උස් මනස කෝ ?
උස් මනසක් තිබිය යුතු වුව මිනිසාට
දිස්වන්නේ ම බොහො අය තුළ එය නොපිට
රැස් කරනා පිනක් නොපෙනේ යන තැනට
හිස් මනසක් සමඟ අප යන්නේ කොහෙට
කාමය පැතිරිලා ඔඩු දුවනා තැනට
රාගය ඉතිරිලා තිරිසන් ලෙස කැතට
ජීවය වැතිරිලා හරසුන් දේ මතට
මෝහය ගැලවිලා යන්නේ කවදාට?
මත් දිය නැතුව බැහැ මඟුලට මරණයට
ලත් තැන දුරාචාරය සුදුව පෙරට
සිත් යන ළපටින් ද මුසුවෙයි ඒ අවට
පත්වෙන තැන කොතැන දම් දිවයින හෙටට
අධ්‍යාපනවේදී. විශ්‍රාමලත් පරිවේණාචාර්ය
පී. බී. ගුණරත්න
****
අරුමය
එකම බුදුරුව පෙනී
විවිධ විදියට දකී
රහත් හිමියනට නැති
සිතක අරුමෙක හැටී
සිරි දන්තනාරායන
****
අමා සුවය
ගැටී සිර වී
තැලී පොඩි වී
සිතින් බැඳි
ආශා මෙවලම් පොදි
බරිත ව වේදනාවක
දරා හිස මත
මැරී
අතැර සැදූ කුණු කය
රැගෙන දළ කය
ඉපිද යළි සසර මඟ
වැටී යළි විඳින
මහ නිරයකි දවන
පින් ඇතිව යළි ඉපිද
මනු ලොව...
කරුණා මෙත් වපුල
මතු ලොව වදාරණ
බුදු සමිඳ අභියස
අනන්ත ගුණැති
මහා බලැති.....
අසා අමා දම්
තව පින් පුරා
එතෙර ව ඝෝර සසර මඟ
ලබනු මැන උතුම්
නිමල අමා සුව..........
නීතිඥ
කීර්ති කපුවත්ත
රිදීගම
****
ආසිරි
මිය ඇදුණු
මිනිසුන්
පස් වෙලා ගිය
සුසානය, පිස හමන
මඳ සුළඟ
නිහඬ බව කියනවා
අරලියා මල් පොකුරු
මරණයට ආසිරි පුදනවා
නන්ද පරගම්මන
****
සියපත්
මඩදිය ඇතිව ජනිතව විල් ජලය මත
සියපත සිටී එනමුදු එහි කැළැල් නැත
අපහට සොබාදම දෙන මේ උවම මත
ඇලවෙන තැන ම ගැලැවෙනයුරු කියා ඇත
පොරවා කසීසළු ගෙන අමරස අහරි න්
පුදසුන පුරා දී සුවඳැති දුම් දහරි න්
මානෙන් මත් ව පින් කරගත්තෝ නහරි න්
නොතෙමේ කිසි කලෙක අම මෙත් සුව දහරි න්
වන මල් පුදා රළු ආහාර මුදුව සිත
පූජා කළෝ වඩවා බුදු බැතිය මෙත
අත දිළිඳුව ගිය ද පොහොසත් බවින් සිත
බුදු හිමි ගිය මගේ පියවර මනිනු ඇත
අම්පිටියේ
ඒ. කේ. ඩබ්ලිව්. පෙරේරා
****
මෙවර ජයග්‍රාහී කවිය
සෙත් කවියක්
පස ඉඳුරන් ගෙන, ලොබ බැඳ දිවයන
සත්වග, ලොව අද මහ සටනක්
දිනුවත් කම් නැත, වැනසී යනු මිස
කවුරුන් වෙති දෝ පිළිසරණක්
පෙරකළ පින් ඇත දිවයන දුව පුත
නැවතී අසනුය එක මොහොතක්
ජීවිතයම බුදු මැඳුරක් කරගෙන
සිත ඔබෙ කළ මැන සෙත් කවියක්
කඩිගමුවේ නන්ද
පහලිය, පොල්ගහවෙල
සංස්කරණය - දීපා පෙරේරා
****
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක
පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති
මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ.
සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත. |