[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2021.05.19

පිළිවෙත් පුරමු

“කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ” යන්න ඉතාමත් දුර්ලභ සිදුවීමක් අරභයා ජන සමජයේ ව්‍යවහාර වන්නකි. සම්බුදු දහම තුළින් ජනවහරට ආ මේ කියමන මිනිස් ජිවිතයට මා හැඟි දහමක් සිහිපත් කරයි. ඒ මිනිස් බවයක් ලැබීමේ අතිශය අපහසු බව ය.

ඒ කතාව මෙසේ ය. ගොවියා සී සාන නඟුලබැඳී වියගස බිඳී ගිය කල ඔහු එය ඉවත දමයි. මහා වැස්සකට හසුව ඒ වියගසේ කැබලි දෙක ඇළකට ගසාගෙන යයි. ඇළෙන් දොළටත්, දොළෙන් ගඟටත්, ගඟෙන් මුහුදටත් පාව යයි. මුහුදේ පාවෙමින් යන එම වියගසේ දෙකොටස එක් අවස්ථාවක දී එකට එක්ව සිදුරක් සෑදෙයි. වසර සියයකට පසු දිය මතුපිටට පැමිණෙන එක් ඇසක් පෙනෙන කැස්බෑවකුට එම විය සිදුරෙන් අහස බලන්නට හැකි වෙයි. එය අතිශය අමාරු කාර්යයෙකි. මිනිස් බව ලැබීම ද ඒ සා අසීරු ය.

එසේ දුර්ලභ ව ලද මිනිස් ජීවිතය තුළ මිනිස්කම රැක ගන්නෝ ද අතිශයින් දුලභ ය. නොමිනිස්කම ව්‍යාප්ත වී ඇති සැටියෙන් ම කුඩා දරුවකුට වුව එය වටහා ගැනීම අසීරු නැත.

“මනුස්ස” යන නාමය ලැබෙන්නේ ම උසස් මනසක් ඇති හෙයිනි. මිනිසා නො මිනිසකු වන්නේ මනසේ උසස් බව වටහා නොගෙන කටයුතු කිරීම නිසා ය.

මිනිසුන්ට නොමිනිසුන් ලෙස කටයුතු කිරීමට සම්බුදු දහම තුළ ඉඩක් නැත. බෞද්ධයන් ලෙස අප කිසිසේත් ම එතැනට වැටිය යුතු නැත. සම්බුදු දහම පුරා ම අපට අනුශාසනා කරන්නේ යහපත් ව ජීවත්වන ලෙසට ය. තමන්ට ද, අනුන්ට ද හිත පිණිස හැසිරීම් පවත්වා ගන්නා ලෙසට ය. මෙලොව ද, මරණින් මතු ජිවිතය ද යහපත් තැනකට පත් කරගන්නා ලෙස ය.

එහෙත් ඇතැමකුට එය සැණෙකින් මතකයෙන් ගිලිහී යන බවක් පෙනේ. ධර්ම ඥානය තිබුණ ද, බොහෝ දහම් කරුණු කට පාඩම් කර තිබුණ ද එය ජීවිතයට ප්‍රායෝගික කර ගන්නා බවක් නොපෙනේ. එයට ද හේතුව ධර්මයෙහි ඉගැන්වේ. එහි දී පංච නීවරණ ධර්මයන්ගෙන් සිත වසා ගැනීම ප්‍රධාන ය.

සිත අපිරිසුදු කරන, කුසලමය සිතිවිලිවලට බාධා කරන සිතිවිලි පංච නීවරණ ය. එනම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච හා විචිකිච්ඡාව ය.

කාම වස්තූන් නිසා ඇතිවන බලවත් ආශාව කාමච්ඡන්දයයි. පිරිසුදු ජල බඳුනකට යම් වර්ණයක් එක් කළ විට ඒ තුළ කිසිවක් නොපෙනෙන්නා සේ බලවත් ආශාව යහපත් සිතිවිලි යටපත් කරයි. අමතක කර දමයි.

රත් වී උතුරන ජල බඳුනක බුබුඵ නැඟේ. එහි දී ඇතුළත යමක් දැකිය නොහැකි ය. ව්‍යාපාදය ද එවැනි ය. එනම් දැඩි තරහවෙන් යුතු අවස්ථාවක යහපත් දෙය අමතක වෙයි.

උදාසීන, නිදිබර ස්වභාවය ථීනමිද්ධයයි. පාසි පිරුණු ජලයෙහි කිසිවක් නොපෙනෙන්නා ‍සේ එම නීවරණය ඇති තැනැත්තාට ද යහපත් දෙය නොපෙනෙයි. මතකයෙන් ගිලිහෙයි.

සිතේ නොසන්සුන්කම උද්ධච්චකුක්කුච්චය යි. සිතේ කැළඹීම හා තමන් කළ නොකළ දෙය පිළිබඳ ඇතිවන පසුතැවිල්ලයි. කැළඹුණු ජලය තුළ කිසිවක් දැකිය නොහැකි සේ මේ නීවරණය ද යහපත නො පෙන්වයි.

විවිධ දේ පිළිබඳ සැක උපදවා ගැනීම විචිකිච්ඡාවයි. එය ද භයානක ය. යහපත සඟවයි. බොර වූ දිය මෙනි. එහි ඇතුළත කිසිවක් නොපෙනෙන්නා සේ ය.

ජීවිතය යහපතට යොමු කරවීමට නම් මේ නීවරණ පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. සම්බුදු දහම ඒවා ප්‍රහාණය කිරීමේ මඟ අපට කියා දෙයි. මේ වෙසක් සමයේ අපගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් කරන වටිනා ම බුද්ධ පූජාව ප්‍රතිපත්ති ගරුකව ජීවත්වීම ය. මිනිසත්කමින් පිරුණු මිනිසෙක් බිහි කරන්නේ ප්‍රතිපත්ති ගරුක බවයි. දුර්ලභ ව ලද මිනිස්කමට වටිනාකමක් එක් කරන්නේ ද ප්‍රතිපත්තියයි.

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]