උඳුවප් පුර පසළොස්වක 2020.12.29
සිත පිරිසුදු කර ගනිමු
මේ ගෙවී යන්නේ වසරේ අවසන් දින කිහිපය යි. වසරක් ගෙවී, වසරක් උදා වන්නේ අද ඊයේ මෙනි.
කාලය වේගයෙන් ගෙවී යයි. ඒ වේගයෙන් ම මරණය ද අප හඹා එයි. ඊළඟ තත්ත්පරයේ දී,
ඇසිපිල්ලමක් ගසා ඊළඟ ඇසිපිල්ලම ගසන මොහොතේ දී මරණය සිදුවේ දැයි දන්නේ අප පසු පස එන
මාරයා ම පමණි.
බෞද්ධයා මරණයට බිය නැත. ඒ ඔහු ඉදිරි බවයට බොහෝ පින් කුසල් රැස් කර ඇති බැවිනි. ඝෝර
සසර මඟ කෙටි කර ගන්නා මඟ තෝරාගෙන ඇති බැවිනි. එහෙත් බෞද්ධ නාමයෙන් පෙනී සිටින
සියල්ලන්ට ඒ සතුට හිමිවේ ද යන්න ගැන සිතා බැලිය යුතු ය.
අප විසින් මුහුණ දෙනු ලබන්නා වූ බොහෝ විපත්තීන්ට මුල් වන්නේ අපගේ ම සිත ය.
අපිරිසුදු වූ සිතින් කරන කියන දේ ය. විටෙක රාගය නිසා අපි බොහෝ දේ හඹා යමු. අවසානය
වේදනාවක් බව දැන දැනත් ඒවායෙහි ම ඇලෙමු. තමන් දැවී, අනුන් ද දවන ද්වේෂය නම් වූ
ගින්න නිවා දමන්නට කෙනෙක් අපොහොසත් වෙති. ගිනි ගෙන දැවෙන සිත සතුරාගේ විනාශය ම, පළි
ගැනීම ම පි‍්‍රය කරයි.
මෝහය හෙවත් මුලාවෙහි ආදීනව අති භයානක ය. සමාජයක්, රටක්, ලෝකයක් අඳුරු ආගාධයට ඇද
වැටෙන්නේ මෙලෙස මිනිස් සිතෙහි වන කිලිටි ස්වභාවය කරණකොටගෙන ය. සිත ප්‍රභාෂ්වර වන්නේ
අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය පුද්ගලයාගේ ය. එනම් තෙරුවන් ගුණ දැන, පැහැදී ඒ උතුම් ගුණ
තම ජීවන ප්‍රතිපදාව බවට පත්කරගත් පුද්ගලයා ය.
ජීවිතයේ ගෙවුණු කාලය පුරා රාග, ද්වේෂ, මෝහාදී සිතිවිලිවල පැටලී ජීවිතය නූල් බෝලයක්
සේ පැටලී තිබෙන්නට පුළුවන. එහෙත් අප ටිකෙන් ටික ඒ පැටලුම් ලිහා ගත යුතු ය. වැරැදි
නිවැරැදි කරගත යුතු ය. වරදින් මිදිය යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ
වරදින් මිදුණු පුද්ගලයා වළාවෙන් මිදුණු චන්ද්‍රයා සේ බබළන බව ය.
බබළන ජීවිතයකට මා හැඟි මාර්ගය අප බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය
යි. අවබෝධයෙන් ඒ මඟ යන්නට උත්සාහ කරන පුද්ගලයාට දුක්, විපත් මද ය. ධර්මයෙහි හැසිරෙන
පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බැවිනි.
එක්තරා බමුණෙක් බුදු හිමිවෙත පැමිණ, අතීතයෙහි මේ ලෝකය නිරි සතුන්ගෙන් අතුරු සිදුරු
නැති අවීචිය මෙන් මිනිසුන්ගෙන් පිරී පැවැති බවත්, ගම් නියම් ගම්, රාජධානි කුකුළකුට
වහලින් වහලට යා හැකි වන සේ ළං ව පිහිටි නිවෙස් වූ බවත් පෙර විසූ වැඩිහිටි
ආචාර්යවරුන්ගෙන් තමා අසා ඇති බව පැවසී ය. එමෙන්ම මෙකල මිනිසුන්ගේ යම් අඩුවක් ඇති
බවක් පෙනේ නම්, ගම් නොගම් වේ නම්, නගර නො නගර වේ නම් ඊට හේතු කවරේදැයි ඇසුවේ ය.
එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙකල මිනිස්සු අන්සතු වස්තුව ගැන රාගයෙන්
ඇලී ඇති බව ය. ලෝභයෙන් වැරැදි සේවනයෙහි යෙදෙන බව ය. තියුණු ආයුධයෙන් ඔවුනොවුන් දිවි
තොර කරන බව ය. මිනිසුන්ගේ තුනී බවට එය හේතු වන බව ය.
එමෙන්ම එවැනි දුර්ගුණ ඇති කලට වැසි නො ලැබී අස්වනු නො ලැබෙන බව ද ආහාර හිඟවී බොහෝ
මිනිසුන් මිය යන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ. එමෙන්ම රාගයෙන් ඇලුණු, ලෝභයෙන්
මැඩුණු, වැරැදි සේවනයෙහි යෙදුණු එවැනි මිනිසුන් අතරට යක්ෂාධිපතීහු, සැඩ පරුෂ යකුන්
මුදා හරින බවත් මේ නිසාද බොහෝ පිරිස් කලුරිය කරන බවත් පෙන්වා දුන්හ.
රාගය විසින් මෙහෙයවන අකුසල සිතිවිලි මේ සා බලවත් ය. රාගය, ද්වේෂය, මෝහය දුරැර
සිතිවිලි ප්‍රභාෂ්වර කර ගන්නට අධිටන් කර ගනිමු. |