දුටුගැමුණු මහ රජතුමා - 21:
ගැමුණු කුමරුගේ හැසිරීම
අපට හිතකර නෑ
සෝමා දේවියගෙන් හදිසි පණිවිඩයක්
විහාරමහා දේවිය මහත් චිත්ත පීඩාවෙනි. රජතුමා දැන් දැන් තමා කැඳවනු ඇතැයි බලා
සිටියත් එය සිදු නොවීය. ඇය මහත් බයෙන් සිරියහන් ගබඩාව දෙසට ගමන් කළා ය. රජතුමා බර
කල්පනාවක ය. ඔහුගේ මුහුණෙන් කෝපය වේදනාව දුටු ඇය මහත් බියට පත් වූවා ය.
ගැමුණු කුමාරයා ගිරි නුවරට පැමිණ මාස කිහිපයකින් ආපසු යති'යි බලාපොරොත්තු වුව ද එසේ
නොවන විට සෝමා දේවිය සිය අප්‍රසාදය පළ කරන්නට විය. රාත්‍රී භෝජනය සඳහා ආරාධනා
ලැබුණු ඇතැම් දිනකදී සාකච්ඡාවන් අවසන් වූයේ මතභේදාත්මක ව ය.
“ආචාර්යතුමනි, අප දැන් ගිරි නුවරට පැමිණ මාස හයක් පමණ ගත වී තිබෙනවා. ගිරි අබා
රජතුමාත්, සෝමා දේවියත් අප ගේ රැඳී සිටීම ගැන එතරම් ප්‍රසාදයක් නැති බවයි පෙනෙන්නේ.
ඒ නිසා ඉක්මණින් විසඳුමක් සොයා ගත යුතුයි. කිසිවකුටත් යටත් වී සිටීමට මා සූදානම්
නැහැ.”
“කුමරුනි, පසුගිය සතියේ වේළුසුමන මෙහි පැමිණි වේලේ මා මේ ගැන කතා කළා. නමුත් අප
මෙහි තව ටික කාලයක් රැඳී සිටිය යුතු බවයි. මව් බිසව පවසා තිබෙන්නේ. මහරජතුමා ගැමුණු
කුමරා කැඳවන තෙක් වෙනතක නොගොස් මෙහිම රැඳී සිටිය යුතු බවත් ඒ දිනය ඈතක නොවන බවත්
පවසා තිබෙනවා. ඒ කෙසේ වෙතත් මව් බිසවගෙන් උපදෙස් ලබා නොගෙන කිසිවක් කරන්නට බැහැ.
ගැමුණු කුමරුනි, ඔබ ගැන මා වෙත පැවරී ඇති වගකීම ගැනත් සිතන්නට වෙනවා.”
මාගම රාජධානියේ තිබූ උදාසීන බව දැන් දුරුවී ගොසිනි. ආරක්ෂ සෙනෙවිවරුන් ගේ අවධානය
යුද්ධය පිළිබඳව ය. විහාරමහා දේවිය නුදුරේදී ම සිය පුත් ගැමුණු කුමරු ගෙන්වා පිය
රජතුමාගෙන් සමාව ලබා දී වහ වහා යුද්ධය ආරම්භ කරනු ඇතැයි සැමගේ අදහස විය.
හවස් යාමයෙහි කාවන්තිස්ස රජතුමා වෙළඳ නායකයන් කිහිප දෙනෙකු හමුවීම සඳහා සන්නිපාත
ශාලාව වෙත පියනැගූහ. ඒ අවස්ථාවේ රජ මාළිගය තුළට යන්නට සූදානම් වුණු විහාරමහා දේවිය
දුටුවේ රාජාංගනයේ සිට වේගයෙන් එන අසුරුවෙකි. හදිසි පණිවිඩ රැගෙන එන දූතයන්ට මාළිගයේ
දොරටුව තෙක් අසු මෙහෙයවිය හැකි ය.
දොරටුව අසළ දී අසු පිටින් බැසගත් දූතයා බිසවුන් වහන්සේට ආචාර කළේ ය.
“අවසරයි දේවීන් වහන්ස, මහරජතුමාට හසුන් පතක්”
“හසුන් පත එවා තිබෙන්නේ කවුරුන් ද?”
“ගිරි නුවර අභය රජතුමාගෙන්”
“හසුන් පත මට දෙන්න. මහ රජතුමාට මම දෙන්නම්.”
“සමාවෙන්න දේවින් වහන්ස හසුන්පත රජතුමාට ම හැර වෙනත් අයකුට දිය නොහැකියි.”
රජතුමා, හසුන් දූතයකු මාළිගාවේ දොරටුව අභියස සිටිනු දැක එතැනට පැමිණියේ ය.
“රාජදූතය, හසුන් පත කාගෙන්ද?”
“රජතුමනි ගිරි නුවර අභය රජතුමා ගේ රහස් පණිවුඩයක්. මෙය ඔබතුමාටම භාර දෙන ලෙසට මහ
සෙනවිතුමා මට අණ කළා.
“හොඳයි හසුන් පත මට දෙන්න. ඔබට යාමට අවසර.”
දූතයා රජතුමාට වැඳ අවසරගෙන අසුපිට නැඟ නික්ම ගියේ ය.
රජතුමා හසුන් පත ද රැගෙන සිරියහන් ගබඩාවට ගියේ ය. විහාරමහා දේවිය පුදුමයෙන් බලා
සිටියා ය. කුමක්ද? මේ හදිසි පණිවිඩය.? ගැමුණු කුමරු පිළිබඳ ප්‍රශ්නයක් ද? එසේ
වුවහොත් රජතුමා නැවතත් මා සමඟ කෝප වෙනවා. මෙවර නම් මට සමාවක් ලැබෙන එකක් නැහැ.
දේවිය මහත් වේදනාවට පත් වූවා ය.
යහන් ගැබට වැදුණු රජතුමා හසුන් පත කඩා ලිහා බැලී ය. එය අභය රජතුමාගෙන් නොව සෝමා
දේවියගෙනි. තම නැගණිය හදිසි පණිවිඩයක් එවුයේ කුමක් සඳහා ද? ඇය කියන්නේ කුමක්දැයි
දැන ගැනීමේ කුතුහලය ඇතිව රජතුමා හසුන් පත කියවාගෙන ගියේ ය.
පසුගිය වසරක පමණ කාලයක් ගැමුණු කුමරු සිටියේ අප සමගයි. එය රාජද්‍රෝහි ක්‍රියාවක්
වුවත් අක්කණ්ඩිය අපෙන් කළ ඉල්ලීමක් නිසයි අප ඔහුව රැක බලා ගත්තේ. නමුත් ඔහුගේ
හැසිරීම අපට හිතකර නැහැ. අභය රජු සමඟ කිහිපවරක්ම ගැටුම් ඇතිකර ගත්තා. ඔහු ගිරි නුවර
පාලනය තම අතට ගන්නට හදනවායැයි අපට සිතෙනවා. ඒ නිසා මෙවැනි ගැටුම් මධ්‍යයේ අපට විසීම
අපහසුයි. ඒ නිසා අප සේරු රාජ්‍යයට යනවා. එහි අභය රජතුමාගේ සහෝදරයෙක් සිටිනවා.
අයියණ්ඩිය අප නැවත එන්නේ නැහැ.
හසුන් පත කියවූ රජතුමා පුදුමයට පත්විය. දස අතේ කල්පනා කරන්නට විය. අභය රජු ගිරි
නුවරින් ගියේ හිත නොහොඳින් නම් එය අනාගත කටයුතුවලට බාධාවක්. සේරු රාජ්‍යයේ සිව රජුට
එකතු වුවහොත් එහි බලය තවත් වර්ධනය වෙනවා. ඒ නිසා මාගම රාජධානියේ ශක්තිය අඩු විය
හැකි යි. මේ නිසා ප්‍රාදේශීය රාජ්‍ය සමඟ සමගිව සිටීමේ තමාගේ අභිප්‍රාය බිඳ වැටෙන බව
වැටහුණු රජතුමා බොහෝ සිත් තැවුලට විය.
විහාරමහා දේවිය මහත් චිත්ත පීඩාවෙනි. රජතුමා දැන් දැන් තමා කැඳවනු ඇතැයි බලා
සිටියත් එය සිදු නොවීය. ඇය මහත් බයෙන් සිරියහන් ගබඩාව දෙසට ගමන් කළා ය. රජතුමා බර
කල්පනාවක ය. ඔහුගේ මුහුණෙන් කෝපය, වේදනාව දුටු ඇය මහත් බියට පත් වූවා ය.
“හසුන් පත අයියණ්ඩියගෙන් ද?”
“නැහැ, සෝමා නැගණියගෙන්. ඔවුන් ගිරි රාජ්‍ය අතහැර ගිහින්.”
“ඒ මක්නිසාද රජතුමනි.”
“ගැමුණු කුමරු ගිරි රාජ්‍ය අල්ලාගෙන.”
රජතුමා කීවේ කෝපයෙනි. ඇඟ පණ නැතිව සීතලව වැටෙන්නට යනවා යැයි හැඟුණ විහාරමහා දේවිය
වහා හිඳගත්තා ය. පියවි සිහියට පත් වූ පසු රජතුමා දෙස බැලුවා ය. රජතුමා එහි නැත.
හසුන් පත යහන මත විය.
“තමා වැරදිකාරියක් නොවේදැයි” ඇය කල්පනා කළා ය. ගැමුණු කුමරු ගිරි නුවර සිටින බව
සතියක් දෙකක් කල්ගත වී හෝ රජතුමාට කියන්නට තිබුණා’ යැයි ඇයට පසුතැවීමක් ඇති විය.
ගැමුණු කුමරු තම මාමණ්ඩියට විරුද්ධව කටයුතු කළේ කුමක් නිසා ද? කිසිම සටනකින් තොරව
රාජ්‍යයක් අල්ලා ගන්නට පුළුවන් ද? ගිරි රාජ්‍ය තමන් යටතට ගැනීමෙන් ඇති වාසිය කුමක්
ද?
අයන්ති විතාන |