මහන්සි විය යුතු කල හාන්සි වුණොත්
හාන්සි විය යුතු කල මහන්සි වන්නට වෙයි
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
බුදුදහම යථාර්ථවාදී දහමකි. යමෙකුට භෞතික ජීවිතය දියුණු කර ගැනීමට අවශ්‍යයි නම් මේ
ඉගැන්වීම හොඳම ගුරුවරයෙකි. සියල්ල දෛවයට බාර දෙනවාද? සියල්ල දෛවයට හෝ කර්මයට බාරදීම
බුදුදහම අනුමත නොකරයි. මිනිසාගේ ශක්තිය මෙහිදී ඉතා වැදගත් ය.
උත්සාහයෙන්, සිහියෙන් ධනය ඉපයූ උත්සාහවත් තරුණයා අපට හමුවන්නේ බුද්ධ කාලයෙනි.
ඉන්පසු එවන් තරුණයන් රාශියක් පෙර අපරදිග ලෝකය තුළ අප හැඳින ගත්තෙමු. ඒ සියලු
චරිතයන්ට පූර්වාදර්ශය සපයන්නේ කුම්භඝෝෂක සිටුතුමා ය. තම මව්පියන්ගෙන් ලැබුණ වස්තුව
එක්වර පරිභෝගයට නොගෙන උත්සාහයෙන්, සිහියෙන් කටයුතු කිරීම මත රජුගේ දියණිය පවා ලබා
ගැනීමට හැකිවිය. බුදුරදුන් උට්ඨානවතෝ සතිමතෝ යන ගාථාව දේශනා කළේ ද ඔහු අරභයා ය.
චුල්ලසෙට්ටි ජාතකයේ දී මී කුණෙන් දියුණු වූ තරුණයා ද එසේ ය. කෙනකුට දියුණුවීමට
එතරම් සම්පත් අවශ්‍ය නොවේ. තිබිය යුත්තේ උත්සාහය, කැප කිරීම, සංයමය සහ සිහියයි.
මුදල් ඉපයීමේ එකම ක්‍රමය කුලී රථ හෝ අන්තර්ජාලය යැයි සිතීම ම මුළාවකි. ඇතිකරගත
යුත්තේ ආකල්පමය වෙනස්කමකි. එවිට ජයග්‍රහණයන් ඉතා සරල ය.
තත්පරය ද වටිනවා
සාමාන්‍ය ජීවිතයේ දී මහන්සි නොවී ඒ අරමුණ සාධනය කරගත නොහැක.තරුණ තරුණියන් ලෙස
විලාසිතා, බාහිර අලංකාරය ගැන පමණක් නොසිතිය යුතු ය. අවශ්‍ය මොහොතේ කළයුතු කාර්යයන්
නොපසුබස්නා වීර්යයෙන් කළ යුතු ය. මහන්සි විය යුතු කල හාන්සි වුණාම හාන්සිවිය යුතු
කල මහන්සි විය යුතු ය. අප ඇතැම්විට මඟ තොටේ දී එවැනි වැඩිහිටියන් දැක ඇත්තෙමු.
එහෙයින් නොපමාව කටයුතු සංවිධානය කරගැනීම ඉතා වැදගත් ය.
වරක් සැරියුත් තෙරුන් සඳහන් කළේ කම්මැලියකු, කුසීතයකු, හීන වීර්යයකු දකින්න හෝ
අකමැති බවයි. කුසීතකමින් තම කටයුතු සිදුනොකොට සාර්ථක වූවන් හෙළා දැකීම නුසුදුසු
පහත් තත්ත්වයෙකි. දියුණු වූ සෑම මනුෂ්‍යයකුටම තිබුණේ ඔබ අපට තිබූ දිනකට පැය 24 ම ය.
එම කාලය නිවැරැදිව කළමනාකරණය කරගත් පිරිස් ජයග්‍රහණ අත්පත් කරගත්හ.
දහමට අනුව වැඩ කළ හැකිව තිබූ කාලයේ එසේ නොකර සිටියහොත් පසුව තැවීමට පත්වේ. ධම්ම
පදයේ ජරාවග්ගය තුළදී බුදුරදුන් දේශනා කළේ පමා වූ තාරුණ්‍යය සිහිකොට මහලු කල
සුසුම්ලන බවයි.
සුසුම් හෙළනවාද?
ගෙවණු කාලය පිළිබඳ සුසුම්හෙළා පලක් ඇත්තේ නැත. එය මනාව තේරුම්ගත යුතු ය. අංග
සම්පූර්ණ ශරීර ලැබී තිබියදීත් එසේ නොකිරීම අභාග්‍යයකි. අඩුලුහුඬුකම් ඇති ඇතැම්
තරුණයන් ලෝකය විශ්මයට පත් කරමින් මහා හපන්කම් සිදුකිරීම දක්නට ලැබේ. එවැනි
තත්ත්වයක් යටතේ සියල්ල නිවැරැදි ව ලැබී තිබියදීත් කටයුතු නොකිරීම අවැදගත් ය.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කළේ සාර්ථක වීමට දක්ෂ, අනලස්, ඒ ඒ
අවස්ථාවට ගැළපෙන මනා සංවිධානයෙන් යුක්ත විය යුතු බව ය.
සිහින දකිනවාද?
දියුණු වූ සියල්ලෝම දක්ෂ ව, අලස නොවී අවස්ථාවට ගැළපෙන ලෙස කටයුතු කළ පිරිස් ය.
දහමට අනුවගෙන බැලුවත් 'නැකත' යන සුදුසු අවස්ථාවට අනුව සුදුසු දේ කිරීමයි. තරුණයන්
ලෙස සංවිධානය වූ චරිතයක අභිමානය ලැබිය යුතු ය. මෙසේ කටයුතු කිරීම මත සමාජයට ද යමක්
කළ හැකි පුද්ගලයකු නිර්මාණය වේ. මඝ මානවක එවැනි තරුණයෙකි. ඔහු දෙලොව සැප ලැබ
සක්දෙව් රජු බවට ද පත්විය. ආර්ථික ශක්තිය හීන වූ විට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට
ණයවීමට පවා සිදුවේ. එතැනදී අහිමි වන්නේ අණන සුඛයයි. මේ තත්ත්වය මත කෙතරම් හීන තිබුණ
ද ඉටුකරගැනීමට නොහැකිවේ. ඒ තුළ නිර්මාණය වන්නේ අසහනයයි. මේ තත්ත්වයට වගකිව යුත්තේ
බාහිර පාර්ශ්වයක් නොවන බව තම බුද්ධියෙන් තේරුම් ගැනීමට අවශ්‍ය ය.
අන්තගාමී ව හෝ අනවබෝධයෙන් ජීවිත ඉලක්ක සපුරා ගත නොහැකි ය. ජීවිතයේ බොහෝ කාලයක්
වාසනාව උරගා බැලීම හෝ ක්ෂණික ධන ලාභයන් උදෙසා වැය නොකළ යුතු වේ. යම් නිෂ්පාදනයක්,
නව නිපයුමක් හෝ වගාවක දී පවා සාර්ථක විය හැකි ය. මහන්සි නොවී එකවර මුදලක් උපයන්නට
යෑමේ දී තමාගේ කීර්තියට හානි වෙන ලෙස ඇතැම්විට කටයුතු කිරීමට පෙළඹේ. එවැනි තත්ත්වයක
දී ලද මනුෂ්‍ය ජීවිතයට බරපතළ අසාධාරණයක් සිදුවේ. ධනයට වටිනාකමක් ලැබෙනුයේ බුදුදහමට
අනුව කාරණා 03 ක් සම්පූර්ණ වීම මතය. එනම් ශ්‍රමය වැය කිරීම, පන්සිල් සදාචාරය රැකීම,
ශ්‍රමදායකයාට කරදරයක් නොවන ලෙස උපයාගැනීම තුළිනි. එතැනදී හොරකම, වංචාව, හොරට කිරීම,
මැනීම, නැති ගුණ දක්වා වෙළඳාම් කිරීම අනුචිත ය. වර්තමානය තුළ අන්තර් ජාලය සහ මහමඟදී
එවැනි අවස්ථා අනන්තවත් අපි අසා ඇත්තෙමු.
දෙපයින් සිටගන්න
තමාට හෝ අනෙකාට හානිවන ලෙස ද ආර්ථිකය සකසා නොගත යුතු ය. විශේෂයෙන් බුදුදහමේ දක්වා
ඇත්තේ අවි ආයුධ, සතුන්, මාංශ, මත්පැන්, වසවිස වෙළඳාම නුසුදුසු බවයි. ඇතැම් තරුණයන්
තම ව්‍යාපාරය තුළ දුම්වැටියක් හෝ නොවිකිණීමට වගබලා ගනී. කෙනෙකු මත්කොට තව කෙනෙකුගේ
ජීවිතය රැක ගැනීම සාහසික ය.
ආර්ථික ශක්තිය සලසා ගැනීම සඳහා කළහැකි බොහෝ කටයුතු ඇත. දහමට අනුව කෘෂිකර්මය,
වෙළඳාම, රාජ්‍ය සේවය, විවිධ ශිල්ප අනුමතය. තමන්ට හෝ අනෙකාට හානි නොවන ලෙස ශක්තිමත්
ආර්ථිකයක් සකසාගත හැකිවේ.
සිංහල බෞද්ධ තරුණයා දෙපයින් නැඟී නොසිට තවත් පිරිසකට චෝදනා කිරීම හෝ ඔවුන්ගේ කටයුතු
විවේචනය කිරීමෙන් පලක් වන්නේ නැත. පවුල් ජීවිතයක් ආරම්භ කිරීම, දරුවන් හදා වඩා
ගැනීමේ සිට මේ සියල්ලටම යම් ආර්ථිකයක් අවශ්‍ය ය. එසේ නොවුණහොත් සමස්ත ජීවිතය
කඩාකප්පල් විය හැකි ය. තරුණ අසහනය ඇතිවීමේ මූලික ම හේතුව විරැකියාවයි. එය යම්
සහතිකයක් තිබූ පමණින් ලැබිය හැකි නොවේ.
පුද්ගලයකුට රැකියාවක් දෙනවාට වඩා රැකියාවට සුදුසු පුද්ගලයකු අවශ්‍ය ය. එහෙයින් තම
හැකියාවන් ඔපමට්ටම් කර ගැනීමට සියල්ලෝම වගබලා ගත යුතු ය.
නැති දේ පිළිබඳ දුක්වී තමන්, තමන් පිළිබඳ කළ කිරීම යෝග්‍ය නොවේ. ඇතැම්විට උපාධිධාරී
තරුණයන් පවා කෘෂිකර්මයට යොමුවූ අවස්ථා ඉතා සුලබ ය. තමන් ලජ්ජාවිය යුත්තේ අයහපත් දේ
කිරීමට මිස කය වෙහෙසා වැඩ කිරීමට නොවේ. තමන් මේ සමාජයේ අතිජාත දරුවකු ලෙස මව්පියන්ට
සතුටක් එකතු කිරීමට නම් මෙම ගුණාංග ජීවිතයට එකතු කරගත යුතු ය. |