[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 33 කොටස: පදුමකිත්ති හිමිට කලකිරීම් රැසක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 33 කොටස:

පදුමකිත්ති හිමිට කලකිරීම් රැසක්

නාගදීප දූපතේ සිටි දෙමළ තරුණයින් පිරිසක් සමඟ අවි ආයුධ ගෙන දූපත ආරක්ෂා කිරීම පිණිස සංචාරය කිරීම නිසා මධුවිත පානය කරන්නන්ට එය වධයක් වූ අතර ඔවුන් නා හිමියන්ට කළ පැමිණිලිවලින් පසු පදුමකිත්ති හිමියන් අනුරාධපුරයට යවනු ලැබුණි.

නාගදීප විහාරාධිපති ධම්මකිත්ති හිමියන්ට අයත් විහාරස්ථානයක් අනුරාධපුරයේ යාපනය හන්දියට නුදුරින් පිහිටා තිබුණි. එය එකල පැවැතියේ ඝන කැලෑවක් මැද ය. පිඹුරන්, නයි, පොළොඟුන් මෙන්ම සිවුපාවන්ද ඒ අසල කැලේ සිටින බව දැන ගන්නට තිබුණි. අක්කර 10ක පමණ විහාරස්ථානයට අයත් වුවත් ඒවායේ සීමා මායිම් පවා සොයා ගන්නට නොහැකි තරම් ඝන කැලෑවක් විය.

අනුරාධපුරයේ, පදුමකිත්ති හිමියන්ගේ මිතුරන් සිටියද ඒ බොහෝ අය දිවා කාලයේ රැකියාවන් පිණිස යි. සාමණේර වහන්සේ කිහිප නමක් ඒ වන විට කොළඹ ප්‍රදේශයේ පිරිවෙන්වලට වැඩම කර සිටියහ. එමෙන්ම විහාරස්ථානයේ වැඩසිටි භික්ෂූන් වහන්සේ පවා දිවා කල අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයට වැඩම කරති.

කෙසේ හෝ පදුමකිත්ති හිමියෝ අනුරාධපුරයේ තම හිතවතුන් කිහිප දෙනකු හමුවී සිද්ධිය විස්තර කළහ.

‘‘ආ දඬුවම් මාරුවක් - කමක් නැහැ හාමුදුරුවනේ පෙරලුණු පිට හොඳයි කියමු. අපි ඕන උදව්වක් කරන්නම්‘‘ මිතුරන් පදුමකිත්ති හිමියන්ට අවශ්‍ය ඕනෑම උදව්වක් වෙනුවෙන් පෙනී සිටින ලදී.

පදුමකිත්ති හිමියෝ එක් හිතවතෙක් සමඟ පසු දින හාඩ්වෙයාර් ආයතනයක් වෙත ගොස් යාපනය හන්දියේ පන්සලට අවශ්‍ය වැටක් ගැසීම සඳහා කටු කම්බි මිලට ගැනීම සඳහා වන වියදම් ගැන සොයා බැලූහ. පදුමකිත්ති හිමියන්ගේ තොරතුරු දැනගත් හාඩ්වෙයාර් මුදලාලි කටු කම්බි තොගයක් නොමිලේම ලබා දුන්නේ ය. නාගදීපය රැක ගැනීම වෙනුවෙන් ඔහු පදුමකිත්ති හිමියන්ට ස්තුතිය පළකරන ලදී.

‘‘ඔබ වහන්සේ ඉන්න ඕන නාගදීපෙමයි‘‘ අපි ඕන දේකට ඉන්නම්‘‘

විහාරස්ථානයේ සිටි හිමිවරුන් පසුදින අධ්‍යාපනික කටයුතු සඳහා ගොස් සිටියදී පදුමකිත්ති හිමියන් සෙසු සියලුදෙනා කැටුව විත් විහාරස්ථානය පුරා ඉඩමේ වැට ගැසූහ. පස්වරුවේ පිරිවෙන් අවසන්ව පැමිණි හිමිවරුන් ඒ දැක පුදුම වූහ.

පසු දින විහාරස්ථානය වටා බොහෝ පෙදෙසක් සුද්ද කරන්නට පදුමකිත්ති හිමියන් තනිවම කටයුතු කළහ. එය කම්කරුවන් හත් අට දෙනකුටවත් කරන්නට බැරි වැඩකි. ඒ දැක හිමිවරුන් තවත් පුදුම වූහ. හැම දිනකම අලුතින් යමක් විහාරස්ථානයේ ඉටු කරන්නට පදුමකිත්ති හිමියන් කටයුතු කර තිබෙනු දැක විහාරස්ථානයේ හිමිවරුන් පුදුමයට පත් විය.

පසුව සුද්ද පවිත්‍ර කළ එහි බඩ ඉරිඟු වගා කිරීමට පදුමකිත්ති හිමියන් විසින් කටයුතු කරන ලදී. විහාරස්ථානයේ කම්බි ගසන්නට කටයුතු කළ අයත් ඒ සඳහා සහාය ලබා දුන්හ. එහෙත් පීදුණු බඩ ඉරිඟු වඳුරන් කෑම නිසා පදුමකිත්ති හිමියන් දැඩි කලකිරීමට පත් විය.

එයින් පසුව එම වගාව අත් හැරි පදුමකිත්ති හිමියන් පන්සල් වත්ත පුරා වම්බටු වගා කරන ලදී. වම්බටු වගාව සරුවට වැවී ඵලදාව ලැබුණි. ඒ ගැන පදුමකිත්ති හිමියන් දැඩි සතුටට පත් වුවද වම්බටු අලෙවි කරගත නොහැකි තරමට හතර වටේටම ගොඩ ගැසී තිබුණි. මිල නොවටිනා ගණනට ගියේ ය.


වයිස් අද්මිරාල් දයා සඳගිරි මහතා නාගදීප විහාරයට පැමිණි මොහොත

එයින්ද දැඩි කලකිරීමට පත් පදුමකිත්ති හිමියන් පසුව තවත් අයකු සමඟ එක්ව මිරිස් වගාවට කටයුතු කරන ලදී. ඒ සඳහා ජලය සපයන්නට ඉතා දුර පිහිටි පෙදෙසක සිට ලොකු දිය අගලක් කපන්නට පදුමකිත්ත හිමියන් තවත් අයකු හා එක්ව කටයුතු කරන ලදී.

එහෙත් මිරිස් වගාවේ ද අලෙවි කිරීමේදී ගැටලු මතු විය. ඇත්තෙන්ම එය මතු කෙළේ උපකාර කළ තැනැත්තා ය. ඇතැම් අය මුදල් නොදුන් බව ඔහු පවසා සිටි අතර ඇතැම් විට ඔහු මුදල් ලබා ගෙන බොරු පවසා සිටීමත් නිසා ගැටලු ඇති විය.

එයින් ටික කලකට පසුව පදුමකිත්ති හිමියන් යළිත් නාගදීපයට කැඳවන්නට ධම්මකිත්ති හිමියන් විසින් කටයුතු කරන ලදී. එයින් දැඩි සතුටට පත් පදුමකිත්ති හිමියන් ඉක්මනින් නාගදීපයට වැඩම කරන ලදි. නාගදීපයට වැඩම කළ පදුමකිත්ති හිමියන්ට වසර ගණනාවක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූවකු එයින් නිදහස්ව පැමිණි කල දැනෙන සතුටක් දැනුණි.

ඒ අතරේ ලාංකීය දේශපාලනයේ වෙනසක් සිදුවූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බවට පත් විය. එයින් ටික කලකට පසුව නාවික හමුදාපතිවරයා ලෙස පත්වූයේ වයිස් අද්මිරාල් දයා සඳගිරිය. ඔහු නාවික හමුදාපතිධුරයට පත්ව ඉතා ඉක්මනින්ම සිදු කෙළේ නාගදීපයට පැමිණ හිමිවරුන් බැහැ දැකීම ය.

මල් වට්ටියක් දෝතින් ගෙන නාවික හමුදාපතිවරයා පදුමකිත්ති හිමියන් බැහැ දුටුවේ ය. නාගදීපයේ නාවික හමුදාවේ ක්‍රියාකාරිත්වය ගැන සොයා බැලූ ඔහු විහාරාධිපති හිමියන්ටත් පදුමකිත්ති හිමියන්ටත් අවශ්‍ය ඕනෑම මොහොතක තමන් අමතන ලෙස දන්වා දුරකතන අංකය ද ලබා දුන්නේ ය.

1996 වසර පදුමකිත්ති හිමියන්ට දැඩි සංවේගාත්මක වසරක් විය. ඒ උන්වහන්සේගේ මවගේ අභාවය සිදුවීම නිසා ය. උන් වහන්සේ ගුවනින් කොළඹට වැඩම කර බස්රථයෙන් ඇල්පිටියේ නවදගල නිවසට වැඩම කළහ. මවගේ පින්කම් අවසන් වීමෙන් පසුව උන් වහන්සේ පෙරළා නාගදීපයට වැඩම කළහ. ධම්මකිත්ති නා හිමියන් එම අවස්ථාවට වැඩම නොකළේ එහි කවුරුන් හෝ වැඩ සිටිය යුතු හෙයිනි. උන් වහන්සේ වැඩම කළේ තුන්මස් දානමය පින්කමට ය.

අනුරාධපුරයේ පදුමකිත්ති හිමියන් වැඩ සිටි කාලයේ, නා හිමියන්ට උන් වහන්සේ නාගදීපයේ තරුණ පිරිස හා සිදු කළ සැබෑ සේවාව ගැන හොඳීන්ම දැන ගන්නට ලැබුණි. නාගදීපය ඉදිරියේදී උන් වහන්සේ හැර වෙනත් භික්ෂූන් වහන්සේ නමකට පැවරීමට ලබා දීම ගැටලුවක් වන්නට ඇතැයි උන් වහන්සේ සිතූහ. විහාරාධිපති ධුරයක් හිමිවන ආකාරය අනුව සියල්ල ක්‍රමානුකූලව සිදුවිය යුතු බව උන් වහන්සේ සිතූහ.

විශේෂයෙන්ම නාගදීපය වැනි දෙමළ වැසියන් වැඩ වාසය කරන තැනක් නිරවුල්වම තිබිය යුතු බව උන් වහන්සේ සිතුහ.

එම නිසා පදුමකිත්ති හිමියන්ටත් ගැටලුවක් නොවන සේ සියලු කටයුතු සිදු විය යුතු බව උන් වහන්සේ සිතුහ.

ඒ අනුව නා හිමියන් විසින් බලගෝවේ විමලකිත්ති හිමියන්ට පවසා ඇත්තේ උන් වහන්සේගෙන් පසුව නාගදීප විහාරාධිපති ධුරය උසුලන්නේ කවුරුන්දැයි යන්න පැහැදිලිව ලේඛනගතව තිබිය යුතු බවත් භික්ෂූන් වහන්සේ රැස්වී ඒ සම්බන්ධව තීරණයක් ගන්නා ලෙසත් ය.

ඒ අනුව වරාගොඩ විමලාරාමයට පැමිණි අනුරාධපුරයේ වැඩවසන කඩවත විජිතධම්ම හිමියන්, දෙමටගොඩ නාගදීප විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් හා පදුමකිත්ති හිමියන් හා ඒ සම්බන්ධ ව කතා කරන්නට බලගෝවේ විමලධම්ම හිමියෝ කටයුතු කළහ.

එහිදී විමලධම්ම හිමියන් විසින් සියල්ල පැහැදිලි කරන ලද්දේ ධම්මකිත්ති නා හිමියන්ගේ උපදෙස් පරිදි ය.

ඒ අනුව ධම්මකිත්ති හිමියන්ගේ බලාපොරොත්තුව වන්නේ නාගදීපයේ මීළඟ විහාරාධිපති ධුරයට පත් විය යුත්තේ බ්‍රාහ්මණවත්තේ සීවලි හිමියන් බවත් උන් වහන්සේ පහදා දුන්හ.

එමෙන්ම නල්ලතන්නිය විහාරයේ භාරකාරත්වයට පදුමකිත්ති හිමියන් පත්වීම තම අපේක්ෂාව බව ධම්මකිත්ති හිමියන් පවසා ඇතැයි එහිදී විමලධම්ම හිමියන් විසින් පවසන ලදී.

එහෙත් ඒ වන විට දෙමළ භාෂාව පිළිබඳ එතරම් දැනුමක් නොතිබූ සීවලි හිමියන් පැවසුවේ නාගදීපයේ කාලයක් තිස්සේ සිටි නිසා පදුමකිත්ති හිමියන් නාගදීපයට වඩා හොඳ බවත් , තමන් වහන්සේ නල්ලතන්නිය විහාරය බාර ගැනීමට කැමැති බවයි.

ඒ අනුව පදුමකිත්ති හිමියන් ඇතුළු ව එහි පැමිණි භික්ෂූන් වහන්සේ සිවු නම විසින් එයට එකඟත්වය පළ කර ලිපියකට අත්සන් තබන ලදී. එම ලිපිය පසු දිනම ධම්මකිත්ති නා හිමියන් වෙත ලබා දෙන ලදී.

එම ලිපිය කියවා බැලූ ධම්මකිත්ති හිමියන් දින කිහිපයකට පසුව පදුමකිත්ති හිමියන් තමන් වෙත කැඳවා අනාගතයේ නාගදීප විහාරාධිපති ධුරය හිමිවන බැවින් සංයමයෙන් ජනතාව සමඟ සුහදව වාසය කරන ලෙස අවවාද ලබා දුන්හ. එසේම ලිපිය සුරක්ෂිත ව තබන ස්ථානය උන් වහන්සේ පෙන්වා දුන්හ.

මාස කිහිපයකට පසුව කොළඹට වැඩම කළ පදුමකිත්ති හිමියන් හමු වූ එක් හිතවත් භික්ෂූන් වහන්සේ නමක් පැවසුවේ වෙනම ම කතාවකි.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]