සම්බුදු දහම් මඟ කියන
ත්‍රිවිධ ශාසනය
හෝමාගම පුරාණ විහාරාධිපති
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
මාදෝවිට
වජිරබුද්ධි හිමි
සමස්ත සම්බුදු දහම,එහි
ක්‍රියාකාරීත්වය සහ අභිප්‍රාය නියෝජනය කරන දාර්ශනික සාධකය ලෙස ත්‍රිවිධ ශාසනය
හැඳින්විය හැකි ය. ත්‍රිවිධ ශාසනය ගැන මූලික පෙළ දහමට වඩා එම දහම විවරණය කළ අටුවා
සාහිත්‍යය තුළ කරුණු දක්වා තිබේ.
මහා අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමි විසුද්ධිමග්ගයේ මෙන්ම සංයුක්ත නිකාය අටුවාව වූ
සාරත්ථප්පකාසිනියේ මේ ගැන සාකච්ඡා කර ඇත. මෙකී ත්‍රිවිධ ශාසනය නම්, පර්යාප්ති ශාසනය
, ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය යි.
අප ගෞතම බුදුරදුන් පන්සාළිස් වසක් මුළුල්ලේ දෙව් මිනිස් සහිත සමස්ත ලෝකවාසීන්ට වදාළ
ධර්මය පර්යාප්ති ශාසනය නම් වේ. එය සංඛ්‍යාත්මක වශයෙන් අසූ හාර දහසක්
ධර්මස්කන්ධවලින් සමන්විත වේ.
බුදුරදුන් පහළ වූ මුල්ම කාලයේ එය ධම්ම, විනය වශයෙන් ද්විධ වූ අතර පසුව නවංග සත්ථු
සාසන වශයෙන් අංග නවයකට බෙදා ව්‍යවහාර කෙරිණි. අටුවාචාරීන් පවසන අන්දමට අසූහාර දහසක්
ධර්මස්කන්ධ අතුරින් අසූ දෙදහසක් ශ්‍රාවක භාෂිත ලෙස ද හැඳින් වේ.
නවංග සත්ථු සාසනය තුළ ද විවිධ ධර්ම කොටස් විස්තර වේ. බුදුරදුන් පර්යාය වශයෙන්
විස්තරාත්මක ව දහම් දෙසූ බව මජ්ක්‍ධිම නිකායේ බහුවේදනීය සූත්‍රයේ සඳහන් වේ. සූත්‍ර,
ගාථා, ව්‍යාකරණ හෙවත් විවරණ උදාන සොම්නස් දේශනා, ජාතක කතා වස්තු, ආශ්චර්යජනක
විසිතුරු තොරතුරු නවංග සත්ථු සාසන වශයෙන් සම්බුදු දහම වර්ගීකරණයේ දී හඳුනාගෙන ඇත.
එම නිසා ත්‍රිපිටක සාහිත්‍යය තුළ මෙම ධර්ම පර්යාය, සුත්ත, ගෙය්‍ය වෙය්‍යාකරණ, ගාථා,
උදාන, ජාතක, ඉතිවුත්තක, අබ්භූත ධම්ම වේදල්ල යනුවෙන් නම් කර ඇත.
ත්‍රිවිධ ශාසනයේ මූලික ශාසනය වූ පර්යාප්ති ශාසනය ලෙස බුදුන් වදාළ ධර්මය සඳහන් වේ.
තෙවැනි ධර්ම සංගායනා යුගය වන විට, එනම් ක්‍රිස්තුª පූර්ව තුන්වන සියවස වන විට
සම්බුදු දහම ත්‍රිපිටක ධර්මය ලෙස නම් කර විභජනය වී තිබුණි. බුදුරදුන් ජීවමාන කාලයේ
ම මෙම ත්‍රිපිටක බෙදීමට හේතුවූ මූල බීජ සම්පාදනය වී තිබූ බව මූලික සූත්‍ර
දේශනාවලින් ප්‍රකට වේ. බුද්ධ කාලයේ වැඩ විසූ භාණක තෙරවරු සහ සංගීතිකාරක තෙරවරු
සම්බුදු දහම දිවි හිමියෙන් රැක ගත්හ. ඒ අනුව පර්යාප්ති (පර්යත්ති) ශාසනය යනු,
සූත්‍ර පිටකය , විනය පිටකය හා අභිධම්ම පිටකය යනු ත්‍රිපිටක සාහිත්‍ය යි.
ත්‍රිපිටකය විවරණය කරමින් සම්පාදිත අට්ඨකතා සාහිත්‍ය, එම අටුවා විවරණය කළ ටීකා
සාහිත්‍ය සහ ප්‍රකරණ සාහිත්‍ය ද පර්යාප්ති ශාසනයේ සංවර්ධනාත්මක සාධක ලෙස සැලකිය
හැකි ය.
පර්යත්ති සාසනයේ දාර්ශනික හරය ලෙස සූත්‍ර පිටකය සැලකිය හැකි ය. බුදු දහමේ මධ්‍ය
දේශනාව පටිච්ච සමුප්පාදය යි.
බුදු දහමේ ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. ඒ තුළ සීල, සමාධි,
ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පරිපූර්ණ වේ. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන චතුරාර්ය සත්‍ය
ධර්මය සම්බුදු දහමේ හදවත බඳු ය. එම ආර්ය සත්‍ය සතරම ඒකාබද්ධ විෂය පථයකි. එම නිසා
චතුරාර්ය සත්‍යය බුදු දහමේ ඉගැන්වෙන ‘සමුක්කංසික’ දේශනාව ලෙස සම්භාවනාවට පාත්‍ර වේ.
ත්‍රිවිධ ශාසන ව්‍යවහාරයේ පර්යාප්ති ශාසනය ඔස්සේ ඉගැන්වෙන ත්‍රිපිටක සාහිත්‍යයේ
පළමුවැන්න වූ සූත්‍ර පිටකය නිකාය ග්‍රන්ථ පහකින් සමන්විත වේ. ඒවා නම්,
දීඝ නිකාය - (සූත්‍ර 34)
මජ්ක්‍ධිම නිකාය - (සූත්‍ර 152 )
සංයුක්ත නිකාය - (සූත්‍ර 7762 )
අංගුත්තර නිකාය - (සූත්‍ර 9557 ) හා
ඛුද්දක නිකාය - (කුඩා අනුකුඩා ග්‍රන්ථ පහළොවක එකතුවකි.) ය යි ඛුද්දක පාඨ, ධම්මපද,
උදාන, ඉතිවුත්තක සුත්ත නිපාත, විමාන වත්ථු, පේතවත්ථු, ථේරගාථා, ථේරිගාථා, ජාතක,
නිද්දේස, පටිසභිදාමග්ග, අපදාන, බුද්ධවංස, චරියා පිටක යන ග්‍රන්ථ ඛුද්දක නිකායට අයත්
වේ.
අටුවාචාරී බුද්ධඝෝෂ මාහිමියෝ සූත්‍ර පිටකයේ බොහෝ ග්‍රන්ථවලට අටුවා සම්පාදනය කළහ.
දීඝ නිකායේ අටුවාව සුමංගල විලාසිනිය යි. මජ්ක්‍ධිම නිකාය අටුවාව පපංචසූදනිය යි.
සංයුත්ත නිකාය අටුවාව සාරත්ථප්පකාසිනිය යි. මනෝරථපූරණීය අංගුත්තර නිකාය අටුවාව යි.
විනය පිටකය පාලි ග්‍රන්ථ පහකින් සමන්විත වේ.
පාරාජිකා පාලි, පාචිත්තිය පාලි , චුල්ලවග්ග පාලි , මහාවග්ග පාලි හා පරිවාර පාලි
යනුවෙනි.
විනය පිටකයට කළ බුද්ධඝෝෂ අටුවාව සමන්තපාසාදිකා නම් වේ.
පරියාප්ති ශාසනයේ අවසාන විභජන ක්‍රමය අභිධම්ම පිටකයයි. එය ප්‍රකරණ ග්‍රන්ථ සතකින්
සමන්විත වේ.
ධම්ම සංගණී ප්‍රකරණ, විභංග ප්‍රකරණ
ධාතු කථා ප්‍රකරණ , පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණ , කථාවත්ථුප්පකරණ, යමක ප්‍රකරණ හා
පට්ඨාන ප්‍රකරණ යනුවෙනි.
ඉහත විස්තර කළ පර්යාප්ති ශාසනය මැනවින් අධ්‍යයනය කොට පිළිවෙත් පිරීම
ප්‍රතිපත්තිගරුකවීම, දිට්ඨිය සහ ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගැනීම පටිපත්ති
(ප්‍රතිපත්ති) ශාසනය නම් වේ.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පිළිවෙත් පිරීම පිණිස ධුර දෙකක් නියම කළහ.
ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය යි.
සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කච්චාන, මහා කොට්ඨිත ආදී මහ තෙරවරු ග්‍රන්ථ ධුරය හෙවත්
ධර්මය වහාම අවබෝධ කර ගත්හ. චක්ඛුපාල ආදී තෙරවරු සහිත තවත් ආර්ය ශ්‍රාවක විශාල
පිරිසක් විදර්ශනා ධූරය වඩා සසර මග තරණය කළහ.
ගිහි - පැවිදි දෙපිරිසම එක ලෙස ප්‍රතිපත්ති ශාසනයෙහි නිරත වූ හ. සසර දුක, සසර බර
ලෙස දුටු ගිහි - පැවිදි ආර්ය ශ්‍රාවකයෝ මෙම බුදු මග අනුගමනය කරමින් බව තරණය කළ හ.
ප්‍රතිපත්ති ශාසනය පිරිය හැකි වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණි.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන් පිනවීම වෙනුවට එයින් නික්මෙන මාවත
සොයා ගමන් කළ සිද්ධාර්ථ තාපසතුමා එයටම ‘අරිය පරියේසන’ යන නම භාවිත කොට ඇත.
අරිය පර්යේෂණය බෞද්ධ විමුක්ති සංකල්පය සපුරා ඇත. ප්‍රතිපත්ති ශාසනයේ අරිය පර්යේෂණයට
අනුගතව ක්‍රියාකර ඤාණය සහ සම්මා විමුක්තිය උදා කර ගත හැකි ය. බෞද්ධ විමුක්ති
මාර්ගයේ පරම නිෂ්ටාව සසර ගමන නවතාලන නිර්වාණ ප්‍රත්‍යක්ෂය යි. එය ප්‍රතිවේධ ශාසනය
නම් වේ. ප්‍රතිවේධ ශාසනය සඵල කර ගැනීමට අනුගත ක්‍රමවේදයක් ඇත. එය බෞද්ධ සූත්‍රවල
සඳහන් වන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමි සහ අර්හත්ත මාර්ග - ඵල ප්‍රතිවේධය ලෙසට ය.
ප්‍රතිවේධ ශාසනයේ දී කෙලෙස් සංයෝජන ධර්මය සහමුලින් ම ක්ෂය වේ. ප්‍රහීණ වේ. සෝවාන්
ආදී මාර්ගඵල වලින් ප්‍රහීණ වන සංයෝජන ධර්ම දස සංයෝජන නම් වේ. ප්‍රතිවේධ ශාසනය සඵල
කර ගැනීමට නිවැරැදි දැක්ම, යෝනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්‍ර සේවනය අත්‍යවශ්‍ය වේ.
සම්පූර්ණ වශයෙන් කෙලෙස් ප්‍රහීණ කිරීම සමුච්ඡේද ප්‍රහීණය නම් වේ.
පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන මෙම ත්‍රිවිධ ශාසනය සීල, සමාධි, ප්‍රඥා යන
ත්‍රිශික්ෂාව මෙන් එකිනෙකට සම්බන්ධ වී ඇත. පළමුව ත්‍රිපිටක ධර්මය හෙවත් පරියත්ති
ශාසනය ආරක්ෂා කර ගත යුතු ය.
ක්‍රි.පූ. පළමු සියවසේ වට්ටගාමිණී අභය රජුගේ කාලයේ ඇති වූ දුර්භික්ෂ සමයේ මෙම තෙවළා
දහම රැක ගැනීමට එකල වැඩ විසූ තෙරවරු මහත් පරිශ්‍රමයක් දැරූහ. මෙම ත්‍රිපිටකාගත
පර්යාප්ති ශාසනය රැක ගතහොත් පමණක් ප්‍රතිවේධ ශාසනය ද රැකෙන බව කල්පනා කළ එම යතිවරු
පිළිවෙත් පිරීම පසෙක තබා ත්‍රිපිටකය මතු පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ කළහ. අද මෙන්
තාක්ෂණික පහසුකම් නොතිබූ එකල ගත් ක්‍රියාමාර්ග නිසා බුදුදහම දිනෙන් දිනම ගිහි -
පැවිදි සැමගේ සාකච්ඡාවට භාජනය වන ජීවමාන දර්ශනයක් බවට පත් වී ඇත. ශාසනික පුනර්ජීවන
සමයේ ත්‍රිවිධ ශාසනය ම ජෝතිමත් වේ. |