කවරයේ කතාව
රජගහනුවර සුනීත නම් චණ්ඩාලයෙක් විය. ඔහු අශූචි ඇද වීදි පවිත්‍ර කිරීමෙන් දිවි
ගෙවන්නෙකි. එහෙත් ඔහුට රහත්වීමට හේතු සම්පත් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ දිනක්
රජගහනුවර පිඬු පිණිස වැඩිහ. බුදුරජාණන් වහන්සේ සුනීත පවිත්‍ර කරන වීදියට වැඩි සේක.
සුනීත ඒ ඒ තැනින් අශූචි හා කසල එක් රැස්කොට කදින් නුවරින් පිටතට ගෙන යන්නේ ය. එම
අවස්ථාවේ දී භික්ෂු සංඝයා හා වඩිනා බුදුරජාණන් වහන්සේ දැක බියෙන්, තැති ගැන්මෙන්
ව්‍යාකූල ව ඉවත්ව යන්නට මඟක් හෝ සැඟවෙන්නට තැනක් නැති හෙයින් කසල කද බිමින්
තැබුවේය.
කරුණාවෙන් තෙත් වූ ළයැති බුදුරජාණන් වහන්සේ සුනීත වෙත පැමිණ මෘදු වූ හඬින් “සුනීත”
යැයි ඇමතීය. “මේ ආකාරයෙන් දුක සේ දිවි රැකීමෙන් කවර අර්ථයක් ද? පැවිදි වන්නට හැකි
දැයි ඇසූ සේක” බුදුරජාණන් වහන්සේගේ එම වචනය අසා, ඔද වැඩී ගිය සිතැත්තේ,
“භාග්‍යවතුන් වහන්ස, මා වැනි නීච කුලැත්තෙකුට මේ ශාසනයෙහි පැවිදි වීමට ඉඩක් දෙන්නේ
නම් පැවිදිවන්නට බැරි කිම?” එසේ නම් භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරන සේක්වායි
පැවසීය.
බුදුරජාණන් වහන්සේ සුනීතව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කළ සේක. සුනීත භික්ෂුව විහාරයට
කැඳවාගෙන ගොස් භාවනා පිළිවෙළක් කියාදුන් සේක. සුනීත ඒ අනුව භාවනා කොට පළමු
පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිය ලබා අනතුරුව විදර්ශනා වඩා ෂඩ් අභිඥා ඇති රහතන් වහන්සේ
නමක් වූයේ ය.
දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද ඒ සුනීත නම් රහතන් වහන්සේ කරා එළැඹ වන්දනාමාන කළහ. දේව
සමූහයා පිරිවැරූ තෙරුන් දුටු බුදුරජාණන් වහන්සේ සිනා පහළ කොට ප්‍රශංසා කරන සේක.
“ආයුෂ්මත් සුනීත, කිනම් කුලයකින් ඔබ නික්ම පැවිදි වුව ද, චතුස්සත්‍ය ප්‍රතිවේධය,
කළෝ දැ’යි විචාළහ. එවිට සුනීතයන් වහන්සේ තමන් පෙර අශූචි ඉවත් කරන ඉතා නීච චණ්ඩාල
කුලයක කෙනකු බව ද, බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් තමා පැවිදි කළ බව ද, බුද්ධ වචනය
පරිදි පිළිපැද කෙලෙස් දුරු කර රහත් වූ බව ද, ඉක්බිති ශක්‍රාදීන් පැමිණ තමාට නමස්කාර
කළ බව දැක බුදුරජාණන් වහන්සේ සිනා පහළ කර එම කරණු මුල් කොට දහම් දෙසූ බව ද පැවසේ. |