කෙලෙස් මළ සෝදා
සසර සැඩ පහර තරණය කරමු
හැව්ලොක් සිටි සාමවිහාරාධිපති
ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ
ආනන්ද නාහිමි
උට්ඨානේ නප්පමාදේන - සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවි - යංඕඝෝ නාභිහීරති
නැණවත් හු කෙලෙස් ගංවතුර ඉක්මවා රහත් බව පසක් කරන්නාහු ය. උත්සාහය සහ අප්‍රමාදී බව
බුදු දහම නිරන්තරයෙන් ම අගය කරනු ලබන ධර්ම කාරණා දෙකකි.
මෙම කරුණු දෙක අපේ ධර්ම සාහිත්‍යය පුරාම විවිධ ඉගැන්වීම් සදහා භාවිත කොට ඇති අයුරු
ඉතා සුලභ ය. උත්සාහය යන්නෙන් අර්ථ ගන්වා ඇත්තේ නොපසු බට වීර්ය යි.
එනම් අලසකමින් තොරව කය හා සිත වීර්යයෙන් යුතුව නගා සිටුවා ගැනීමයි. කුසල් දහම්හි වහ
වහා යෙදෙමින්, නොමුළාව, එළඹ සිටි සිහියෙන් යුතුව, නොපමාව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය
ද දහමින් අවධාරණය කර ඇත. කය වචනය යන දොරටු දෙක මැනවින් හසූරුවා ගැනීම “සඤ්ඤමේන”
යන්නෙන් දක්වා ඇත.
ඇස, කන, නාසය, දිව, ශරීරය සහ සිත යන සදොර දමනය කර ගැනීම “දමේන” යන්නෙන් පැහැදිලි
කොට ඇත. ඉන් ප්‍රකාශ වන්නේ ඉහතින් දක්වන ලද ඉඳුරන් සඳහා ගොදුරු වන රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ශ, ධම්ම යන අරමුණුවලට නතුව රාග, ද්වේශ, මෝහ ආදිය උපදවා නොගැනීම හෙවත් දමනය
කර ගැනීම යන්න වඩාත් සවිස්තර ව සඳහන් කෙරේ.
“මේධාවී” යන්නෙන් විස්තර කොට ඇත්තේ නුවණැති පුද්ගලයා පිළිබඳව ය. අරහත්භාවය පසක් කළ
උතුමන් පිළිබඳව ය.
හේතු ප්‍රත්‍ය වශයෙන් හට ගැනෙන සියල්ලම ඇතිව නැති වීමේ ස්වාභාවය අනිත්‍ය වශයෙන් ද
නැවත නැවත විඳිමින් විඳවමින් ගමන් ගැනීම දුක් වශයෙන් ද, නොවෙනස්ව පවත්වා ගත නොහැකි
ස්වභාවය අනිත්‍ය වශයෙන් ද, එබඳු උතුමන් විසින් විදර්ශනා ඥානයෙන් පසක් කරගනු ලැබේ.
“ඕඝෝ” යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ සැඩ පහර හෙවත් ගංවතුර යන්න ය. මෑත කාලයේ බොහෝ
දෙනා දැක ඇති විශාලතම සැඩ පහර නම් කොට ඇත්තේ “සුනාමිය” යන නමිනි. එහි වූ රුදුරු බව
හා විනාශකාරී බව පිළිබඳව තම තමන්ට ඇති අත්දැකීම් ද සිහිපත් කර ගනිමින් මහෝඝයක්
පිළිබඳ ව අර්ථ විවරණය කර ගත හැකි ය. විශේෂයෙන් ම මෙහිදී කාමෝඝ නම් වූ ක්ලේශ
ධර්මයෙහි දැඩි සේ ඇලීම ද, බවෝඝ නම් වූ භවයන්හි ඇලීම ද දිට්ඨෝඝ නම් වූ මිසදිටු බවෙහි
රැ¼දීම ද, අවිජ්ඡෝඝ නම් වූ මුළාවෙහි යෙදීම ද යන සිව් ඕඝයන් පිළිබඳ මෙහිදී කරුණු
පැහැදිලි කොට ගත යුතුව තිබේ.
මෙසේ ඕඝ තරණය පිළිබඳව කෙරෙන ඉගැන්වීම් අපේ ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය පුරාම
විවිධාකාරයෙන් විස්තර කොට ඇති ආකාරය පිළිබඳව ද සඳහන් කළ යුතු වේ. අපේ පිරුවානා පොත්
වහන්සේට ද ඇතුළත් සුත්‍ර ධර්ම කිහිපයක් ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහි ඇතුළත්
ආලවක සුත්‍රය කිසිවෙකුටත් අමතක විය නොහැක්කකි.
එහිදී අලව් යකු විසින් තථාගතයන් වහන්සේගෙන් විමසන කරුණු අතර “කථංසූ තරති ඕඝං”යන්න
එහි පළමුවැනි ප්‍රශ්නයයි.
හෙතෙම විමසනු ලබන්නේ ඕඝය තරණය කළ හැකි ආකාරය පිළිබඳවයි.
ආලවක විසින් අසා ඇති මෙම ප්‍රශ්නයට ලබා දී ඇති පිළිතුර සාංසාරික ඕඝ තරණයෙහි යෙදී
සිටින අප සියලු දෙනාටම ඉතා ප්‍රයෝජනවත් ය. ඒ සඳහා තථාගතයන් වහන්සේගේ පිළිතුර වන්නේ
“සද්ධායතරති ඕඝං” ශ්‍රද්ධාව ඇති තැනැත්තා ඕඝ නමැති සැඩ පහරින් එතෙර වීමේ හැකියාව
ලබන බවයි. ඕඝ නම් වූ මහා සැඩ පහර කාමාදී වූ මුලික සැඩ පහර හතරක එකතුවක් වශයෙන් අපි
මුලින් සඳහන් කළෙමු.
එහි වැරැදි දෘෂ්ටිය නම් වූ ජල දහරාව ශ්‍රද්ධාවෙන් හා භව නම් වූ දිය දහරාව සිහියෙන්
ද, කාම නම් වූ ජල පහර වීර්යයෙන් ද අවිද්‍යා නම් වූ දිය දහරාව ප්‍රඥාවෙන් ද, එතෙර
විය හැකි අයුරු ධර්මයෙහි විස්තර කෙරේ.
එසේ වුවද මේ කිසිවක් හුදකලාව එක් අංශයක් පමණක් ක්‍රියාත්මක ව සිදු නොවේ. සියලු
සාර්ථකත්වයන් සඳහා විවිධ අංග එක් විය යුතු බව ද දහමින් අනාවරණය කරනු ලැබේ.
චිත්ත, චෛතිසික වශයෙන් පමණක් නොව භෞතික වශයෙන් ද අපි දකින සියල්ලක්ම ඉහත මුල
ධර්මයෙහි පිහිටා ඇත. ධර්මයෙහි නිරන්තරයෙන් පෙන්නුම් කර ඇත්තේ අනුපූර්ව ක්‍රියා
පිළිවෙළකි.
සීලයෙන්, සමාධියෙන් සහ ප්‍රඥාවෙන් අපේ ශික්ෂණය ඇති කර ගත යුතු අකාරය ධර්මයෙහි
විස්තර වේ. ඕඝ තරණයෙහි මුලිකාංගයක් වූ ශ්‍රද්ධාව සුවිශේෂිතම ගුණාංගයකි. එහි මුලික
කාර්යභාරය වන්නේ සිතක් පහදවාලීම හා කෙලෙස් මඩ පහළට බස්සවා සිත පවිත්‍ර කිරීමය. යම්
යම් ද්‍රව්‍ය යොදා බොරදිය පිරිසිදු කරගැනීම මීට සමාන වේ. ඇතැමුන් මේ පිළිබඳව “මෝඩ
ශ්‍රද්ධාව” යනුවෙන් ව්‍යවහාර කිරීමට පෙළඹි සිටින්නේ නමුදු එබදු ශ්‍රද්ධාවක්
ධර්මයෙහි දක්වා නොමැති බවද සඳහන් කළ යුතුව ඇත.
මෙම ගුණ ධර්මය ඇති පුද්ගලයන් විවිධ පින්කම් වල යෙදෙනවා මතු නොව එතුළින් ඔවුන් ලබන
ප්‍රබෝධය ද මහත් සේ දැකිය හැකිය. ශ්‍රද්ධාවෙන් යුතුව එසේ පුණ්‍ය ධර්මයන්හි යෙදෙන
පුද්ගලයන් ප්‍රසන්න වූ ඉඳුරන්ගෙන් සහ සංසිඳුන මානසිකත්වයන්ගෙන් යුතුව ක්‍රියා කරන
අකාරය ද බොහෝ විට දැකිය හැකි වේ.
තථාගතයන් වහන්සේ හැඳින්වීම සඳහා බහුල වශයෙන් භාවිත කරන තිලෝගුරු යන්නෙන් අදහස්
වන්නේ දෙව් මිනිස් සියල්ලන්ට ම උන්වහන්සේ ගුරුවරයකු වන බව ය. මුළු මහත් මානව
ඉතිහාසය පුරාම මෙබඳු ගුරුවරයකු දැකිය නොහැකිය. ශිෂ්‍යයකු යමක් ප්‍රගුණ කරවීම සඳහා
යොදා ගත් ක්‍රමවේදයන්හි දැකිය හැකි වන්නේ සර්වකාලීන බවකි. පරමාර්ථයට ළඟා විය
නොහැකියැ යි අපේක්‍ෂා බංගත්වයට පත්ව පලා යාමට උත්සාහ ගත් චුල්ල පන්තක තෙරුන් බුදු
නැණින් ලත් අවබෝධයෙන් පරමාර්ථ සාධනය කරගැනීම පිළිබඳ සිදුවීම ඉහත ගාථා ධර්මය දේශනා
කිරීමට හේතු වී තිබේ.
අරහත් බව පසක් කළ මහා පන්ථක තෙරුන් තම සොහොයුරා ද සසරින් එතෙර කිරීමේ අදහසින් සසුන්
ගත කරන ලදී.
හෙතෙම චුල්ලපන්ථක නම් වූ අතර සොහොයුරා මෙන් වහ වහා යමක් අවබෝධ කරගැනීමේ කුසලතාවයක්
ඇත්තෙකු නොවීය.
මෙබඳු මෝඩයකු සසුනට අවශ්‍ය නැතැයි නෙරපා හැරීම සඳහා මහා පන්ථක තෙරුන් ක්‍රියාකරන
ලදී. මේ නිසා ඉතා දොම්නසට පත් චුල්ලපන්ථක තෙරුන් විහාරස්ථානයෙන් නික්ම යන්නේ
භාග්‍යවතුන් වහන්සේගේ නෙත ගැටිණි. කුඩා තෙරුන්ගේ සිත සැනසූ භාග්‍යවතුන් වහන්සේ තමන්
වහන්සේගේ සසුනෙහි පැවිදි වූ අයට අන් අයගේ නියමයෙන් ඉවත්ව යාම නුසුදුසු යැයි පවසමින්
කුඩා චුල්ල පන්ථක තෙරුන් ප්‍රායෝගික පැවරුමක යෙදවූහ.
ඉතා පිරිසිදු රෙදි කඩක් අතට දී පායා ඇති හිරු දිහා බලමින් “රජෝ හරනං රජෝ හරනං” යයි
මුමුණමින් රෙදි කඩ පිරිමැදීම එම පැවරුමය. ටික වේලාවක් තුළදී දක්නා ලද්දේ අතට ගත්
පිරිසිදු රෙදිකඩ නොවේ. තමන්ගේ අතින්ම අපිරිසිදුව දුර්වර්ණ වූ වස්ත්‍රයකි. මෙම
සිදුවීම පිළිබඳව මෙනෙහි කොට සියලු කෙලෙස් නසා රහත් බව පසක් කොට එම තෙරුන් ඕඝ තරණය
සිදු කළ අයුරු අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කොට ඇත.
ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වර්තමානයෙහි නව සොයාගැනීම් ලෙස උගන්වන ශ්‍රව්‍ය දෘශ්‍ය
උපකරණ භාවිතය තථාගතයන් වහන්සේගේ භාවිතයක් බව මෙම තෙරුන් පිළිබඳ සිදුවීමෙන් වටහා ගත
හැකි වේ. බුදු දහමෙහි කුසලතා පූර්ණ දක්ෂයන් සුවිශේෂීව අගය කරන්නේ මතු නොව අදක්ෂ වූ
දුබලයන් ඒ නිසාවෙන් පළවා හැරීමකින් තොරව නඟා සිටුවීමේ ගුණය මේ තුළින් ප්‍රකට කෙරේ.
එසේ නම් මෙසේ වූ සසර සැඩපහරින් එතෙර වීම සඳහා අධිෂ්ඨාන ශීලීව වෙර දැරිය යුතුව ඇත. |