවඳවත් කරමින් එදිනම සවස පරවී යාමට මට වරම් දෙනු මැනවි යන අහිංසක ආයාචනයයි.

වර්තමාන ලෝකය විවිධ ය. විෂම ය. අනේකප්‍රකාර විසූක දස්සනයන්ගෙන් අවිචාර වී පවතී. මිනිස් ගුණ සුවඳ වර්තමානය වන විට වල්වැදී ගොස් ඇත. එවැනි සමාජ පරිසරයක් තුළ ඔබ වහන්සේගේ පිළිරුව මවන්නට ගලක් වූයේ නම් ඔබේ පාමුල වැඳ වැටී පරව යන්නට හැකි මලක් වූයේ නම් මෙම නොමිනිසුන් ජීවත් වන අසම්මතය තුළ මා කෙතරම් නම් වාසනාවන්ත දෝ යැයි ව්‍යංග්‍යයෙන් කරන ප්‍රකාශයක් මෙම පදවැල තුළ ගැබ් වී ඇති බව විමර්ශනශීලීව සිතන විට සහෘදයාට පසක් වී යනු ඇත.

මෙවැනි ගීත ශ්‍රවණය කරවීමෙන් ගීත රචකයා වර්තමාන සමාජයට ලබා දෙන පණිවිඩයක් ද පද වැල තුළ දිව යන යටි පෙළ අරුතක් ද ඇත.

එනම් බුදු බණ පද අසා එයට අනුගතව, මානවවාදී ව ජීවත්වීමට කරන ආරාධනයයි. බුදු හිමියන් හුරු කළා වූ ශාන්තිය ලබා ගත යුතු බවයි.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]