දුරුතු පුර පසළොස්වක 2021.01.28
හොඳ පුරුදු ප්‍රගුණ කරමු
යක්ෂ ගෝත්‍රිකයන් හා නාග ගෝත්‍රිකයන් අතර යුද්ධයක් නිසා ඇති වන්නට ගිය මහා විනාශයක්
නතර කරනු පිණිස අප බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ අදවන් දුරුතු
පෝ දා ක ය. එදා බුදු බණ අසා ඉතා දරුණු ගති පැවතුම් තිබූ යක්ෂ ගෝත්‍රිකයන් මෛත්‍රිය,
කරුණාව, පෙරදැරි පිරිසක් බවට පත්වුණි.
ඒ ආදර්ශවත් කතාව අන් කවරදාටත් වඩා මෙකල අපේ ජීවිතයට සමීප කරගත යුතු යැයි හැඟේ. ඒ
සොබා දහමේ දරුණු දඬුවමකට අද මුළු ලෝකයට ම මුහුණ දෙන්නට සිදුව ඇති බැවිනි.
දීර්ඝ කාලයක් පුරා ලෝකයේ රටවල් ඔවුනොවුන් හා යුද වැදුණි. ඒ යුද ගැටුම් අතර කුඩා
දරුවන්ගේ පටන් කොපමණ මිනිස් ජීවිත විනාශ වන්නට ඇති ද? රට රටවල යුද්ධ, ජාතින් අතර
යුද්ධ පසෙක තබා අප තම තමන්ගේ ඥාති හිතෛෂීන්, අසල්වැසියන් අතර ඇති කරගන්නා ගැටුම්,
මොන තරම් ද?
එයද පසෙක තබා තම තමන් ගැන මොහොතකට සිතුවේ නම් ලෝබ, ද්වේෂ, මෝහාදී කෙලෙස් නිසා
ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම ආදි පවිටු සිතිවිලි ඇතිකරගෙන තමන්ගේ
චිත්තාභ්‍යන්තරයේ ඇති කරගන්නා ගැටුම් මොන තරම් ද? ඒ තුළ සමාජයට මුදාහළ අසාධාරණකම්,
අයුක්තීන් මොන තරම් ද, ඒවායෙහි අනර්ථ ඵලයන් මොන තරම් ද? විඳවන්නට වන්නේ මේ පවිටු
ක්‍රියාවන්ට ප්‍රති උත්තර ලැබෙන කල ය.
ජීවිතය තණ අග දිලිසෙන පිනි බිඳුවකට සමාන බව මෙකල කුඩා දරුවකුට පවා ප්‍රායෝගික ව ම
තේරුම් ගැනීම අසීරු නැත. කොරෝනා වෛරසය මුළු ලෝකයක් ගිල ගනිමින්, දහස් ගණනින් මිනිස්
ජීවිත බිලි ගන්නා අයුරු අපි අත් විඳිමින් සිටිමු. ජීවිතයේ යථාර්ථය මේ යැයි සොබා දහම
අපට කියා දෙමින් සිටී. අනෙක් අතින් මෙය දීර්ඝ කාලයක් පුරා මිනිසා කළකම්වලට සොබා දහම
දුන් දඬුවමක් නොවේ යැයි කිසිවකුට කිව නොහැකි ය.
එදා බුද්ධ කාලයේ විශාලා මහනුවර ඇති වූ මහා තුන්බිය දුරු වූයේ ශ්‍රී සද්ධර්මයේ
පිහිටෙනි. එහෙයින්, කවර ව්‍යසනකාරී තත්ත්වයක වුව අප අසරණ නැත. බෞද්ධයින් ලෙස ඕනෑම
අභියෝගයකට මුහුණ දෙන්නට අපට පිහිටවන ධර්මය අද ද ජීවමාන ය. ඒ තථාගත සම්බුදු දහමය. ඒ
දහම දකින්නට, දරන්නට වහ වහා යොමු විය යුතු ව තිබේ. ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි යන
බුදු වදනට අනුව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව සම්බුද්ධ
දේශිතය යි.
බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ පුප්ඵ වග්ගයේ දී දේශනා කොට වදාළේ මල් රැසකින් බොහෝ මල්
දම් ගොතන මල්කරුවකු මෙන් මෙලොව උපන්නා වූ මිනිසුන් බොහෝ පින් කළ යුතු බව ය. එය
වඩාත් පහසු වන්නේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමෙන් ය.
පින් කරන්නට සිත වඩාත් යොමු වන්නේ සිතේ පවතින කෙලෙස් දුරුවන තරමට ය. ආධ්‍යාත්මික
පිරිසුදු බව ගිලිහෙන තරමට ක්‍රියාකාරකම් අපවිත්‍රය.
අප සමාජ ජීවිතයේ ද ඔවුනොවුන් වෙත පැවතිය යුතු ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්,
පිරුණු සිතින් නොවේ. එවන් සිතිවිලි නිසා රැස්වන පාපය, අකුසලය, සුළුපටු නොවේ. ගොනු
පසු පස ඇදෙන කරත්ත රෝදය මෙන් අප රැස් කරන පාපයන්හි විපාක අප පසුපස ම එන්නේ අතිශය
පීඩාකාරි ලෙස ය.
අප පුරුදු පුහුණු කළ යුතු ඉවසීමෙන්, කරුණාවෙන්, දයාවෙන් එකිනෙකාට උදව් උපකාර කරමින්
ජීවත් වන්නට ය. මනුසත් ගුණ ඇති මිනිසෙක් වන්නේ එවිට ය. |