ජයග්‍රහණයේ සැබෑ මාවතට පිවිසෙමු
අමෙරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ ක්ලාරා නුවර
බුද්ධි විහාරයේ
රාජකීය
පණ්ඩිත
කොටපොළ චන්දිම හිමි
සුවිශාල, බිහිසුණු හා මාරාන්තික සටන් ගණනාවකින් අනතුරුව බටහිර ආසියාවත්, නිරිතදිග
අපි‍්‍රකාවත් පසුකොට වයඹදිග භාරතය දක්වා දිග්විජය කළ මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර්
රජු ක්‍රි.පූ. 323 මැයි 27 දා බැබිලෝනියාවේ දී රෝගී වූ අතර, ජූනි 10 දා වන විට
මරණයේ එළිපත්තට පැමිණ සිටියේ ය.
තමන් සතු යැයි පාරම් බෑ රාජ්‍ය හිමිකර ගත් රන් රිදී මුතුමැණික්, හෝ දැවැන්ත රණශූර
ගී‍්‍රක හමුදාව තවදුරටත් අබැටක හෝ ප්‍රයෝජනයක් නැති පුස්සක් බව ඔහුට වැටහෙන විට
සියල්ලම හමාර වී තිබිණි. අවසන් වරට හමු වූ තෙරුන් වහන්සේ පැවසූ වදන් ඔහුගේ සිත පුරා
දෝංකාර දෙමින් තිබිණි.
“අධිරාජ්‍යයාණෙනි, ලොවම දිනුව ද කිසිවෙක් තමා දිනනතුරු සැබෑ ජයග්‍රාහකයකු නොවේ.”
අසරණ සිතින් හෙතෙම අඳුරුපැහැ ගැන්වුණු අහස්කුස වෙත නෙත යොමු කළේ ය. තවත් නොබෝ
වේලාවකින් තමා මියයනු ඇත. අවසන් වරට සිය මෑණියන් දැක්මට සිත් දුන් නමුදු එය
ප්‍රායෝගික ආශාවක් නොවන බව ඔහුට වැටහිණි. විසිවන වියේ සිට තිස්තුන්වන විය දක්වා ආ
ගමනේ තමාගේ මුඪ අභිලාෂය නිසා මියගිය මිනිසුන්, සැමියා, පුතා, මළ පසු අනාථ වූ කතුන්
සේ ම, මව්පිය සෙනෙහස අහිමිවූ දරුවන් ද විඳි දුක් කන්දරාව සිහිපත් ව අධිරාජ්‍යයාගේ
සිත සසල ව ගියේ ඉමහත් සෝකයකිනි.
තමන් ගිය නොමග අන් රජවරුන් හා මිනිසුන් ද තේරුම්ගෙන බලකාමයේ හා නොතිත් තණ්හාවෙන්
මුදවන පණිවුඩයක් තම මරණින් පසුව හෝ දිය යුතු යැයි කල්පනා කළ අධිරාජයා තම සෙන්පතියන්
කැඳවීය.
“සෙන්පතිවරුනි, අද මා නොබෝ වේලාවකින් මියයනු ඇත. මා මළ පසු මගේ අවසාන ඉල්ලීම් තුනක්
නොවළහා ඉටුකළ හැකිදැයි” අධිරාජයා ඔවුන් වෙතින් විචාළේ ය.
“එහෙමයි අධිරායාණෙනි, අපි පොරොන්දු වෙමු. පවසන්නැයි” ඔවුහු පිළිතුරු දුන්හ.
“මාගේ මෘතදේහය වෛද්‍යවරුන්ට පමණක් ඔසවාගෙන යාමට කියන්න.” අධිරාජයා පළමු අවසාන
ඉල්ලීම කළේ ය. “එසේය, අධිරාජයාණෙනි, නමුත් වෛද්‍යවරුන් පමණක් මන්ද?” සියල්ලෝම ඇසූහ.
“කිසදු වෛද්‍යවරයකුට මරණය පරාජය කළ නොහැකි ය.” යන්න සැමට තේරුම් යනු පිණිස ය.
සෙනෙවිවරු අධිරාජයාගේ ප්‍රඥාවෙන් පුදුම වූවෝ හිස වැනූහ. “මා සතු රන්, රිදී, මුතු,
මැණික් ගෙන, මා යන මග දෙපස ඉසින්න.” “එසේය” සෙනෙවියෝ එය ද පිළිගත්හ. “අධිරාජයාණෙනි,
එයින් දෙන යම් පණිවුඩයක් තිබේ ද?”
“අප ජීවිත කාලය ම වෙහෙසෙන්නේ ධනය ඉපැයීමට ය. එහෙත් මැරෙන විට ගෙනයන කිසිවක් නැත.
එහි අර්ථය එයයි.” සෙනෙවියෝ ගෞරවයෙන් අධිරාජයා බලා එය පිළිගත්හු තෙවන ඉල්ලීම ද
විචාළහ.
“මගේ මෘතදේහය ගෙන යන විට දෑත් දෙපසින් එල්ලා වැටෙන්නට හරින්න.
“එය සුදුසු නැහැ නේද? අධිරාජයාණෙනි?” සෙනෙවියෝ නළල් රැළි ගැන්වූහ.
“මැරෙන්නාට මොන සුදුසුකම් ද? මහා ඇලෙක්සැන්ඩර් ඇතුලු අප සැම එන්නේ ද හිස් අතිනි.
යන්නේ ද හිස් අතිනි. මේ සත්‍යය ඔවුන්ට තේරුම් ගන්නට ඉඩ හරින්න.”
වෘද්ධ තෙරුන් වහන්සේගේ ශාන්ත සිනහව මැවී පෙනෙන විටම රජු අවසන් හුස්ම වාතලයට එක් කළේ
ය. අධිරාජයාට සේ ම ඔහුගේ අලුතෙන් මෝදු වූ ප්‍රඥාව ඉදිරියේ සෙනෙවියෝ බැතිබරව දණ
ගැසූහ.
වරෙක භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩලකේසී තෙරණියට මෙසේ වදාළහ.
“පින්වත් තෙරණියනි, යමෙක් දහසක් යුද ජයගත්ත ද හෙතෙම සැබෑ ජයග්‍රාහකයකු නොවේ. යමෙක්
තම කෙලෙසුන් පරදවා ජයගන්නේ නම් එම පින්වත් තැනැත්තා ලොව සැබෑ ම ජයග්‍රාහකයා වන්නේ
ය.”
ධම්මපදය - 104 ගාථාව
මිනිසුන් දිවයති. වාත වේගයෙන් අන් අය ද පෙරලමින්, කළකෝලාහල කරගනිමින් අඬාගෙන, වැටි
වැටී දිවයති. අන් අය දුවන නිසාම දිවයති. අර දේ ලැබුණොත් සැපත වේ ය. මේ දේ ලැබුණොත්
සැපත වේ ය කිය කියා දුවති. ඒ දේවල් ලබා තාවකාලික ව සතුටු වුව ද ලැබූ සදාකාලික
සැපතක් නොමැති ය. සියලු ජීවිතවල සත්‍යය මෙයයි. නැති වූ කල ඔවුහු හඬති. වැළපෙති.
පසුතැවෙති. ඒ කිසිවක් තුළ සැබෑ ලැබීමක්, ජයක් නොමැති බව ඒ ටික සිදු වූ පසු ද අනුවණ
දන කල්පනා නොකරති. යළි යළිත් ඒවා පසුපසම දුවති. කවරක් ලැබුව ද, කවරක් දිනුව ද
එබන්දෝ කිසිදා සැබෑ ජයග්‍රාහකයන් නොවන්නෝ ම ය. බැහැරටම ඇරුණු ඇස් ඇති හෙයින් එබන්දෝ
තමා නොදකිමින් බාහිර දෙයම බලමින් දුවති.
එසේ නම් කළ යුතු කුමක්ද? සැබෑ ජයග්‍රාහකයකු වන්නේ කෙසේ ද?
ඔබ නැවතිය යුතු ය. නවතිනවා යන්නෙන් මෙහි කිසිවක් නොකර සිටීම අදහස් නොකෙරෙයි. මෙහි
නැවතීම නම් අවිද්‍යාව පිටුපස දිවීමෙන් නැවතීමයි. සතර උපාදානයන් පිටුපස උන්මාදයෙන්
දිවීමෙන් නැවතීමයි. තෘෂ්ණාව මුල්කොට ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් තුනෙන් පැණ
නැගුණු රාගය ද, කෝපය, ඊර්ෂ්‍යාව, මානය, හිංසාව ආදී කෙලෙස්වල ස්වභාවය හඳුනා
කෙලෙස්වලට රූකඩයක් වීමෙන් වැළකීමයි.
“මුළු පොළොවටම අධිපති වීමටත්, දෙව්ලොව යාමටත්, සියලු ලොව පාලනයටත් වඩා සෝතාපත්ත
ඵලයට පත්වීම උතුම් ය.”
ධම්මපදය,, ලෝක වග්ගය, 12 ගාථාව
ඇත්ත ඇති සැටියෙන් නොදැකීම හෙවත් අවිද්‍යාව සියලු පැටලීම්වලට මුල ය. නොපවතින මම
“මම” වශයෙන් දැක දේවලට අප තෘෂ්ණාව උපදවා ගන්නේ අවිද්‍යාව නිසාම ය.
සියලු සත්වයෝ සිරුරත්, මනසත් දෙකෙහි එකට එක්ව කටයුතු කිරීම නිසා පවතිති. එහෙත් මනස
ද, සිරුර ද දෙකම වේගයෙන් වෙනස් වෙන ස්වභාවයන් ය. මනසට තනිව හෝ සිරුරට තනිව කටයුතු
කළ නොහැකි සේ ම ඒවා නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යති. මොහොතක හටගත් සිත ද ,ගත
ද ඊළඟ මොහොතේ ඉතුරු නැතිවම නැතිව යන අතර, ඒවා නිසා හටගත් ඊළඟ සිත ද, ගත ද පෙර දෙකට
සම්බන්ධ මුත් අලුත්ම සිතකි. අලුත්ම ගතකි.
1952 වසරේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ඩොනල්ඩ් ඒ ග්ලේසර් විසින්
Bubble chamber යන්ත්‍රය නිපදවූයේ අණුක වේග පරික්ෂාව පිණිස ය. එහි සමීක්ෂණයට අනුව පරමාණුව
මිලි තත්පරයක් තුළ 1ට බින්දු 22 ක සංඛ්‍යාත්මක වේගයකින් වෙනස් වෙයි. එක පරමාණුවක්
ඉපිද තවත් පරමාණුවකට උපතදී මැරේ. අලුතින් උපන් පරමාණුව ද එයම සිදුකරයි. මිලි
තත්පරයක් තුළ ඇතිව එසේ නැතිවන පරමාණු ගණන 10 21 කි.
අපේ මුළු සිරුරම පරමාණු ආකරයකි. එහි සිදුවන ස්වභාවය මෙය ම ය. භෞතික විද්‍යාවේ
පරමාණුවට ද එහාගිය ‘අෂ්ට කලාප’ ස්වභාවය දැක්වූ භාග්‍යවතුන් වහන්සේ එම අෂ්ටකලාප මේ
අයුරින් ඇති නැති වන බව මීට වසර 2600කට ඉහතදීම වදාළහ. මෙයින් ඔබට සදාකාලික ‘මම’
භෞතික ශරීරය තුළ නොමැති බව තේරුම් ගත හැකි ය.
සිත ඊටත් වඩා වේගයෙන් වෙනස් වෙයි. භික්ෂූන් වහන්සේලා පිරිසක් සිතේ ඇති නැතිවීමේ
වේගය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළහ.
“භාග්‍යවතුන් වහන්සේ ඊට මෙසේ පිළිතුරු දුන්හ.”
“පින්වත් මහණෙනි, දුනුවායන් සතර දෙනෙක් එක සතරමංසලක සිට එකවිට ඊ හතරක් සතර අතට
විදියි. වේගයෙන් දිවයා හැකි අයෙක් ඒ ඊ හතරම බිම වැටෙන්නට නොදී අල්ලා ගනී. ඒ වේගය
සිතාගත හැකි ද?”
“ස්වාමීනි, එක ඊතලයක් ඇල්ලීමට ද පුදුම වේගයක් අවශ්‍ය ය. හතරක් ගැන සිතා ගත නොහැක.”
උන්වහන්සේලා පිළිතුරු දුන්හ.
“ඊටත් වඩා වේගයෙන් පොළව භ්‍රමණය වෙයි. පොළවට අධිපති දෙවියා ඊට වඩා වේගවත් ය. ඔහුට
වඩා චන්ද්‍රභ්‍රමණය සීඝ්‍ර ය. චන්ද්‍රයාට අධිපති දෙවියා ඊටත් වේගවත් ය. සූර්ය
භ්‍රමණය ඒ වේගය පරදයි. සූර්යයාට අධිපති දෙවියා ඊටත් වේගවත් ය. සිතේ ඇති නැති වීමේ
වේගය මේ සියලු වේගයන්ට වඩා වේගවත් ය.”
සිත කෙතරම් අනිත්‍යද? “මම, මගේ” යැයි අල්ලාගත නොහැකි ද? යන්න ඔබට දැන් සක්සුදක් සේ
පැහැදිලිවාට සැක නැත.
එහෙත්, දැනුමත් අවබෝධයත් දෙකකි. ටොෆියක් ගැන කීමත්, එය කා බැලීමත් සමාන නොවන මෙනි.
මෙම ස්වභාවයන් පුහුණුවෙන් දැකබලා ගත් පසු ය කෙනකු නියම අවබෝධය ලබන්නේ.
සීලය තුළ පිහිටා, ඒ අඩිතාලම මත සමාධිය දියුණු කරමින්, ප්‍රඥාවෙන් සියල්ල නිරීක්ෂණය
කරන විට සියල්ලේ වෙනස්වන අනිත්‍ය බවත්, එය අල්ලා ගත් විට ඇතිවන දුකත්, සියල්ලේ ම
පවතින මම මගේ නොවන අනාත්ම ස්වභාවයත් දකින විට අවිද්‍යාව ද, තණ්හාව ද ප්‍රහාණය වී
යනන අතර, සිත තුළ පරම ශාන්තිය වූ නිර්වාණ ධාතුව මෝදුවනු ඇත. සව් කෙලෙසුන් නසන සැබෑ
ජයග්‍රහණයට මාවත එතැනින් , විවර වන්නේ. |