[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු උරුමයෙහි අභිමානය යාපා පටුනේ කදුරුගොඩ විහාරය

බොදු උරුමයෙහි අභිමානය යාපා පටුනේ කදුරුගොඩ විහාරය

" මෙකල යාපනය ප්‍රදේශයේ ඇති පැරණි බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන රාශියක් අතුරෙන් කදුරුගොඩ විහාරය අයත් පුදබිම ඉතා පැරණි පුදබිමක් ලෙස පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇති බව ඉතා ප්‍රකට ය. කදුරුගොඩ විහාරය ආශි‍්‍රත වූ මෙම පැරණි බෞද්ධ සිද්ධස්ථානය පිහිටියේ හුණුගම (චුන්නාකම්) මිනිපේ (මානිපායි) පාරේ චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කදුරුගොඩ නම් ග්‍රාමයෙහි ය. "

මහනුවර රාජධානි සමයේ දී ලියන ලද “නම්පොත” නම් වූ පොතෙහි කදුරුගොඩ යන නාමය සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ඒ කාලයේ දී පවා සිංහල බෞද්ධ ජනතාවගේ පූජනීය පුදබිමක් ලෙසින් එය පැවති බව ය. දෙමළ භාෂාවෙන් කන්නරෝඩෙයි යන නාමයෙන් ද මේ පුදබිම හැඳින් වුණි. කදුරුගොඩ පුරාණ පුද බිමෙහි පැරණි වටදාගෙවල්, දා ගැබ්, බුදු පිළිම අවශේෂ සහ සිරිපතුල් ගලක් ද හමු වී ඇත. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය)

කදුරුගොඩ විහාරය පිළිබඳ මුලින්ම මෑත භාගයේ දී කැණීමක් සිදු කළේ පෝල් ඊ. පීරිස් මහතා විසින් 1917 - 1919 කාලයේ දී ය. එම අවස්ථාවේ දී විහාර ගෙයක නටබුන්, බුදු පිළිමවලට අයත් කුඩා කොටස් ද, කුඩා දාගැබ් 60 ක පමණ නටබුන් ද, උළු කැට හා කාසි වර්ග රැසක් ද හමු වී ඇත. මෙම දාගැබ් සංරක්ෂණය කර ඇති අතර, දාගැබ්වලට අයත් පාර්මිකා හා කොත් කැරලි ද හමු වී තිබේ. මේවා අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයට අයත් සේ හඳුනාගෙන ඇත. මෙම සියලුම දාගැබ් හුණුගල්වලින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.

විවිධ ප්‍රමාණයෙන් යුත් මෙම ස්තූප අතර ඉතා විශාලතම ස්තූපයේ විශ්කම්භය අඩි 23 කි. කුඩාම ස්තූපයේ විශ්කම්භය අඩි 6 කි. මෙම ස්තූපවල පාදම් බොරදම් සහිත ය. එම බොරදම් අනුරාධපුර යුගයේ දාගැබ්වල බොරදම්වලට බෙහෙවින් සමාන වේ. දාගැබ්වල ගර්භය ඔප දමන ලද හුණු ගල්වලින් නිර්මාණය කර ඇත. ඒ මත පාර්මිකා පිහිටුවා තිබේ. එය මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචි ස්තූපයේ පුදබිමේ වේදියක ආකාරයට අලංකාර කර ඇත. ඡත්‍රාවලිය ද හුණුගල් වලින්ම නිර්මාණය කර ඇත. මෙම දාගැබ් ඒකාකාරී බිම් සැලැස්මක් අනුව නිර්මාණය කර ඇත. (හෙළ උරුමය ඇම්.එච්. සිරිසෝම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පි. 20 - 22 1986)

පෝල් ඊ පීරිස් මහතාට පසුව පුරාවිද්‍යා කැණීම් පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් සිය පාලන වාර්තාවේ මෙසේ සඳහන් කර ඇත. “1965 - 66 වර්ෂයේ ඉතා වැදගත් පුරාවිද්‍යා කැණීමක් සිදු කළේ යාපා පටුනේ හෙවත් යාපනය අර්ධද්වීපයේ කදුරුගොඩ ය. උඩුවිල් - කදුරුගොඩ පාරේ දෙපැත්තේ අක්කර 3 පර්චස් 38 පමණ කදුරුගොඩ විහාරයට අයත් ඉඩමක් පුරාවිද්‍යා තහනම් ඉඩමක් ලෙසට ප්‍රකාශයට පත් කළේ ය. මෙසේ මෙම ඉඩම රජයට පවරා ගන්නා ලද්දේ පුරාණ කාලයේ දී ඉදිකර තිබුණු බෞද්ධාගමික ගොඩනැගිලි ඉදිකර තිබුණු බිමෙන් කොටසකි. මේ වර්ෂයේ දී (1965 - 66 ) ක්‍රමානුකූලව පුරාවිද්‍යා කැණීම් ඇරඹු පෝල් පීරිස් මහතාගේ කැණීමෙන් පසු අස් කරන ලද පස් ගොඩක් තහනම් ඉඩමේ කොටසක තිබුණි. ඒ පස් කන්දේ නොයෙක් වර්ගයේ වළං කැබලි, බෙලිකටු, කොරල්පර හා ගඩොල් කැබලි ද හමුවූයේ ය. අඩසියවසකට පෙර (1965 සිට) පුරා විද්‍යා කැණීම් කරුවෝ ඉහත සඳහන් කළ පුරාවිද්‍යා අවශේෂ ගැන අවධානය යොමු නොකළහ. අප කරන ලද පුරාවිද්‍යා කැණීමේ මුල් අවස්ථාවේ දී සාංචි ස්තූපයට (ඉන්දියාවේ) අයත් නිර්මාණවලට සමාන ගල් වැට කැබැල්ලක් ද හමු විය. ඉඩමේ සමතලා නොවූ කණු, පාදම් ගල් ගණනාවක් ම තිබුණි. තනි කලු ගලෙන් තැනූ වටකුරු වතුර භාජන දෙකක් මේ ඉඩමේ ළිං ළඟ ඇත.

මෙම කැණීමෙන් හමු වූ පුරාවස්තු රැසකි. ඒ අතර ගලෙන් නෙලූ දාගැබ් කොන් දෙකක්, පියන් නැති ගල් කරඬු දෙකක්, සාංචි සම්ප්‍රදායේ ගල්වැට කැබලි පූර්ණ සට ලකුණ සහිත මුරගලක්, බෙලි කටු, හක් ගෙඩි හා නොයෙක් ද්‍රව්‍යවලින් සාදන ලද පබලු දාහකට (1000) අධික සංඛ්‍යාවක් හමුවී ඇත. මෙහි ඇති ගොඩනැගිලි සඳහාත්, මූර්ති සඳහාත් වැඩි වශයෙන් යොදාගෙන තිබුණේ කොරගල් ය. මේ ප්‍රදේශයෙන් ලැබෙන හුණු ගල් විශේෂයක් ද යොදා ගෙන ඇත. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව (1965 - 66) ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පි. 26)

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට හමු නොවූ (කදුරුගොඩ විහාරයේ) ටැම් ලිපියක කොටසක් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාට හමුවී ඇත. මෙය ක්‍රි.ව දහවැනි සියවසට අයත් (කසුප්) සිව්වැනි රජුගේ (ක්‍රි.ව. 898 - 914) රාජ්‍ය කාලයට අයත් සේ සැලකේ. අමරාවති සම්ප්‍රදායට අයත් වන බුදුපිළිම ශීර්ෂයක කොටසක් ද මෙහි තිබී හමු වී ඇත. කළු, රතු මැටි බඳුන් කැබැල්ලක දභ පත යන බ්‍රාහ්මී අක්ෂර හමුවී ඇත. මැටි බඳුන පිළිස්සීමට පෙර මේ අකුරු ලියා ඇත. එහි අර්ථය දත්තගේ පාත්‍රය යනුවෙන් කියැවේ. මේ බ්‍රාහ්මී අක්ෂර අනුරාධපුරයේ ගෙඩි ගෙය අසල ආචාර්ය සිරාන් දැරණියගල මහතා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කරන ලද කැණීමක දී හමු වූ එම අක්ෂරවලට සමානකමක් ඇත.

මෙම පුදබිම අනුරාධපුර රාජධානියට අයත් ව පැවති බවට පුරාවිද්‍යා සාක්ෂියක් ලෙස මෙහි තිබේ. හමු වූ සිරිපතුල් ගල ද සාක්ෂි දරනු ඇත.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]