පොහොය දිනය
අර්ථවත් කරගන්නේ කෙසේද?
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ගිහි ශ්‍රාවකයින් වන උපාසක උපාසිකාවන් උතුම් රහතන්
වහන්සේලා අනුගමනය කරමින් පොහොය දිනවල දී උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් ව ආරක්ෂා කරනවා.
එහිදී විශේෂයෙන් වචී සංවරය ඇතිකර ගැනීම පිණිස, කෙලෙස් වැඩෙන, තමන්ටත් අන් අයටත්
අයහපත පිණිස පවතින දෙතිස් කතාවෙන් වැළකිය යුතු වෙනවා. එමෙන් ම කෙලෙස් සංසිඳුවන,
සුගතියත් ධර්මාවබෝධයත් පිණිස උපකාරී වන දස කථාවෙන් යුක්ත විය යුතු යි. ඒ දස කථාව
නම්,
1. අප්පිච්ඡ කථා - අඩු අශාවන්ගෙන් යුක්ත ව ජීවිතය පවත්වාගෙන යෑම ගැන කථා,
2. සන්තුට්ඨි කථා - ලද දෙයින් සතුටු වෙමින් ගුණධර්ම දියුණු කර ගැනීම ගැන කථා,
3. පච්චේක කථා - හුදෙකලාව කාය චිත්ත විවේකය දියුණු කර ගැනීම ගැන කථා,
4. අසංසග්ග කථා - පිරිස සමඟ හෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සමඟ හෝ එක්නොවී වාසය
කිරීම ගැන කථා,
5. විරියාරම්භ කථා - අකුසල් ප්‍රහාණය කිරීමටත්, කුසල් උපදවා ගැනීමටත් වීරිය කළ යුතු
ආකාරය ගැන කථාව,
6. සීල කථා - ඉන්ද්‍රිය සංවර කරගෙන සිල්වත් බව දියුණු කරගැනීම ගැන කථා,
7. සමාධි කථා - සිත එකඟ කරගෙන ධ්‍යාන සමාපත්ති ආදිය උපදවා ගැනීම ගැන කථා,
8. පඤ්ඤා කථා - විදර්ශනා වඩමින් ප්‍රඥාව දියුණු කර ගැනීම ගැන කථා,
9. විමුක්ති කථා - ධර්මාවබෝධය තුළින් නිකෙලෙස් වීම ගැන කථා,
10. විමුක්ති ඤාණදර්ශන කථා - නිකෙලෙස් වූ කෙනාට ඇතිවන අවබෝධය ගැන කථාව,
මෙසේ දස කථාවේ යෙදීම ධර්මාවබෝධය පිණිස සිත මෝරා යෑමට උපකාරී වන බව භාග්‍යවතුන්
වහන්සේ මේඝීය ආදී සූත්‍ර දේශනාවල පෙන්වා දී තිබෙනවා. මෙසේ දස කථාවේ යෙදෙමින් ධර්ම
සාකච්ඡා සිදුකිරීම තුළ ආනිශංසයන් පහක් ලැබෙන බවත් ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.
1. නොඇසූ දහම් කරුණු අසන්නට ලැබෙනවා. , 2. ඇසූ දහම් කරුණු වඩාත් පැහැදිලි වෙනවා. 3.
සැක තැන් දුරු වෙනවා. 4. ධර්ම මාර්ගය සම්බන්ධයෙන් දැක්ම ඍජු වෙනවා. 5. සිත පහදිනවා.
මෙසේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා උපෝසථ අෂ්ටාංග සීලය සුරකිමින්, දස කථාවේ
යෙදෙමින්, ධර්මය ශ්‍රවණය කරමින් පොහොය දිනයේ ශාසනික පිළිවෙත්හී යෙදිය යුතු ය. එසේ ම
පොහොය දිනයේ දී දියුණු කරගත යුතු භාවනා මනසිකාරයන් හෙවත් අනුස්සති භාවනා හයක් ද
භාග්‍යවතුන් වහන්සේ විශාඛා උපෝසථ සූත්‍රය ආදී දේශනාවල පෙන්වා දී තිබෙනවා.
බුද්ධානුස්සති භාවනාව
මිනිස් ජීවිතය අර්ථවත් කරදීම පිණිස මේ ලෝකයට පහළ වුණ අසිරිමත් මුනිඳාණන් තමයි අපි
සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ගුණය, පරිපූර්ණ
ප්‍රඥාව, මහා කරුණාව, පිවිතුරු සමාධිය, ධෛර්ය සම්පන්න විරාගී චරිතාපදානය ආදී මේ සෑම
ගුණයක් ම අපේ ලෝකය ආලෝකමත් කරන්න උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නව
අරහාදී සම්බුදු ගුණ මනසිකාරයේ යෙදීම තුළ ශ්‍රාවකයාගේ සිතත් පිරිසුදු වෙනවා.
ධම්මානුස්සති භාවනාව
භාග්‍යවතුන් වහන්සේ නිකෙලෙස් හද මඬලින්, සිරි සම්බුදු මුව මඬලින් දේශනා කොට වදාළ
චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය, මනාකොට දේශනා කළ නිසා ස්වාක්ඛාත
වන සේක. ඒ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදී ම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. ඒ
ශ්‍රී සද්ධර්මය කාලයකට අයිති නැති නිසා, ඕනෑම කාලයක අවබෝධ කළ හැකි නිසා අකාලික වන
සේක. ඇවිත් බලන්න යැයි කියා මැනවින් පෙන්වා දිය හැකි නිසා ඒහිපස්සික වන සේක.
ඒ ශ්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවාගෙන තමා තුළ දියුණු කරගත යුතු නිසා ඕපනයික වන
සේක. ඒ ශ්‍රී සද්ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තමාගේ බුද්ධිය මෙහෙයවා සාක්ෂාත්
කරන්නට පුළුවන් නිසා, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක.
සංඝානුස්සති භාවනාව
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස සීල,
සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා සුපටිපන්න වන සේක.
උජුපටිපන්න වන සේක.
ඒ ශ්‍රාවක සංඝ රත්නය චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස පිළිපන් හෙයින් ඤායපටිපන්න
වන සේක. උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන හෙයින් සාමීචිපටිපන්න වන සේක. යුගල වශයෙන්
හතරක් වූ, පුද්ගල වශයෙන් අටක් වූ ඒ ශ්‍රාවක සංඝ රත්නය දුර සිට ගොස් සිව්පසයෙන්
උපස්ථාන කිරීමට ද, ආගන්තුකව වැඩි කල උපස්ථානයට ද සුදුසු හෙයින් ආහුන්‍යෙය -
පාහුන්‍යෙය වන සේක. පින් සලකා ගෙන, මෙලොව - පරලොව ආනිශංස ලැබීම පිණිස දන් පැන් පූජා
කිරීමට සුදුසු නිසා දක්ඛිණ්‍යෙය වන සේක. ඒ ආර්ය සංඝරත්නය දෙව්මිනිස් ලෝකයාගේ
වන්දනා-මානයට සුදුසු හෙයින් අංජලිකරණීය වන සේක. දෙව්-මිනිස් ලෝකයාට අනුත්තර වූ පින්
කෙත වන සේක. මෙසේ ආර්ය ශ්‍රාවක සංඝරත්නයේ ගුණ මෙනෙහි කිරීම සංඝානුස්සති භාවනාව යි.
සීලානුස්සති භාවනාව
සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ කයත් වචනයත් සංවර කරගැනීම තුළ තමන් අත්විඳීන
සැනසිල්ල සිහි කිරීම යි. එනම් කැඩුණු නැති, පැල්ලම් නො බැඳුණු, කිළිටි නො වුණු,
දෘෂ්ටිවලට නො බැඳුණු, තණ්හා දාසභාවයෙන් මිදුණු, ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට
ලක්වෙන, චිත්ත සමාධිය පිණිස පවතින, තමන් ආරක්ෂා කරන සිල්පද එකින් එක සිහිකරමින්
ආර්ය ශ්‍රාවකයා ලබන තෘප්තිය සීලානුස්සතිය යි. මෙම සීලානුස්සති භාවනාව සිත සංසිඳීම
පිණිසත්, සුගතිගාමී වීම පිණිසත්, ධර්මාවබෝධය පිණිසත් බොහෝ සෙයින් උපකාරී වෙනවා.
චාගානුස්සති භාවනාව
තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු සිල්වත් ජීවිතයක් ගතකරමින් තමන්ගේ ජීවිතය තුළ දියුණු
කරන උතුම් ගුණාංගයක් තමයි පරිත්‍යාගශීලි බව. ඔහු දන් දීමෙන් සතුටු වෙනවා
(දානසංවිභාගරතෝ). පරිත්‍යාගශීලි බවින් සතුටු වෙනවා (වොස්සග්ගරතෝ). දන් දීමට සූදානම්
ව සෝදා ගත් අත් ඇතිව ඉන්නවා (පයතපාණී). ඔහුගෙන් යමක් ඉල්ලන්නට සුදුසුයි (යාච යෝගෝ).
දන් දීම පිණිස ආදායමෙන් කොටසක් වෙන් කරනවා (මුත්ත චාගෝ). මේ විදිහට මසුරුමළ රහිත
සිතින් ගිහිගෙයි වාසය කරමින් ඒ උතුම් චාගී ගුණය මෙනෙහි කරමින් වඩන භාවනාව
චාගානුස්සතිය යි. එමනිසා ඔබටත් ඒ උතුම් පරිත්‍යාගශීලි ගුණය දියුණු කරමින්
ධර්මාවබෝධය කරා යොමුකර ගන්නට පුළුවන්කම තිබෙනවා.
දේවතානුස්සති භාවනාව
ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන සේඛ බලයන්ගෙන් සමන්විත ව මනුලොව දී ධර්මයේ
හැසිරී චාතුම්මහාරාජික ආදී දෙව්ලොව ඉපිද සිටින පින්වත් දෙවිවරුන් ඇති බවත්, ඒ සේඛ
බල තමා තුළ ද ඇති බවත් නුවණින් සිහිකිරීම දේවතානුස්සතිය යි. මෙම දේවතානුස්සති
භාවනාවත් නීවරණ සංසිඳුවා සිත තැන්පත් කරගැනීම පිණිසත්, දෙව්ලොව උපත පිණිසත්, උතුම්
ධර්මාවබෝධය පිණිසත් ඒකාන්තයෙන් ම උපකාරී වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
කෙටියෙන් දැක්වූ මේ භාවනා මනසිකාරයන් ධර්මයට අනුව විස්තර වශයෙන් පුරුදු-පුහුණු
කරමින්, සිල් සමාදන් වන පොහොය දිනයන් අර්ථවත්ව ගත කරන්නේ නම් එය ඒකාන්තයෙන් ම මෙලොව
යහපත පිණිසත්, පරලොව සුගතිය පිණිසත්, ධර්මාවබෝධය පිණිසත් හේතුවනු නොඅනුමාන ය. |